Wednesday, July 13, 2016

නන්නාදුනන හීනයක්

පුංචි ම පුන්චි හීනයක්..
රෑ අහසෙ පිපිච්ච තරුවක් වගේ
ඉර එළියත් එක්ක නොපෙනී යන..

හ්ම්ම්.. ඔව් ඒත් හැම හීනෙමත් එහෙම නෑ..

මතකයි දවසක් පුංචි කාලෙ 
කෙනෙක් ඇහුවා තව කෙනෙක්ගෙන්
"මොකද්ද ඔයාගෙ හීනෙ?"
කට ඇරන් ඇස් ගෙඩි ලොකු කරන්
බලන් හිටපු හැමෝටම
හම්බුනා ලසන උත්තරයක්
"මං හීන දකින්නෙ නෑ. 
මං ආස කරන දේවල් මට හීනයක්"
ඒ ඇස් එදා දිලිසුනෙ
කදුලු නිසාද බලාපොරොත්තුවක් නිසාද
කාටත් තේරුම් ගන්න බැරි වුනා.


ඒත් එදා එහෙම උත්තර දුන්න
ගමේ කන්ත්තෙ මුරකාරයගෙ පුතාට
ගොඩ දෙනෙක් හිනා වුනා
සමහරු හූ කිව්වා.
රෑට කනත්තෙ නිදාගෙන
උදේට ගමේ ඉස්කෝලෙට යන
"පොඩි සුසානෙ" ගෙ උප්පැන්නෙ නම
දන්න කෙනෙක් ගමේ හිටපු නැති ගානයි.

ඉර දෙවියො කැරකි කැරකි
දවාල රැය ගෙවිල ගියා
එදා පුංචි උන් මහ උන් වෙලා
බැංකු මහත්තුරු, බැංකු නෝනලා
රක්ශන නියෝජිතයො සහ කළමානකරුවො
විදියට සුදුසුකම් ලබලා..

අත් දිග කමිසෙට කැපෙන ටයි පටිය,
දිස්නෙ ගහන සපත්තු දාපු බැංකු මහත්තයෙක්.
ඒ මදිවට පරම්පරාගත සල්ලිකාරයො..
කිරි කිරියට දිලිසෙන වාහානේ ඇවිත්
නතරවුනේ අලුතෙන් දාපු පුංචි ඩිස්පෙන්සරියෙ.
අලුත් දොස්තර මහත්තයගෙන් බෙහෙත් ටිකක් ගන්න..
"පැතුම් බණ්ඩාර" දොස්තර මහත්තයා ගැන
පැහැදුනු බැංකු මහත්තය නිසා
ගම පුරා තවත් දොස්තර මහත්තය ප්‍රසිද්ධ වුනා
දොස්තර මහත්තයගෙ නිහතමානිකම නිසා 
ගමේ මිනිස්සුන්ගෙ හිත් වල ආදරය
දහස් ගුණයකින් වැඩි වුනේ බලාන ඉන්නැද්දි

හදිස්සියෙම වහලා දාපු ඩිස්පෙන්සරිය දැකල
කලබල වෙච්ච ගම්මු ටික 
දොස්තර මහත්තයෙ කුලී නිවසට යන්නෙ
ලෙඩක් දුකක්වත් ද බලන්න.
වෙනදටත් වඩා පිළිවෙළයි පිරිසුදුයි
වතු පිටි අස් පස් කරලා
ගම්මු දොස්තර මහත්තයගෙන් විස්තර ඇහුවා

"නෑ නෑ, කරදරයක් නෑ,"
"අද මගෙ තාත්ත එනවා"
"මෙහෙ ගම් පලාත ඉන්න තැන හදාගන්නකන්
තාත්තව ගෙදර නවත්තල ආවෙ."
දැන් ඉතින් තව කල් යවන එක තේරුමක් නෑනෙ."

"දොස්තර මහත්තය අපිට කිව්වනම්
අපි මේව සුද්ද වපිත්‍ර කරල දෙනවනෙ"
"කෝ දැන් ලොකු මහත්තය කොහොමද එන්නෙ? "
"ටවුමෙ කඩේ ගාවට එන්න කිව්ව නම් 
අපිට ඇහැකි ගිහින් එක්ක එන්න"

"අනේ ඕනෙ නෑ."
"අපේ තාත්තට මේ පලාත හොදට හුරුයි."
"ඒ කොහොමෙයි දොස්තර මහත්තයො? "
මේ තාත්තගෙ උපන් ගම.
ආවම බලන්නකො 
සමහරවිට අදුරන අයත් ඉන්නව ඇති.
තාත්ත තව ටිකකින් එයි.
මොකද්ද මහත්තයො ලොකු උන්නැහේ ගෙ නම?
"පුංචි බණ්ඩාර"


නිච්චි නෑ මහත්තයෝ..
පුංචි බණ්ඩාර කියලා නම් හිටියෙ
....
හිටි වනම ගොලු වුන ගම්මු ටික 
ඇස් ගෙඩි ලොකු කරන් බලන් ඉන්නවා..
දොස්තර මහත්තයගෙ මුණෙ
හැමදාම වගේ ලස්සන හිනාවක් ඇඳිලා.
තුශ්නිම්භූත වෙලා ඉන්න ගම්මු
පියවි සිහියට ආවෙ දූවිල්ල අවුස්සගෙන 
ඇවිත් නතර වුන කූලි රථය නිසා

"තාත්තා"
"පුංචි බණ්ඩා"
"දෙයියනේ එතකොට.. "
එලියට පැන්න වචන ටික 
එහෙමම නවත්තගත්ත ගම්මු
එකා දෙන්න මූණ හංගගත්තා.


Sunday, July 3, 2016

අයියයි මායි Vs අක්කා සහ හොල්මන with බල්ලා - Part 2

(ඔන්න පහුගිය කොටසෙන් ඔයාල "අයියයි මායි Vs අක්කා" එපිසෝඩ් ටිකයි
"හොල්මන with බල්ලා" එපිසෝඩ් එකේ පටන් ගැන්මයි කියුව්වනෙ.. ඒකේ ඉතිරි ටික.. )


 අයියාගෙ අසාමාන්‍යය හැසීරීම අක්කටයි මටයි ඒ වෙනකොටත් තේරුම් ගන්න බෑ. එක පාර ගැස්සිල පිටිපස්සට වෙනව. ආයෙත් අපි දෙන්න දිහා බලනවා. ඒ වෙද්දි නම් මගේ හිතෙත් පුංචි බයක් ඇති වෙලා තිබුනා. අක්කාත් නොපෙන්නුවට බය වෙලා හිටියෙ. ඒ නිසාම වෙන්න ඇති අක්කා අයියගෙ අත අල්ලගෙන කතා කලේ

"ඇයි මල්ලි, මොකද මේ? ඔයා අමුතුයි, කියන්න ඔයා මොකද බය වෙලා වගේ ඉන්නෙ? " අක්කා ඒ තරම් ආදරෙන් කතා කරන්නෙ එක්කො එයාට මොකක් හරි වැඩක් කරගන්න ඕනෙ වුනාම, නැත්තම් එයා දුකින් හරි බය වෙලා හරි ඉන්නකොට.

අපේ අයියත් ඇස් දෙක ලොකු කරල මගේ දිහා බලන ගමන් අක්කට උත්තර දුන්න

"නෑ අක්ක, ඔයාට මුකුත් වෙනසක් තේරෙන්නෙ නැද්ද?, චූටි නංගි ඔයාට මුකුත් පෙවුනෙ නැද්ද  අතන?" ඒ අතර අයිය අක්කගෙ පුටුව උඩින් ඒ පිටිපස්සට අත දික් කරන ගමන් ඇහුවා.

"නෑ අයියා, ඇයි මොකද? අනේ මට නම් බයයි" කියාගෙන ඉන්න තැනින් නැගිටල අයියා ලගටම ගිහින් එයාගෙ එහා පත්තෙ පුටුවෙන් ඉඳගත්ත නෙමෙයි ඉන්ඳවුනා. මොකද නොපෙනෙන දේවලට මං කොහොමත් අසාමාන්‍ය විදියට බයයි.

"නෑ නෑ ඔයා බය වෙන්න එපා. මං නිකන් ඇහුවෙ."අයියා ඒක කිව්වෙ අපි දෙන්නගෙම බය අඩු කරන්න වගේ.
ඒ වෙද්දි අපේ අක්කත් චන්ඩිකම් පැත්තක තියල හිටපු තැනින් නැගිටල මගෙ එහා පැත්තට ඇවිත් ඉඳගත්ත.

"අක්කෙ ඔයා චූටි නංගි අරන් කාමරේට යන්න මං දොරවල් වහලද බලලා එන්නම්. බය වෙන්න එපා, මට නිකම් සද්දයක් ඇහුන. එච්චරයි දෙන්නත් එක්ක ඔයාලගෙ කාමරේට යන්නකො. මං එන්නම්" අයිය එහෙම කිව්වට එතන ඊට වඩා දෙයක් තියෙනව කියලා ඒ වෙද්දි මටත් තේරුනා. අක්කටත් එහෙමම වෙන්න ඇති. ඒ නිසා අපි දෙන්නත් එක්කම කාමරේට යද්දි අයිය නැගිටල කුස්සිය පැත්තට ගියා. අයිය මේ බොරුවක් ද කරන්නෙ කියන සැකේ මගේ හිතේ නොතිබුනාම නෙමෙයි. ඒත් නිකම් බොරුවට චන්ඩිය වෙන්න ගිහින් අවදානමක් ගන්න ඔනේ නැති නිසා මාත් අක්ක එක්කම කාමරේට ගියා.

ඒත් ඒ වෙලේ එක පාරටම ලයිට් ගියා. එතකොට දහයත් පහු වෙලා. ඒ අස්සෙ අයියත් නෑ. අපි දෙන්නම කාමරේ ඉදන්ම අයියට කෑ ගැහුව. ඒ එක්කම වගේ අයියා ටෝච් එකකුත් උස්සගෙන කාමරේට අවා. ඒ වෙනකොට අපි දෙන්නම අක්කගෙ ඇදේ ඉදගෙන ගුලි වෙලා හිටියෙ. අයිය මගේ ඇදේ ඉදගත්ත. මගේ ඇඳ තිබුනෙ ජනේලේ ගාව බිත්තියට හේත්තු වෙන්න. අයිය ටෝච් එකත් මූනට ගහගෙන ඒ වෙළාවෙ කියපු කතාවට අපි තවත් බය වුනා.

"අක්ක මං නුවර පොඩි මාමව දැක්ක කලින්" ඒකයි මං ඔයාලට කාමරේට යන්න කිව්වෙ. මගෙ ඔලුවත් අවුල් වගේ"

"ඒ කිව්ව විතරයි මං අඩාගෙනම අයියා ලඟට පැන්න. අපේ අක්කත් ඒ එක්කම එතනට අවා.  මං හිටියෙ ජනෙලෙට පිටුපාල. ඒ අස්සෙ අයියගෙ අතින් ටෝච් එක ඕෆ් උනා. ඒ එක්කම අක්කත් කෑ ගහගෙන උඩ පැන්නා.

"අනේ මගෙ ඇඟට මොකද්ද වැටුනා" හ්ම් හ්ම් හුහ් මෙන්න අපේ අක්කත් අඩනවා.

ටෝච් එක පත්තු කරගත්ත අයියා ටෝච් එකේ එළිය අක්කට වැටෙන්න අල්ලගනිද්දි  අක්ක ඉදගෙන හිටපු තැන බාගෙට කාපු ගෝල්ඩ්මාරි බිස්කට් එකකුයි චොක්ලට් බිස්කට් එකකුයි..

දැන් මායි අක්කයි දෙන්නම අඩනවා.

අයිය වීරය වගේ බිස්කට් දෙක අරගෙන බිමට විසි කරල දැන්මා.

"මල්ලි අපි ශිරානි නැන්දලට කතා කරමුකො. අනේ මල්ලි මට නම් බෑ බයයි." අක්ක කියුවෙ අපේ එහා ගෙදර ඉන්න නැන්ද ගැන. එයා තමයි ඉතින් අපේ සැපට දුකට ලඟම ඉන්නෙ.

"එපා අක්ක, මේ වෙලාවෙ එළියට යනව කියන්නෙ ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. අපි මෙතනම ඉමු. බය වෙන්න එපා. බය වුනොත් ඔක්කොම ඉවරයි. මං අහල තියෙනව ඔය එක එක දේවල් කරල බය කරන්නෙ මිනිස්සුන්ව එළියෙ අන්ධකාරෙට ගන්න කියලා. මහ පොළව උඩ අහස යට එළිමහන කියන්නෙ උන්ගෙ රාජ්ජෙ. එතකොට උන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඔයාලට එළියෙ සද්ද ඇහෙන්නෙ නැද්ද, මට නම් ඇහෙනවා. අනික බලන්න මේ ටිකේම වැස්ස නෙ රෑ තිස්සෙම. අද හොදටම වැස්ස තිබිල එක පාරට නතර වුන හැටි.  ඒ නිසා අපි ඇතුලටම වෙලා ඉමු. තාත්තලත් තව ටිකකින් එයි නෙ."

මේ වෙද්දි නම් මට කතා කරගන්නවත් බෑ. පස්සෙ ටික වෙළාවක් යනකන් තුන් දෙනාම හ්ම් සද්දයක් නැතුව මූණට මූණ බලන් හිටියා. ඒත් අයිය කිව්ව වගේ සද්දයක් නම් අපිට එළියෙන් අහුනෙ නෑ. ඒත් එකපාරටම ඔව් මට දැනුත් ඒ ක මතක් වෙනවා. එක පාරටම ජනෙලේ දිහායින් ගොරවන සද්දයක්.. මං හිටියෙ ජනේලෙට පිටුපාල. අක්කා මාව ඉක්මනටම එයාගෙ ලඟට ඇඳලා ගත්තා. දැන් අපි තුන්දෙනාම ජනේලෙ දිහා බලාගෙන. ජනේල් වීදුරව වැහි වතුර නිසා මීදුම වගේ බැදිල. පැහැදිලිව අපිට එළිය පෙන්නෙ නෑ. ඒත් එන්න එන්න ම ගොරවන සද්දෙ වැඩි වෙනවා.

අයියගෙ ටෝච් එළිය කෙලින්ම ජනේලෙට වදින්නෙ නැති වුනත් ඒ එලියට ජනේලෙ හොදට පේනවා. අක්කයි මායි දෙන්නට දෙන්න තුරුලු වෙලා, ඒ අතරෙ මං අයියගෙ අතින් තද කරල අල්ලන් හිටිය. එක පාරටම අර මීදුමින් වැහිලා තිබුන ජනේලෙ මීදුම අයින් කරගෙන සුදුමැලි වෙච්ච අතක් වීදුරුව දිගේ එහෙ මෙහෙ වෙනවා. අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක්ගෙන්වත් හ්ම්ම් සද්දයක් එළියට ආවෙ නෑ.




අයියත් අපි දෙන්නට ලං වුනා ඒ වෙළාවෙ. මගෙ පපුව ගැහෙන වේගෙ වැඩි වුනා. අක්කත් හයියෙන් හුස්ම ගන්නව මට හොදටම දැනෙනවා.ජනේල් වීදුරුව උඩ තුන් හතර පාරක් එහා මෙහා වෙච්ච සුදුමැලි අත එක පාරටම අයින් වුනා. ඒ අතරෙ ජනේල එහා පැත්තෙන් මනුස්ස රූපයක් පේනව පල්ලෙහාට වෙනකන් එල්ලෙන දන්වැලක් එක්ක. ඔව් යකඩ දන්වැලක් එක්ක. ඒ එක්කම එකපාරටම සුදුමැලි වෙච්ච මූණක් ජනේල් වීදුරුව ඉස්සරහ. ජනේල් වීදුරුවට නහය, කම්මුල් දෙක නිකට මිරිකිලා තවත් දිලිසුන විරූපි වෙච්ච මූණක්. ඒ නිසා ඒ මූණ හරියට පැහැදිලි නෑ, අනිත් එක හරියට එළියක් තිබුනෙත් නෑ..




අක්කා බය වෙච්ච පාර කෑ ගහගෙන ඇදෙන් බිමට පැන්න විතරයි අපි දැක්කෙ. මට කිසි දෙයක් තේරුම ගන්නත් බෑ. කෑගහන්නවත් බෑ. හෙල්ලෙන්නවත් බෑ.  ඒ තරමට මං බය වෙලා. ඒ අතර අයිය මාව ඇදගෙන එළියට දිව්වා. අයියත් හයියෙන් හුස්ම ගන්නව. ඒ වෙද්දි අයියා අපිව බොරුවට බය කරන්න හිතාගෙන බොරු නෙමෙයි  කරේ කියන දේත් එක්ක තවත් මං අයියගෙ අත තද කරලා අල්ලගත්ත. මොකද ඒ කාලෙ මගෙ වීරය අයියනෙ.

අයිය මාව එක්කගෙන සාලෙට ගිහින් පහනෙ තෙල් අරගෙන මගෙ නල්ලෙත් ගාල එයගෙත් ගා ගත්ත. ඊට පස්සෙ මට එතනම ඉන්න. කොහෙවත් යන්න එපා කියලා කොහේදෝ යන්න ගියා. ඒ ගමන ඉස්සරහ දොරට කවුදෝ තඩි බානවා. අක්කට මොනව වුනාද දන්නෙ නෑ.

මං අයියා කියපු විදියටම එතනින් හෙල්ලෙන්නෙවත් නැතිව හිටියා. එ අතරෙ ඉස්සරහෙන් මට ශිරානි නැන්දගෙ කටහඩ ඇහෙනවා. ඒත් මං හෙල්ලුනෙ න. අයියා කිව්වනෙ උන්ට ඕනෙ අපිව එළියට ගන්න කියල. කවුද දන්නෙ උන්ට කටහඩ වෙනස් කරන්නත් පුලුවන් ඇති නෙ. මං එහෙමම බිම ඉඳගෙන ඇස් දෙකත් වහගෙන දන්න ඔරසන් කියන්න ගත්ත. එක පාරටම කරන්ට් අවා. ඒ වෙළාවෙ තමයි යන්තම් ඇඟ ට ලේ ටිකක් ඉනුවෙ. ඔන්න ඒ ගමන්ම වගේ ඉස්සරහ දොර ගාවින් ඇහුන සද්ද ඔක්කොම නැවතුනා. ඒ කියන්න අයියා කියුව වගේ උන්ට ඔනෙ වෙලා තිබුනෙ අපිව එළියට ගන්න. ඒව කොහෙද අපේ අයිය ඉන්න කන්.

ඔන්න එතකොටම අයියත් දාඩිය පෙරාගෙන මං ලඟට දුවගෙන් ඇවිත් මාව තුරුල් කරගත්ත. ඒ වෙද්දිත් මට හරියට කතා කරගන්න බෑ. ඒ තරම් බය වෙලා.

"කෝ චූටි අක්ක? " අයිය  අහල ඉවර කරන්න හම්බ වුනේ නෑ අපි හිටපු තැනට ටිකක් එහාට වෙන්න තියෙන සාලෙ ජනේලෙට ආයෙ තට්ටු කරනවා. අයිය ගැස්සෙනව මට හොදටම තේරුනා. ඒ එක්කම ශිරානි නැන්ද කතා කරනවා ආයෙ..

"දොර අරින්න දරුවෙ මේ මම. මොකද වුනේ. චතුර දොර අරින්න."

අපේ අයිය ඒක ඇහුන විතරයි දඩ බඩ ගාල දොර අරින්න යන්න හදනවා. ඒව කොහෙද මාත් එක්ක.

"අනේ අයියා එපා, එපා, ඔය උන්ගෙ වැඩක්. අපිව එළියට ගන්න, ඔයාමනෙ කිව්වෙ, දොර අරින්න එපා. අපි අම්මල එනකන් ඉමු. අනේ යන්න එපා අයියා. ඔහොම ඉන්නකො." මං අයියගෙ අතින් අල්ලගෙන නාහෙන් ඇඩුවට හරි ගියෙ නෑ අයිය මගෙ අත ගසල දාල නැගිට්ටා. මෙච්චර කල් අයියා මාව ඇහක් වගේ ආරක්ශා කලානෙ. එහෙම තියෙද්දි මේ වෙලේ නංගි කෙනෙක් විදියට එයාව ආරක්ශා කරන එක මගේ යුතුකම කියලා හිතාගෙන නැගිටල ඇවිදගෙන යන්න හදන අයියගෙ කකුලෙ එල්ලුනා. අපි හිටපු තැන ඉදන් දොර ගාවට අඩි දොළහක් විතර යන්න ඕනෙ. ඔන්න දැන් මං බිම ඉඳගෙන අයියගෙ කකුලෙ එල්ලිලා එයාව නවත්තන්න හදනවා. මොන අපේ අයියා මාවත් ඇඳගෙනම දොර පැත්තට ඇවිදනවා.

ඒ වුනත් මට අයියව දාල යන්න හිතෙන්නෙ නෑ. දැන් දොර ඇරපු ගමන් අයියව ඇඳල එළියට ගනී. අනේ මගෙ අයියට මොනව හරි වුනොත්.. දාහක් දේවල් ඔලු ගෙඩියෙ වැඩ කරද්දි  අයිය දොර ඇරිය. මං ඇස් දෙක වහගත්තෙ ඊලඟට වෙන දේ බලන්න තරම් හයියක් මට තිබුනෙ නැති නිසා. ඒත් මට ආයෙත් ඇහුනෙ ශිරානි නැන්දගෙම කටහඩ.

"මොකද ළමයො මේ බය වෙලා. කෝ ලොකූ, චූටි දූ කෝ නැගිටින්න මොකද වුනේ. අයියලා තාම ගෙදර ඇවිත් නැතිව ලයිට් ඔක්කොම නිවල නිසා මං සුමනව එව්ව පොඩ්ඩක් බලලා එන්න කියලා. ඒ අස්සෙ මෙහෙන් ලොකූ කෑ ගහනව ඇහුන නිසා මේ මාත් දුවන් ආවෙ. ඒ එන අතරෙ සුමනා මාවත් පෙරලගෙන ඒ පැතතට ආවා. ඒ මනුස්සයත් බය වෙලා. විස්තරයක් ඇහුවට එක වචනයක්වත් කියන්නෙ නෑ "

මන් කොයි එකටත් කියල අයියට මුවා වෙලාම හිටියා. කියන්න බෑ නෙ මට නම් ඒ කියපු කතාවත් ඒ වෙලාවෙ අල්ලුවෙ නෑ. මෙච්චර දෙයක් වුනා අපිව බලන්න සුමන තියා සුමනගෙ බල්ලවත් ආවෙ නෑනෙ. ( ශිරානි නැන්දගෙ තනි නොතනියට හිටියෙ සුමන කියලා ගෑනු කෙනෙක්. එයාට සාමාන්‍ය කෙනෙක් වගේ දේවල් තේරුම් ගැනීමෙ හැකියාව අඩුයි. ඒ මනුස්සයගෙ අම්ම මැරුනම පස්සෙ ශිරානි නැන්ද එහෙ ගෙන්න ගෙන තියාගෙන. ඉතින් එදා ඉදන් සුමන එහෙ නිත්‍ය සමාජිකාවක් වගේම ශිරානි නැන්දලා ගෙදර දන්න කාලෙ ඉදන්ම බල්ලෙක් ඉන්නව. එක්කෙනෙක් නැති වෙද්දි තව එකෙක්. සුමන කොහෙද යන්න බල්ලත් එතන.

අපේ අයියා බිල්ල වගේ බිම බලාගෙන ඉන්නවා. අක්කා පේන මානෙක නෑ. එ අස්සෙ ආයෙත් අර ගොරවන සද්දෙ එක්ක දම්වැලක සද්දයක් අහෙනව මිදුලෙන්.. මං ආයෙත් අයියගෙ අතේ එල්ලුනා. අයියත් ශිරානි නැන්ද දිහා බැලුවෙ බයට.

" නැන්දෙ ඔය ඇහෙනවද, ඒකා ආයෙ එනාව.. කලිනුත් අවා. අපි කාමරේ හිටියෙ. අයියා අඟක් මුලක් නැතිව කියෝගන යනවා.."

ශිරානි නැන්දා මහ කැත හිනාවක් දැන්මා. මගේ සැකේ හරි කියලා ඒ වෙලාවෙම මට හිතුනා. මේ ශිරානි නැන්ද නෙමෙයි අරුන්ගෙන් එක්කෙනෙක්. මුලින් බොරු කරල අපිව අල්ලගෙන පස්සෙ අනිත් උන්ට එන්න කියන්න ඇති. නැත්තම් අසරණ වෙච්ච ළමයි දෙන්නෙක්ට හිනා වෙනවද මෙහෙම.. මං එහෙම හිතුව. ඒත් ඒක විනාඩි ගානකට විතරයි.

මොකද අර ගොරවන සද්දෙ එන්න එන්න ලං වෙද්දි මෙන්න දොර ගාව සුමනා. අතේ  එල්ලෙන දංවැල ඉවර වුනේ බල්ලගෙ බෙල්ලෙන්.ඒ කියන්නෙ... ඒ කියන්නෙ.. හොල්මන සුමනා.

අපි ජනෙලෙන් දැක්කෙ සුමනා. ගෙදර ලයිට් එකක්වත් නැතිව කාමරේ විතරක් එහා මෙහා යන එළිය මොකද්ද බලන්න සුමනා ජනේලෙ පැත්තට ඇවිත් තියෙන්නෙ. ඒ මනුස්සයට ඉස්සරහ දොරට තට්ටු කරල කතා කරන්න තරමට තේරුමක් තිබිලා නෑ.ඒක හරි කියමුකො. ඒත් අයිය දැක්ක නුවර පොඩි මාම? එතකොට අපිට විතරක් කරන්ට් එක ගියේ? අක්කගෙ ඇඟට වැටුන භාගෙට කාපු බිස්කට්? හ්ම් එතකොට අපේ අක්කගෙ අතුරුදහන් වීම? මගේ ඔලුව ඇතුලේ දාහක් දේවල් කැරකෙද්දි අපේ අයිය සැනසුම් සුසුම් හෙලනවා. ඇයි දෙයියනේ මේකට මොන වෙලාද? ශිරානි නැන්දට කිව්වෙත් අපි කාමරේ ඉදන් ඉද්දි වුන දේවල් විතරයි

"කෝ දැන් දෙන්නත් එක්ක අක්කව හොයන්න.ඔය හොල්මන් කියලා ජාතියක් නෑ ළමයිනෙ. අයියයි අක්කයි එනකන් මං ඉන්නම්කො." ශිරානි නැන්දා තාම හිනා වෙනවා. අයියත් ශේප්. මෙන්න ඒ පාර මෙයා අක්කාට කතා කර කර අක්කව හොයනව. මං ශිරානි නැන්දට ඒ අතරෙ සම්පූර්ණ විස්තරේ කිව්වා. තාමත් මගේ හිතට බයයි.

"චතුර... මෙහෙ එන්න, මේ කෙල්ල හොදටම බය වෙලා. මොකද්ද වුනේ කියලා මේ ළමයට පුතාම කිව්ව නම් නේ ද හොඳ"

මෙන්න අපේ අයියා ගල් බිල්ල වගේ මූණත් හදාගෙන කියපි "මං දැක්ක ඇති හොල්මනක් නෑ චූටි නංගි අක්කව බය කරන්න හිතන් කිව්වෙ.ඒ වුනත් සුමන ගෙ වැඩෙ නිසා මාත් බය වුනා, මොකද ඔයාලව බය කරන්න නිසා මාත් හොල්මන් කතා කිය කිය නෙ හිටීයෙ"

"ඒ කියන්නෙ අයියෙ එතකොට කරන්ට් එක ගියෙ?"

"ඔයාලා දෙන්නට යන්න කියලා මං කුස්සියට ගියේ බොරුවට, එන ගමන් ට්‍රිප් එක ඕෆ් කලා."

"එතකොට බිස්කට් කොහොමද එක පාරට අක්කගෙ ඇඟට වැටුනෙ?"

"එ එන ගමන් බිස්කට් දෙකක් අරන් භාගෙට කාල මන් සාක්කුවෙ දාගත්ත. ඕනකමින් ටෝච් එක නිවල ඇඟට විසි කලෙත් මං"

"චි ඔයා නම් මහ නරකයි අයිය. මං නම් ඔයා එක්ක ආයෙත් ජීවිතේටවත් කතා කරන්නෙම නෑ නෑමයි. ඔයාට වඩා බලන් යද්දි අක්ක හොදයි. එපා ඔයාව මට." මට ඇත්තටම කේන්ති ඇයි දෙයියනේ මගේ ජීවිතේ ගැනවත් නොහිත මං බිම දිගේ බඩගාගෙන ගියේ මේ වගේ සතෙක් වෙනුවෙන් නෙ කියල හිතද්දි මට අපේ අයියව මරාගෙන කන්න තරම් කේන්ති. ඒත් ඉතින් ඊට වඩා ඒ වෙලාවෙ වැදගත් උනේ අතුරුදහන් වෙච්ච අක්කව හොයන එක. හැමතැනම හෙව්වත් එයාව හොයාගන්න බැරි වුනා. අන්තිමට බලද්දි අයියගෙ කාමරේ එයාගෙ අල්මාරිය ඇතුලෙ රිංගගෙන හිටපු අපේ අක්කව හොයාගන්න පුලුවන් වුනා.

ලේසියෙන් අපේ අයියගෙ කාමරේට නොයන අක්ක ඒ කාමරේට ගිහින් අයියගෙ ඇඳුම් අල්මාරිය අස්සෙ හැන්ගෙන්න තරම් එයාට කොයි තරම් නම් බයක් තියෙන්න ඇත්ද කියලා මට හිතා ගන්න පුලුවන්.කොහොමහරි අපේ අක්කා බය වෙච්ච් පාරට එයාට දවස් තුනක්ම උණ ගැනිලා හිටියා. අයියා ඒ දවස් ටිකේ අක්කා ලඟටම වෙලා ඉඳගෙන එයාගෙ බැනුම් අහ අහ හරි කටවහගෙන අක්කගෙ බේත් ටික වතුර ටික එහම ගෙනත් දුන්නෙ එයා නොහිත කරපු දේ දුර දිග ගිය එක ගැන එයාගෙ හිතටත් හරි මදි නිසා වෙන්න ඇති. ඒ දවස් ටිකේ අයියට අම්මගෙනුයි තාත්තගෙනුයි හොදටම බැනුම්.. අක්කට හොඳ වෙනකන් ටිවි තහනම්, අතිරේක අනං මනං ආහාර තහනම්, සෙල්ලම් තහනම්. හොඳ වැඩේ

අපිව බය කරන්න ගියාට අන්තිමට අපේ අයියා බය වෙච්ච නිසා එයාට බැරි වුනා මලගෙවල් වල දාන ගෙවල වල මගුල් ගෙවල් වල නෑදෑයො එක්ක, ඒවා කිය කිය වෙනද වගේ අපිව නෝන්ඩි කරන්න. ඒ වෙනුවට අඩුවක් නැතිව අපි එයාව නෝන්ඩි කලා.

ඔන්න ඔහොමයි හොල්මන with බල්ල.. එපිසෝඩ් එක ඉවර උනේ..

Thursday, June 30, 2016

අයියයි මායි Vs අක්කා සහ හොල්මන with බල්ල



අම්මේ ගොඩ කාළෙකින් මේ මෙහෙම හරි ලියන්න වෙළාවක් හම්බුනේ.. මේ වගේ වෙළාවක ලියන්න දෙයක් හිතාගන්න බැරිව ඉද්දි කොච්චර මතක් කලත් අමතක වෙන්නෙ නැති,වැඩිපුරම මං කතා කරන්නම කැමතිම චරිතෙ ගැන ලියන්න හිතුනේ ඒ ගැන ලියද්දි කම්මැලි කමකුත් නෑ වගේම අමුතුවෙන් වචන ගලපන්න ඕනෙත් නැති නිසා.අනේ මංද ඉතින් පුංචි කාලෙ කරපු පිස්සු වැඩ..







ඒ කාළෙ සිද්ද වෙච්ච කතාවක් මේ..
නියම වීරයෙක් ගැනයි කියන්නෙ..
අස්සයෙක් වගේ එයා ගමන් යයි..
එයාට මං නම් කිව්වෙ අයියා මගෙ

අසාදරණේ මෙයාට පෙන්නන්න බෑ
"ඇයි එයාට අසාදාරණේ පෙන්නන්න බැරි?
එහෙම තමයි අක්කාගෙන් ගුටි කන කොලු පැටව්..

ඕ යෙස්..
අපේ අයියා චූටි කොලු පැටිය කාලෙ අක්කගෙන් සෑහෙන්න ගුටි කනවා. ඇයි මම.. මාත් එහෙමම තමයි.. ඒත් අපි ඉවසීමෙන් ඒ හැම අසාධාරනයක්ම දරාගෙන හිටියා අපිත් තුත්තක් විතර ලොකු වෙනකන්.. ඒ කිව්වෙ ඉතින් අපේ අයියා මොට්ටතෝලි යන පොඩි කොල්ලෙක් වෙච්චි මං යන්තම් දණ ගාන චූටි කෙල්ලෙක් වෙච්චි අපිට පුලුවන් ද ඉක්කෝලෙ යන ලොකු අක්කෙක් එක්ක තන්ඩු කලන්න? ඒ නිසා අපේ මොට්ටතෝලි අයියා ඉක්කෝලෙ යන අයියෙක් වෙලා මාත් මොට්ටතෝලි යන නංගියෙක් වෙනකන් ඉඳලා අපි දෙන්න එකතු වෙලා ඉක්කෝලෙ යන අක්ක අපිට කලපු කූර වැඩ වලට පලි ගන්න පටාන් ගත්ත. මුලින්ම අපි කලේ එයාගේ ඉක්කෝලෙ පොත් වල කුලුටු බලි ඇන්දා.. තව කේන්ති වැඩිම උනාම මං අක්කිගෙ චෝක් පෙට්ටියෙ චෝක් කෑලි හපල හපල තූ දානවලු. අපේ අයිය නම් ඉතින් අක්කිගෙ පොත් වල කොල කඩල රොකට් හදනවා. හැබැයි ඒ කාලෙ ඉදන්ම අයියයි මායි දෙන්න හරිම සාමයෙන් සමාදානෙන් හිටියෙ.






එයාගෙ සෙල්ලම් බඩු මං අරගන්නවා. එයාගෙ බිස්කට් මං කනවා. එතකොට අයියගෙ බත් එකේ බිත්තර තිබුනොත් මං ඒක කනවා. ගෙදර කේක් එහෙම ගෙනවාම මගේ කේක් කෑල්ල කාල ඉවර වෙනකොට අයියගෙ කේක් කෑල්ලෙ චුට්ටක් හරි ඉතුරු වෙලා තියෙනව නම් ඒකත් මං කනවා. ඒ වගේම තමයි මං කන්න කැමති නැති මගෙ පිඟානෙ තියෙන කෑම ඔක්කොම අම්ම එහ මෙහා වෙනකන් ඉදල අයියගෙ පිඟානට යනවා. උදාහරණයක් විදියට මිරිස් මාලු, මුරුංගා, කජු, දැල්ලො, පතෝල, අල, බීට් සහ තව ගොඩක් එළවලු, එතකොට අයිස්ක්‍රීම්, අයිස්චොක්ස්, රත් කෙසෙල්, ගස්ලබු වගේ දේවල් කන වෙලාවට අපේ අයියා මගේ ලඟින් හෙල්ලෙන්නෙ නෑ. මොකද ඒවා මං කන්නෙ නෑ වගේම අපේ අයියා කන්න ආසම කෑම, ඉතින් අපි සහජීවනයෙන් ජීවත් වුනා.

ඔන්න ඔහොම අපි ටික ටික ලොකු වුනා. ඒ කියන්න අපේ අක්කා උසස් පෙළ කරල ඉවර වෙළා ගෙදර ඉන්න කාලෙ අපේ අයියා සාමාන්‍ය පෙළ විභාගෙ ට ලෑස්ති වෙනවා. එතකොට මං අට වසරෙ නංගි බබෙක්. ඔය කාලෙ අපේ අක්ක හරි උනන්දුවෙන් බියුටි කචල් වැඩසටහන් බල බල ලස්සන වෙන්න නා න ප්‍රකාර වූ දේවල් කරන කාලෙ.. එකී මෙකී නොකී ක්‍රීම් ජාති ගෙනල්ල තියාගෙන මූනෙ උලනවා. තාත්ත අපිට කන්න ගේන යෝගට්, ගස්ලබු, අලිගැටපේර, පිපිඤ්ඤා, කැරට් වගේ කෑම ජාති අපි කටට දාගන්න හිතද්දි ඒවා අපේ අක්ක බ්ලෙන්ඩ් කරල තව එක එක එවුවා දාලා මූනෙ උලාගෙන ඉන්නව. ඉතින් ඉගෙනගන්න ළමයි වෙච්චි, මොළේ වර්ධනය වෙන්න කියල තාත්ත අමාරුවෙන් හම්බ කරල ගෙනල්ල දෙන කෑම ජාති මූණේ උලාගෙන රෑ තිස්සෙ අපේ අක්ක නිදාගත්තම ඒක සදාචාරසම්පන්නද මං අහන්නෙ?

ඉතින් අයියයි මායි උදේ ඉස්කෝලෙ යන්න පහ මාර වෙද්දි නැගිටිද්දිත් අපේ අක්ක සැපට නිදි. අයියයි මායි ඇදගෙන කරගෙන අක්කයි මායි සාමදානයෙන් නිදාගන්න කාමරේට රිංගලා එයාගෙ එකී මෙකී නොකී ක්‍රීම් ජාති ටික දිහාට ශ්‍රීමත් අඟුලුභවන් සහ කුමන පුත්‍ර වගේ හොරෙන් හොරෙන් ලඟා වෙනවා මගෙ අම්මෝ අපේ අක්ක ඒ කාලෙ මූණට ගාන්න වෙනම අතේ පයේ ගාන්න වෙනම නියපොතු වල උලන්න වෙනම මොකද්ද එකක්, රෑට නිදාගද්දි දාන වෙන වෙන ජාති , දෙයියනෙ ඕව ඔක්කොම වෙන වෙනම අරගෙන උලන්න වෙලා නැති නිසා මං නම් කරන්නෙ සුවදටම තිබුන සුදු පාට ක්‍රීම් එක මූනෙයි අත් දෙකෙයි උලාගන්න එක, අපේ අයිය නම් අතට අහුවෙන ඔක්කොම ක්‍රීම් ජාති ටික අල්ලට දාගෙන කලවන් කරල මූනෙ ගානව.. ඊටපස්සෙ ඉතින් එයාගෙම පර්ෆියුම් එක අයියයි මායි දෙන්නම දාගන්නවා.ඉස්කෝලෙ යන කාලෙ නිසා අපිට එක එක ක්‍රීම් ජාති සහ පර්ෆියුම්  වැඩ වලට මව් තුමියගෙන් අවසර තිබුනෙත් නෑ.. කොහෙහරි ගමනක් යනකොට පර්ෆියුම් දැම්මට අම්ම ගාව තමයි තියෙන්නෙ. ඉස්කෝලෙ යද්දි දාන්න සම්පූර්ණ තහනම්. ඒ වෙනුවට අපිට දීල තිබුනෙ ජොන්සන්ස් බේබි ඕඩිකලෝන්. ( ඒ දවස් වල අයියට ගෑනු ළමයින්ගෙ සෙන්ට් කියලා ගානක් තිබුනෙ නෑ). ඉස්සර තාත්ත අපි තුන් දෙනාවම උදේට ඉස්කෝලෙ දාගෙන තමයි යන්නෙ. අයිය  ඒ ලෙවල් කරන කාලෙ වෙද්දි අයියයි මායි තනියම බස් එකේ ගියා. ඉතින් අක්කගෙ ක්‍රීම් ගාගෙන අපි අම්මට තාත්තට වැදලා තාත්ත ත් එළියට බැහැල වාහනේ එළියට ගන්නකං ඉදල අපේ අයියා  කාමරෙ ගාවට ගිහින්  කාමරේ දොර දඩෝන් ගාල සද්දෙට වදින්න වහනවා. ඒ සද්දෙට අපේ අක්කිගෙ සැප නින්ද කැඩිල එයා කාමරෙන් එළියට එද්දි බලන්න ලස්සනයි මූන පුරා එක එක දවසට එක එක පාට මොකක් හරි මලදානයක් උලාගෙන කොන්ඩෙත් කඩාගෙන එළියට එන විදිය. අපි දෙන්න සංතෝසෙටද බයටද මංදා කෑගහගෙන දුවල ගිහින් වාහනෙට පැන ගන්නවා. මොකද නැත්තම් අපි දෙන්නට කන්න වෙනවා නෙ.


 පස්සෙ පස්සෙ අපේ අක්කගෙ ක්‍රීම් බෝතල් වහද්දි අපේ ගොන් වහන්සේ මූඩි මාරු කරල වහල වැඩේ අහු වුනා. ඊට පස්සෙ අපේ අක්කි එයාගෙ ක්‍රීම් බෝතල් කොහෙ හැන්ගුවද දන්නෙ නෑ. අපි දෙන්නත් එක්ක එකතු වෙලා සෑහෙන්න මහන්සි වුනා එයා ගෙදර නැති වෙළාවට ඒව හොයාගන්න. ඒත් කියන්න කණගාටුයි අපිට ඒව හොයා ගනන්ව තියා හිස් ක්‍රීම් බෝතලයක්වත් හොයාගන්න හමබවුනෙ නෑ. ඕ යෙස්..


මං සාමාන්‍ය පෙළ දක්වා කිසිම පෞද්ගලික පංතියකට සහභාගී නොවුන කෙනෙක්. මං ඒ වෙනකන්ම පාඩම් අහගත්තෙ අයියාගෙන්. එතකොට එයා සාමාන්‍ය පෙළ වෙනකන්ම පාඩම් ඉඟෙන ගත්තෙ අපේ අක්කගෙන්. අයියාගෙ අවාසනාවක මහත කියන්නෙ අපේ අක්ක පාඩම් උගන්වනවට වඩා කලේ අපේ අයියගෙ කණ මිරිකන එකයි ටොකු අයින එකයි. ඒත් අපේ අයිය නම් මට කවදාවත් එහෙම කරල නෑ. එතකොට මං දහය වසරෙ, ඒ කාලෙ අයියා උසස් පෙළ විභාගෙට රෑ නිදි මරාගෙන පාඩම් කරන කාළේ. ඉතින් අපේ තාත්ත කොල්ල රෑ නිදිමරාගෙන පාඩම් කරනව නෙ බඩගිනිත් එනවා ඇති නෙ කියල හිතල අපි දෙන්නගෙම ආසම බිස්කට් වර්ගය වෙච්ච ගෝල්ඩ් මාරි සහ චොක්ලට් බිස්කට් ලොකු පෙට්ටි දෙකක් ගෙනල්ල තියල තියෙනවා. රෑට අම්ම තේ හදලා ෆ්ලාස්ක් එකේ දාල තියනවා අයියට. මාත් ඉතින් ඒ දවස් වල හමදාම බාස්කට්බෝල් සහ බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර එන්නෙ හවස් වෙලා නිසා ඇඟ පත හෝදල කාලා බීල ඉස්කෝලෙ වැඩ පටන් ගන්නෙ අටට විතර. ඉතින් කොහොමත් එකොළහ විතර වෙනකන් වැඩ කෙරෙනව. සාලෙ මේසෙ උඩ හතර වටේ පොත් වනාගෙන තමයි අපි පාඩම් කලේ. වැඩ වැඩි වුන දවසටයි විභාගෙ කාලෙටයි නම් තවත් රෑ වෙනකන් පාඩම් කරනවා. අයිය නම් කොහොමත් රෑ වෙනකන් පාඩම් කරනවා කියල තමයි හැමදාම ඉන්නෙ. ඒත් සතියට දවස් දෙකක් විතර තමයි එහෙම වෙන්නෙ.. :)

ඔන්න ඉතින් මේ කියන අවාසනාවන්ත දවසත් අපේ වාර විභාගෙ කාලෙ දවසක්. ඉතින් ඒ නිසා අයියයි මායි දෙන්නත් එක්කම පොතේ හැටියට රෑ වෙනකන් පාඩම් කරන්නව. ඒ වුනාට එදා පොඩි වෙනසක් තිබුන. අපේ අම්මයි තාත්තයි නුවර මාම කෙනෙක්ගෙ මළ ගෙදරක ගිහින් හිටියෙ. එනකොට රෑ වෙනව කියලත් අපි දන්න නිසා තුන් දෙනත් එක්කම කෑම කාල පුරුදු විදියට අපි දෙන්න  පාඩම් කරන ගත්තා. අක්ක ඉතින් ගෙදර චන්ඩිය නෙ අම්මල නැති වෙලාවට. මෙයා පොර වගේ අපි දෙන්නට ටොකු අයිනවයි පොත් බලනවයි එක විකාරයයි. මළ කරදරේ. මේ කෙහෙල්මල් කරදරේ ඉවසගන්න බැරිව ඉන්න අස්සෙ අපේ අයියගෙ ටිකිරි මොළේ ට අදහසක් අවා කියල මට තේරුනෙ අයියා ඇස් දෙක හීනි කරගෙන අක්ක දිහා  බලන් මේසෙට තට්ටු කරද්දි. සාමාන්‍යෙන් අපේ අයියන්ඩි කවුරු හරි දිහා එහෙම බලනවා කියන්නෙ හෙනම ලොකු කුමන්ත්‍රණයක් ප්ලෑන් කරනව කියන එක.



ඔය වෙළාවෙ අයියට හරි කෙලින් පුටුවෙ මං ඉදන් හිටියෙ. ඒ කියන්නෙ අපි දෙන්නගෙ මූණට මූන පෙන්න. අපේ සාලෙ මේසෙ අට දෙනෙක් ට ඉදගන්න පුලුවන් මේසයක්. එතකොට දිග පැති දෙකට පුටු තුන ගානෙ තියල අනිත් පැති දෙකේ තනි පුටු දෙක නෙ. ඔන්න ඔය කියන තනි පුටුවෙ තමයි අක්ක ඉදන් හිටියෙ. ඔහොම ඉන්න අතරෙ අයියා එක පාරටම පුටුවත් පෙරළගෙන නැගිටල  අක්කා ඉදන් හිටපු පුටුව පිටිපස්ස දිහා කටත් ඇරගෙන ඇස් පිය නොහෙලා බලන් ඉන්නව. ඒක දැක්ක ගමන් මාත් ඒ දිහා බැලුවට මට නම් මෙලෝ වෙනසක් පෙනුනේ නෑ. අක්කත් පිටිපස්ස බලල ආයෙ අයියා දිහා බලලා මොකද මේ? මේ විකාර නැතිව ඉඳගන්නවා. වැරදි කියද්දි ඉන්න බෑ නෙ නේද?" ඔහොම ඉන්නව කො අම්මා ආවම මන් කියන්න. බලනව මේ පොතක හැටි..කියල සුපුරුදු බණේ පටන් ගත්තා.  මොකද ඕ ලෙවල් වෙනකන් අයියගෙ පාඩම් වල වැරදි හෙවුවට ඒ ලෙවල් කරන්න ගත්තම පස්සෙ අක්කට අයියගෙ පාඩම් වල වැරදි හොයන්න බැරි වුනේ අක්කා වානිජ විශයන් කරපු කෙනෙක් නිසයි අයිය තෝරගත්තෙ ගණිත විශයන් නිසයි. ඒත් ඉතින් පුරුද්දට වගේ අඩු ගානෙ පොතේ පිටු කඩල හරි,  අකුරු කැතයි කියල හරි බනින එක අක්කගෙ පුරුද්දක් වෙලා තිබුනා.

අයියා ආයෙත් කිසි දෙයක් නොවුන ගානට ඉඳගන්න ගමන් අක්ක දිහයි මං දිහයි පුටුව පිටිපස්ස පැත්තයි මාරුවෙන් මාරුවට බලන ගමන් මෙන්න ගොත ගහනවා. " නෑ නෑ.. මුකුත් නෑ අක්කා, මේ නිකන්, මුකුත් නෑ.. " ඒ කීයපු විදිය නම් මටත් එච්චර ඇල්ලුවෙ නෑ. අක්කාගෙත් මූණ ටිකක් පුන්චි වුනා. ඒත් ඉතින් අයියවත් විස්වාස නැති නිසා අපි දෙන්නත් ඒක එතනින් අමතක කලා. ඒත් අපිට එහෙම කරන්න පුලුවන් වුනේ ටික වෙළාවකට විතරයි..

Tuesday, December 8, 2015

හීන අහුරු සබන් බෝල





අපි හැමෝටම හීන තියෙනවා. හැම කෙනෙක්ම ඔළු ගෙඩිය ඇතුලෙ මැවිච්ච හීනයක් එක්ක අරමුණු, ඉලක්ක ඇති කරගෙන ඒ අරමුණු වෙත ලඟා වෙන්නෙ කොහොමද කියලා දහ අතේ කල්පනා කරනවා. සමහරු නොකා නොබී නිදි මරාගෙන අර කියපු අරමුණු සහ ඉලක්ක වෙත ලඟා වෙන්න හති වැටෙනකන් දුවනවා. ඈත තියෙන ඉලක්කයක් කරා ලඟා වෙන්න හැල්මෙ දුවද්දි කොයි තරම් නම් පුංචි පුංචි හීන වගේම සතුට පිරුනු නවාතැන්, සිත නිවන තරම් නිස්කලංක ස්වභාවධර්මය, හදවතින්ම බැදුනු මිතුරු මිතුරියන්, ලෙයින් නෑ කම් කියන සහෝදර සහෝදරියන් වගේම ඈත දවසක තමන්ට උපකාර කරපු, උපකාරයක් අවශ්‍යව අසරණ වුන තමුන්ගෙම ආදරණීයන් කොයිතරම් නම් පහු කරන් යනවද? සමහරවිට ඒ කිසි දෙයක් පහු වෙන බවවත් නොදැනෙන තරම් හැල්මෙ දුවන වේගය වැඩී. වටපිටාව ගැන අවධානයක් නැති තරම්. ඒ තරමට අර ඉලක්කය වෙත අලවගත්ත ඇස් දෙක හෙල්ලෙනෙවත් නැති තරම්.

ඉතින් මෙහෙම දුවන කීයෙක් කීදෙනාටද ඒ ඉල්ලක වෙත ලඟා වෙන්න පුලුවන් වෙන්නෙ?


එහෙම ලඟා වෙන සුලු පිරිසෙනුත් කීයෙක් කී දෙනාද සැහීමකට පත් වෙන්නෙ?

සතුටු වෙන්න පුලුවන් දේවල් අනන්ත අප්‍රමානව තියෙද්දි ඒ හැමදේම අමතක කරලා ඉලක්ක, අරමුණු දිහා විතරක්ම, දොඹ ගෙඩි වගේ ලොකු කර ගත්ත ඇස් දෙක අලවගෙන හැල්මෙ දුවල දුවල හති වැටුනම. හීනෙ තව දුරයි නේද කියල දැනෙන්නදි මහන්සිය නිවෙන්න හරි නවතිනත් ඒ වෙද්දි නවාතැන් මහ ගොඩක් පහු කරලා ඉවරයි. කාන්සිය නිවෙන්න  කතා කරන්න කෙනෙක් හොයද්දි යාලු මිත්‍රාදින් සියල්ලම නොදැක්ක ගානට පහු කරන් ඇවිත්. ඒ යාලු මිත්‍රකම් මහ ගොඩක් දුරයි වගේ දැනෙද්දි ආයෙ හැරිලා ගිහින් කතා කරන්නවත් බැරි තරම් හති වැටිල ඉන්නැද්දි තමන්ගෙ හදවතේ දුක කාට කියලා කින්නද? නොදැක්ක වගෙ පහු කරන් ආපු සහෝදරයාට, මිත්‍රයට, කැත නැතිව කතා කරල "දැන් නම් හොදටම මහන්සියි. ඔන්න ඔහෙ පොඩ්ඩක් කතා කර කර ඉමු" කියන්න දිව නැමේවිද? එහෙම නැමුනත් සහෝදරයා, මිත්‍රය ඒ ආරාධනාව කීතු කීතු වලට ඉරල විසි කරල උඩ පැන පැන පාගල දැම්මොත්, ඇස් දෙක නල්ලෙ තියාගෙන වුනේ මොකද්ද කියලා කල්පනා කරලා තේරුමක් නෑ. කවුරුහරි කාරුණික හිතවතෙක් ඒ ආරාධනාව පිළිගෙන වැළදගත්තත් ඒ ආදරය උණුහුම ලඟ නැවතිලා හති වැටිල හූල්ලන හදවතට ආයෙත් පන්නරයක් ලැබේවි. එහෙම ලබන පන්නරයෙන් තවත් හීනයක් පස්සෙ දුවන්න පුලුවනි නේද කියලා හිතල හිතවතාව මඟ අත ඇරලා දාල ආයෙත් රේස් දුවන මිනිස්සුන්ගෙන් පිරිච්ච සමාජයක් මේක. ඕක ඇත්තටම ක්‍රියා දාමයක් කිව්වත් වරදක් නෑ.

හීන දකින එක නරකයි කියලවත්, අරමුණු ඉලක්ක ඇති කරගන්න එක නරකයි කියලවත් කියන්න උත්සහ කරනවා නෙමෙයි. ඒත් සමහර හීන, අපේ බලාපොරොත්තු, අරමුණු සහ ඉලක්ක වෙත ලඟා වෙන්න මහන්සි වෙද්දි යුතුකම් කියන කොටස අමතක කරලා දාන එක ලොකු වරදක් වගේම තමයි ජීවිතේ සතුට, නිදහස, මිත්‍රත්වය, සහ තවත් බොහෝ සරල දේවල් බොහෝමයක් නොවැදගත් යයි සිතා මඟහරින එක අපරාධයක්.

සීතල රෑක අහසේ පායන තරු දිහා බලන් ඉන්න, මහ හයියෙන් ඇඳ හැලෙන වැස්ස දිහා ජනෙල් වීදුරුවෙන් බලන් ඉන්න, හිරිකඩ වැස්සෙ තෙමෙන්න, පිණි වැටිච්ච රෝස මලක සුවද විදගන්න, සීතලම සීතල රෑක දුම් දාන ඉඟුරු තේකක් අතේ තියාගෙන ලස්සනම ලස්සන සිංදුවක් අහන්න, දුම් දාන තේ කෝප්පෙ රස්නෙ අත්ලට දැනෙනකොට වෙවුලන තරම් සීතලත් එක්ක ඇඟට දැනෙන අමුතුම හැගීම විදගන්න, පුංචි උන් එක්ක එකතු වෙලා පුංචි එකෙක් වගේ සෙල්ලම් කරන්න, අම්මගෙ අතින් අනල කවන බත් කන්න, යාලුවෙක් එක්ක ඔහේ කතා කර කර ඉන්න, කඩදාසියක් කොළයක් අරං හිතේ ඇදෙන රූප කටු ගාන්න, ඔලු ගෙඩියට කොහෙන්දෝ පාත් වෙන වචන අහුරු එකට අමුණල කවි ලියන්න, මං නම් මහ ගොඩක් ආසයි. ඒ දේවල් වලින් දැනෙන සතුට හරිම සාමකාමි.

අයියව ඇදගෙන ශොපින් යන්න, පාරෙ යන ගෑණු ළමයින්ගෙ සපත්තු දිහා බල බල ඉන්න, අයියා එක්ක එකතු වෙලා අක්කිව අවුස්සන්න. අක්කිගෙ ෆේශල් ගැජමැටික් ටික උපයෝගී කරගෙන අයියට ෆේශල් දාන්න, අයියා එක්ක එකතු වෙලා හොල්මන් ෆිල්ම් බලලා දවස් හතරක් විතර අම්මයි තාත්තයි එක්ක නිදියන්න, අක්කගෙ සපත්තු ක්ලාස් දාන් යන්න, අලුත් කෑම ජාති හදන්න ගිහින් අල කරගන්න, යාලුවො එකතු වෙලා මැරැස්ටි වැඩ කරන්න, අයියට ලයින් දාන කෙල්ලන්ගෙන් අල්ලස් ලබා ගන්න වගේ දේවල් කරලා ලබන සතුට අමුතුම විදියෙ එකක්.

ඒ වගේම තමයි ලඟම හිතවතෙක් ට කරදරය වුන වෙලාවක ඒ කෙනාට උදව් කරන්න, දුකින් ඉන්න කෙනෙක් ගෙ හිත හදන්න, රිදිච්ච හිතක වේදනාව කදුලක් වෙලා එළියට පනිද්දි ඒ කඳුලු පිහිදලා ලගින් ඉන්න, ප්‍රශ්න විසදගන්න තව කෙනෙක්ට උදව් කරන්න බැරි වුනත් තනි කරන්නෙ නැතිව ලඟින් ඉදන් වචනයකින් හරි ධෛර්යයක් වෙන්න පුලුවන් වෙන වෙලාවට හිතට දැනෙන සැහැල්ලුව සතුට මිල මුදලින් ලබන්න බැරි තරම්. ඒ වගේම තමා කෙනෙක් උදව්වක් ඕන වෙලා ඉන්නැද්දි ඒ උදව්ව කර ගන්න බැරි වුනොත් දැනෙන දුක, කළකිරීම වචනයෙන් කියන්න බැරි තරම් හිතට දැනෙනවා.

මට හිතෙන්නෙ අපි දකින හීන මත්තෙ අහස උසට හදන බලාපොරොත්තු මාලිඟා හරියට සබන් බෝල වගේ කියලා. සබන් බෝල ඉරේ එළිය අරං දේදුන්නෙ පාටින් දිලිසෙනවා බලන්න ලස්සනයි. සබං බෝල හුළගෙ පාවෙලා ඈතට ‍යද්දි ඒ පස්සෙ වැටෙන පුංචි උන් උඩ පැන පැන සබන් බෝල අල්ලන්න හදනවා. එහෙම උඩ පනින පොඩි උන්ගෙන් සබන් බෝලෙකට ලං වෙන්න හැමෝටම බැරි වෙද්දි අමාරුවෙන් උඩ පැනල සබන් බෝලයක් අල්ල ගත්ත කියමුකො. ඒත් ඒ සබන් බෝලෙ ඇඟිලි තුඩු වල වදිනවත් එක්කම බිඳිලා යනවා. එක සබන් බෝලයක් අතින් ඇල්ලුව කියලා පොඩි එකා සෑහීමකට පත් වෙලා වෙන අතක් බලාගන්නවා වෙනුවට ආයෙත් තව සබන් බෝලයක් පස්සෙ වැටෙනවා. ඒ අතරෙ සබන් බෝලයක් ඇල්ලුවම සතුටින්  කරනම් ගහන හිත වත්තම් කරගෙන පුරසාරම් කියවන්න වට පිට බලද්දි නිකමටවත් ළඟ පාතක කිසි කෙනෙක් නොහිටියොත් හිතේ කරනම් ගහපු සතුට හිත ඇතුලෙම මැරිල යනවා.


හීන, බලාපොරොත්තු, ඉලක්ක, මේ හැමදේම හරියටම සබං බෝල වගේ. පස්සෙ දුවන්න. ලස්සන බලන්න, අල්ලගන්න උත්සහ කරන්න. ඒත් ඒ අතරමග හමුවෙන තමන්ගෙම අය නොසලකා හරින්න එපා. සබන් බෝලයක් අල්ලපුවම ඒ සතුට බෙදා ගන්න කෙනෙක් ලඟ නොහොටියොත්?
අල්ලගන්න බැරි වෙන සබන් බෝලයක් ඇස් ඉස්සරහ බිඳිල යනකොට හිතට දැනෙන දුක බෙදා ගන්න කෙනෙක් නොහොටියොත්? හිත මහ පාලු මූසල කලු වළාකුලකින් වැහිලා යාවි. 


Monday, December 7, 2015

රාජාභිශේකය

ඈත හීනෙකින් පාට අරගෙන
කලින් කලට අභිසෙස් ලබමින්
එදා මෙදා තුර මෙරට උපන්
අපම
විය මෙහි වීර පුතුන්

කුමරු අවදියේ පාන රැගුම් දැක
රට කරවන්නට කදිමයි දස්කම්
විස්මව එලෙසින් සිතා අපත්
ඔටුණු පළදවමු සුහද සිතින්

පාට හීන වල හැබෑව දකින්න
දැල්වුනු දෙනයන දස දහසක්
මුලා කරවමින් හිරිකිත නැතිවම
රජු නටතෙයි වෙන අමුතු රැඟුම්

ළං වී බැලුවම සැබෑ වෙනස කිම
ඇතැමෙක් නටතෙයි පිරිවෙර රිද්මෙට

වෙනකෙක් ගැයුවේ පවුලේ ගීතය
තවකෙක් නැමෙන්නෙ නොරටේ සුද්දට

දෙනය
පිනවන රැඟුමන් බලලා
මහජන අප කුල්මත් වී තුටිනා
ආවඩා ආයුබෝවේ කියමින්
නටමු අපිත් නන්නානෙ තාලෙට

Tuesday, December 1, 2015

නැති වුනු සපත්තුව

සපත්තුව නැති උනේ කොහොමද කියලා කලින් පෝස්ටුවකින් (තනි සපත්තුව) කිව්වනෙ. දැං කියන්න යන්නෙ නැති වෙච්ච සපත්තුව ආයෙ දකින්න ලැබුන හැටි ගැන..







සදුදා අඟහරුවාදා නිවාඩු ඉදලා බදාදා තිබුන නිවාඩුවත් බුක්ති විදලා බ්‍රහස්පතින්දා පාන්දර අමාරුවෙන් නැඟිටගත්තා. හිත බැහැම කියද්දි සැරින් සැරේ වදින එළාම් එකට අමාරුවෙන් නැඟිට්ටත් තවත් මිනිත්තු පහක් විතර ඇඳට වෙලා එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියෙ ඔෆිස් යන්න බෑ කියන හිත අමාරුවෙන් හරි ප්‍රකුර්ති තත්ත්වයට ගෙන්න ගන්න ඕනෙ නිසා. වෙනදට නම් හිත කැමතී ගත දුබලයි නෙ නැගිටගන්න. ඒත් එදා හිතත් යන්න බෑම කියන්නෙ අර අපතයාගෙ මූණ බලන්න අකමැතිකමට.

කොහොම කොහොමහරි උදේ පාන්දර නැගිටගෙන සීතලේම ඔෆිසුත් ආවා කියමුකො.. දොරෙන් ඇතුල් වෙද්දිම වෙලාව බලද්දි අටයි කාලයි. ඒ කියන්නෙ මේ වෙද්දි බොසා ඇවිත් නෑ. එච්චර වෙලා හිතේ තිබුන බය දොර ගාවින් තියලා පුරුදු පරිදි චණ්ඩියා වගේ මාත් ඇතුලට අවා. හතර වටේ ඉන්න සෙට් එකටම දසන් දකවා සිනහ සී "ගුඩ් මෝනින්", කිය කිය එයලාගෙ නා නාප්‍රකාර වූ සුව දුක් විමසීමෙ පුරස්න වලට මගේ සෞඛ්‍යය තත්ත්වය ඉතා යහපත් මට්ටමක පවතින බවට පොරොන්දු දෙමින් මාත් මගේ සීට් එක ට සැපත් වුනා. ඒ අතරෙ බොස් ගෙ සීට් එක දිහත් හොර ඇහැ දාගෙන ආවත් බොස් ඇවිත් හිටියෙ නෑ.

මං ඉතින් සුපුරුදු වැඩ කටයුතු ටික පටන් අරං ටික වෙලාවක් යද්දි අර අපතයා ඔෆිස් එකට ආව. මමත් කිසි වෙනසක් නොපෙන්වා මගේ වැඩ ටික කරගෙන ගියා. වෙනදට නම් දහ පාරකට සීට් එක ළගට ඇවිත්  අපේ සෙට් එකට දාහක් දේවල් කියන මිනිහා අද නෝ හෙල්ලුම්. පුටුවෙ කොහොල්ලැවත් ගෑවිලද දන්නෙ නෑ. නැත්තම් මේකා මගෙ සපත්තුව වත් කකුලකට දාගෙන ආවද දන්නෙ නෑ, ඇහිදගත්තෙ ආසාවට වෙන්න ඇති නෙ.. දාහක් දේවල් හිතෙද්දි මට මැවිල පෙනුනා එක කකුලකට කලු සපත්තුවක් දාගෙන අනිකට මගෙ නැති වෙච්ච සපත්තුව දාගෙන කැට් වෝර්ක් එකෙන් ඇවිදගෙන එන බොස් ව. මගේ මූණෙ මොකක් හරි අමුතු හැගීමක් පල වෙච්ච නිසා වෙන්න ඇති එහා පැත්තෙ හිටපු සයුරි මට කතා කරනවත් එක්කම බල බල හිටපු දවල් හීනෙන් ඇහැරුනේ මොකක් හරි මගෙ ඔලුවට වදිනවත් එක්කම. මං හිතුවෙම ලොකු තඩි සපත්තුවකින් කවුරු හරි මට ගැහුවා කියලා..

බැලින්නම් සපත්තුවක් වෙනුවට ෆයිල් එකක් අතේ තියාගෙන සයුරි මං ලඟ හිටන් ඉන්නවා. මට ඔලුවට ගහන්න ඇත්තෙ ෆයිල් එකෙන් එහෙනම්

"මොකද මේ ෆයිල් එක අතේ තියාගෙන භාවනා කරනවද? ඕක ඉක්මනට ඉවර කරන්නවකො මේ ටිකත් බලන්න ඕනෙ.."

"මේ ඉවරයි සයුරි, ඒක නෙමෙයි මං මේ අහන්නමයි හිටියෙ. මං ආපු නැති දවස් දෙකේ මුකුත් අප්සෙට් එකක් වුනේ නෑ නෙ.  මස් කඩේ මුකුත් ඇහුවද? (අපේ අලුත් බොසා ආසම පාට රතු පාට. කාර් එක, මේසෙ උඩ තියල තියෙන පොඩි ඔරලෝසු බට්ට, පේපර් වේට් එක, ඩයරිය සහ කලු පාට තීන්ත තියෙන සයින් පෙන් එක, ඇතුලු තව බොහෝ දේවල් රතු ය. ඒ නිසා අපේ සෙට් එක හුරතලයට ඔහු ඇමතුවේ "මස් කඩේ" යන හුරතල් නාමයෙන් ය )

"උඹට දෙයියන්ගෙ ලෙඩ හැදිලද ඇහුවා, තව දවසක් විරාජ් ගෙ කේස් එකකට මෙතන ඇවිත් පැයක් විතර හිටියා. එදා මං හාෆ් ඩේ නෙ. අද ශොපින් කරන්න නේද සයුරි යන්නෙ,හොද සපත්තු කඩයක් තිබුනොත් මටත් කියන්න, නංගිගෙ බර්ත්ඩේ එකට ගිෆ්ට් එකක් ගන්න ඕනෙ කියල කිව්වා. ඒ කියලත් මං දිහා ටිකක් අමුතු විදියට බලං හිටියා. මාත් ඉතින් කිසි දෙයක් දන්නෙ නෑ වගේ හිටියා. මිනිහ ශුවර් එකට ඒක කිව්වෙ හින්ට් එකට ඉන්ඳු.. ඕක දන්නවා මට උඹ ඕක කියන්න ඇති කියලා.. "

"මූව මරන්න පුලුවන් බං අන්න නිශා එනවා, කට හොල්ලන්න එපා, නිශා දැනගන්නවට වඩා නම්බුයි මංම ලවුඩ්ස්පීකර් එකක් බැදගෙන වෙච්ච සිද්දිය ඒ විදියටම කියල දානවා. අඩු ගානෙ අතින් පයින් එකතු වෙන ටික හරි අඩු වෙනවා නෙ"

නිශා, විරාජ්, සයුරි, ළහිරු, නිරෝශන් එක්ක මාත් සුපුරුදු විදියට වැඩ ටික කරගෙන ගියා. කොහෙල්ලැ ගුලියකට ඇලිච්ච මස් කඩේ එදා දවසම පුටුව රත් කර කර හිටියා මිසක් අපේ පැත්තටවත් ආවෙ නෑ. හවස ඕෆ් වෙන ටයිම් එකේ සයුරි ට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුනා. සයුරි මස් කඩේ හම්බෙන්න ගිහිල්ලා ආයෙ ආවෙ මූන දෙක කරගෙන.

"අන්න උඹලා දෙන්නට එන්න කිව්වා," සයුරි මට තට්ටුවක් දාලා විරාජ් දිහා බලන ගමන් කිව්වා.

"ඇයි කෙලින්ම අපි දෙන්නට එන්න කියන්නෙ නැතිව ඔයාට එන්න කියලා කිව්වෙ?" විරාජ් පැනපු ගමන් ඇහුවෙ මට අහන්න හිතුන දේමයි.

"මට එන්න කිව්වෙ කොටේශන් එකක් ගැන අහන්න. උඹල දෙන්නගෙ නම් කියලා එන්න කිව්වෙ නෑ බන්, මේ සතියෙ නිවාඩු හිටපු අය ඉන්නව නම් එන්න කියන්න කිව්ව. ඉතින් උඹලා දෙන්න විතරනෙ නිවාඩු හිටියෙ, මං මේ කල්පනා කලේ මුකුත් ප්‍රශ්නයක් වුනාද කියලා" සයුරි කල්පනා කරන ගමන් කිව්වා.

"විරා, මොකෝ දන්නෙ නෑ, දැන් පහට දහයයි, හැමදාම කතා කරනවනෙ ඕෆ් වෙන්න ඔන්න මෙන්න තියලා, මේ පහ පහු වෙනකන් කියෝ කියෝ ඉදල පස්සෙ මොකක් හරි වැඩක් කිව්වොත් නම් මං බෑ කියනවා. විරා භාරගන්න එපා හරිද?"

"හරි හරි බං, පේන බලන්නෙ නැතුව යමුකො..නැත්තම් මේච්චර වෙලා මොනවද කරේ කියලා අහයි.." විරාජ් දඩි බිඩි ගාලා යන්න ලෑස්ති වුනේ මැරෙන සැටි මං පෙන්නන්නම් කියන්න වගේ. ඒත් ඉතින් කොල්ලන්ට මස් කඩේ ප්‍රශ්ණ දාන්නෙ බොහොම අඩුවෙන්..මාත් විරාජ් ගෙ පස්සෙන් වැටුනා

කැබින් එක ළගට යද්දිත් මිනිහා ඔලුව ඔබාගෙන් ලැපේ මොනව කරනවද මංදා.. විරාජ් දොර අරිනවත් එක්කම මස් කඩේ ඔලුව උස්සලා පුටුවෙ හරි බරි ගැහිලා වාඩි වුනා.අපි ඇතුලට ගියාම මේ යකා අපිට කතා කරේ නෑ වගේ අපි දෙන්නගෙ මූණු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් මගෙන් අහපු ප්‍රශ්නෙට මට යකා නැග්ග.

"මොකද දෙන්නත් එක්ක ජෝඩු දාල?"

"සර් අපිට එන්න කිව්ව කියල සයුරි කිව්ව" මාත් අනිත් පැත්තට කිව්ව.

"ආහ් ඔය දෙන්නම මේ සතියෙ නිවාඩු ද? විරාජ් කවදද ආවෙ නැත්තෙ?" මේකා ඉඳගන්නවත් කියන්නැතුව ප්‍රශ්ණ විචාරය පටන් ගන්න හදන්නෙ

"අඟහරුවාදා"

"එතකොට ඉඳුනිල්?"

"සඳුදා, අඟහරුවාද දෙකම නිවාඩු සර්"

"ආහ් එතකොට සිකුරාදා නිවාඩු දාන්න ඇත්තෙ මං වෙන්න ඇති" විරාජ්ටයි මටයි අතින් පුටු දෙක පෙන්නන් ගමන් මස් කඩේ මගෙන් ඇහුවෙ පෑනත් කටෙ ගහගෙන.

"සර් ඇහුවෙ මේ සතියෙ නිවාඩු ගැන නෙ. ගිය සතියෙ සිකුරාදා නිවාඩු." ඇත්තනෙ මේ යකා ඇහුවෙ මේ සතියෙ නිවාඩු ගැන නම් මං ගිය සති වල ගත්ත නිවාඩු ගැන කියන්න ඕනෙ නෑ නෙ.

"හ්ම්ම්, කම්ප්ලේන් ගොඩයි විරාජ් මගෙ ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය නිවාඩු ගන්නවා වැඩී කියලා. විරාජ් ගෙ නිවාඩුව නම් මට ජස්ටිෆයි කරන්න පුලුවන් එක දවසක් නිසා.. ඒත් ඉඳුනිල් ඔයා පහුගිය සතියෙත් දවස් දෙකක්, තුනක් නිවාඩු නේද? මං ටොප් මැනේජ්මෙන්ට් එකට කොහොමද ඔයාව ජස්ටිෆයි කරන්නෙ? දැන් බෝනස් දෙන්න තියෙනවා. සැලරි ඉන්ක්‍රිමෙට්න්ස් වලට වුනත් මට මුකුත් කරන්න බෑ නෙ මෙහෙම තේරනවද මං කියන දේ?"

"සර් ගිය සතියෙ ඔෆිස් එකේ ඉද්දිනෙ වීස් වැඩි වෙලා මං ගෙදර ගියේ. අනික එදා හොදටම උණ මට. මට දවස් පහකට ඩොක්ටර් මෙඩිකල් එකක් දීල තියෙද්දිත් මං බ්‍රහස්පතින්දා ප්‍රොමෝශන් එකට සාලිය සර් එන්න කියපු නිසා ආවෙ. ඒ නිවාඩුව මට මේ සතියෙ ගන්න කියල සාලිය සර්මයි කිව්වෙ. "
මූව කොටියම කන්න ඕනෙ මේ කියන ඒවාට. මූටත් උඩින් ඉන්න සාලිය සර් කියපු විදියට ලීව් ඇප්ලයි කලාම මේක එනවා මට පාර්ට් දාන්න.

"මිස්ට සාලිය මේ ගැන දන්නවද? ඉතින් බලන්නකො ඉඳුනිල් ඔයාගෙ නෙ වැරැද්ද ඔයා මට නිකම්වත් ඔය ගැන කියලා තිබුනෙ නෑ නෙ. මගෙන් මිස්ට සාලිය මේ දේවල් ඇහුවෙ නෑ. ටොප් මැනේජ්මන්ට් එකේ වෙනත් කෙනෙක් තමයි මට මේ ප්‍රශ්නෙ කිව්වෙ. ඔයා මට මේ ගැන කියලා තිබුන නම් මට ඔයාගෙ පැත්තට කතා කරනන් තිබුනා. අනිත් එක මං ඔයාලගෙ මැනේජර්."

"සර් මේකයි. මං බ්‍රහස්පතින්දා ආපු වෙලාවෙ මගෙ මෙඩිකල් එක එච්.ආර් ඩිපාර්ට්ම්න්ට් එකට යැව්වා. එකේ හැටියට ගිය සතියෙ බදාදා ඉදන් මට සදුදා වෙනකන් නිවාඩු. සාලිය සර් අඟහරුවාද ලීව් දාන්න කිව්ව ප්‍රොමෝශන් එකට ආපු නිසා. මගෙ ලීව් මේ වෙද්දි ඇප්පෘව් වෙලා තියෙන්නෙ.අනිත් එක සර් මං මේ අවුරුද්දට දාල තියෙන්නෙ නිවාඩු එකොළහයි. එකම එක හාෆ් ඩේ එකයි. මගෙ ලීව් ගැන ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ සර් කොහොමත්."

"ඔව් සර්, ඉඳුනිල් ගෙ නිවාඩු වලට නම් ප්‍රශ්ණයක් වෙන්න විදියක් නෑ. එයාගෙ පෙන්ඩින් වැඩ මුකුත් නෑ ගිය බ්‍රහස්පතින්දා ආපු වෙළාවෙ තිබුන වැඩ ටික ඉඳුනිල් ඉවර කරා. මේ සතියෙ වැඩ ටිකත් අද උදේම ඇවිත් කරල තියෙන්නෙ සර්" විරා එහෙම කිව්වත් ඇත්තටම මේ සතියෙ මගෙ වැඩ ටික සයුරියි විරායි අඟහරුවාදාම කරලා ඉවර කරලා තිබුනා.

"ඔයාගෙ ලීව් ඇපෘව් වෙන්න විදියක් නෑ නෙ. මට ඔයාගෙ ලීව් රික්වෙස්ට් එක ආවෙ නෑ. අනිත් එක ඔයා ලීව් ගත්ත බව ඉන්ෆෝම් කරපු එක හරි. ඒත් අර වගේ ස්පෙශල් දේවල් මට කියලා තියන්න" එහෙම කියන ගමන් මස් කඩේ ආයෙ ලැපට ඔලුව ඔබාගෙන ලීව් රික්වෙස්ට් හොයනවා ඇති.

"සර් මං සිස්ටම් එකෙන් ලීව් ඇප්ලයි කලාම රික්වෙස්ට් එක යන්නෙ සාලිය සර් ට, මොකද මගෙ රිපෝටින් මැනේජර් සාලිය සර්. මේ ඩිපාර්ට්මෙන්ට් එකේ හිටපු තුන් දෙනෙක් එක පාර අයින් වුන නිසයි මාත් මුලින්ම මේ ඩිපාර්ට්මෙන්ට් එකේ වැඩ කරපු නිසයි තමයි මේ වැඩ ටික සෙට්ල් වෙනකන් මාවයි නිරෝශන්වයි මෙතනට දැම්මෙ සති දෙකකට " මාත් ඇඩෙන්නම කිව්වා.. මස් කඩේ ගෙ මූණ ඇඳ වෙලා ගියේ සපත්තු පෙට්ටියක පියනට පයින් ගැහුවම ඇඳ වෙනවා වගේ. හොදම වැඩේ ගෝරිල්ල..

"ආ මං ඒක දැනන් හිටියෙ නෑ ඉඳුනිල්, ඇත්තටම මට ඒ ගැන කවුරුත් කියලා තිබුනෙ නෑ, ඔයා ලීව් ඇප්ලයි නොකරපු එකට මං තරහෙන් හිටියෙ, මං හිතුවෙ අර සපත්තුවෙ හුට පටේ එක්ක මේ ඔක්කොම කියල" මේක ආයෙත් ලැපේ මූණ ඔබාගෙනම උත්තර දුන්නෙ ලැජ්ජාවට වෙන්න ඇති.
"දැන් එහෙනම් ඔයාල යන්න.හෙට උදේම මට හේලීස් කොටේශන් එක පොඩ්ඩක් බලන්න මතක් කරන්න ඉඳුනිල්" කියලා කියන ගමන් මස් කඩේ ආයෙත් ඔලුව ලැපේ ඔබා ගත්තා.

මමයි විරායි කැබින් එකට එනකොට නිශායි නොරෝශන් අයියයි ගිහින් තිබුනා. එතකොටත් පහටත් කිට්ටුයි.

"මොකද්ද ඉන්දු අර සපත්තු කතන්දරේ?

"ගිය සතියෙ ප්‍රොමෝශන් එකට මහ වැස්සෙ මං හීල්ස් දැන්ම කියල මට සෙට් එකම එකතු වෙලා විහිලු කලේ. ඒ වීර ක්‍රියාවෙ ආදීනව තමයි. ඒක අල්ලගෙන තමයි කියන්න ඇත්තෙ විරා." මං එහෙම කියලා ශේප් වුනා.

"එතන මොකක් හරි තියෙනව. මං හොයාගන්නම් කො. මේ ඔෆිස් එකේ කොහෙද නංගි අපි නොදන්න හුටපට.." විරා එහෙම කිව්වෙ අමුතු හිනාවක් දාගෙන ඇන්දලා පැඳලා

"අපි නොදන්න හුට පට නම් දන්නෙ නෑ අයියා. ඒ කාලෙ නම් බැලුවා අපි නොදන්න ලයිව්."

වෙච්ච දේ සයුරිට කියන්න බැරි උනේ මං එනකංම හිටියත්, සයුරියව ගන්න කොල්ල ඇවිත් පාරට වෙලා තෙමි තෙමි ඉන්න හින්දා. සයුරිත් යන්න ගියා.  හිමින් වහිනවා නම් කමක් නෑ. මේ සීතල අස්සෙ මහ හයියෙන් වහිනවා. දඩි බිඩි ගාල අඩියට දෙකට දුවලා ගිහින් බස් එකක එල්ලුනෙ කලුවර වැටෙන්න කලින් ගෙදර යන්න. යන්තම් වැස්ස අස්සෙ බස් එකෙන් බැහගෙන පුලුවන් ඉක්මනට ගෙවල් පාරට හැරිල අඩියක් යන්න හම්බුනේ නෑ පිටිපිපස්සෙන් ආපු වාහනයක් ඇඟටම කරලා නවත්තාල හෝන් එකත් ගහනවා. මාව මරන්න මාරයා වෙස් වාලාගෙන කාර් එකකුත් පැදගෙන එනවද කියලා බලන්න මාත් ඔරවල දත් මිටි කාගෙන ඒ පැත්ත බැලුවෙ තාප්පෙට හේත්තු වෙන තරම් අයින් වෙලා.

"ඉඳුනිල්, නගින්න, මං ඔයාව ඇරලවන්නම්. මේ වැස්සෙ යන්න බෑ නෙ" මස් කඩේ ගෙ රතු පාට කාර් එක කියල අදුරගන්නවත් එක්කම කලු වීදුරුව පාත් කරන ගමන් මස් කඩේ එළියට ඔලුව දැන්ම. කවදාවත් නැතිව මෙන්න මේ යකා හිනා වෙනවා. වෙන්න බෑ, මට වැරදිලාවත් ද, නෑ මං හොඳ සිහියෙන්..ඔව් මේකා ඇත්තටම හිනා වෙනවා

"ඕනෙ නෑ සර්, මට මේ ටික යන්න පුලුවන්, තෑන්ක්ස්" එහෙම කියුවත් මට යන්න ඉඩක් තිබුනෙ නෑ මිනිහා කාර් එක නැවැත්තුවෙ මව තාප්පෙටයි කාර් එකටයි මැදි වෙන විදියට.

"මං දන්නව ඔයා අද ඔෆිස් එකේ දි වෙච්ච දේයි අර සපත්තු කතන්දරෙයි නිසා.."
ඒ අස්සෙ අකුණුත් ගහනවා. කොහේදෝ ඉදන් අර උපන් දා ඉදන් තිබ්බ පරාණ බය ආයෙ මගෙ හිතට ආවත් මං ඒක පෙන්නන්න ගියේ නෑ.

"සර් මට පරක්කු වෙනවා. මං ඉක්මනට ගෙදර යන්න ඕනෙ. වාහනේ අයින් කරගන්නවද?" ඔෆිස් එකේ බොස් කියලා අපි වැදගෙන ඉන්න ඕනෙ නෑ නෙ.

"හරි මං අයින් කරගන්නම්. ඔයාට අර සපත්තුවත් දෙන්න ඕනෙ නිසයි මං බස්සන්න ඇහුවෙ,වෙන දේකට නෙමෙයි ඉඳුනිල්" මිනිහ ඒ ටික කියා ගත්තෙ පුදුම අමාරුවෙන්.

"සපත්තුව ඕනෙ නෑ," කියාගෙන මං පිටිපස්ස හැරිලා ආයෙත් කාර් එක වටෙන් ගිහින් ගෙදර පැත්තට ගියා. එයාගෙ බොස් පාර්ට් ඔෆිස් එකේ තියාගත්තම ඇති නෙ. මං ටික දුරක් යනකන් නවත්තන් ඉදලා වතුර වලක් ගාවින් යනකොටම හෝන් එකත් ගහගෙන"චිරිස්"සද්දෙට වතුර වළ උඩින් වම් පැත්තෙ රෝද දෙක අරං ගියෙ මගෙ ඇඟ පුරාම වතුර වීසි වෙන විදියට. ඇත්තමයි මහ මූසලයෙක්.




මං ගමනෙ සැර ටිකක් බාල කලේ මිනිහා නැවතිලා ඉන්නවා කියපු ගේ කිට්ටු වෙද්දි. මට බය  හිතුනා කාර් එක තාම එළියෙද දන්නෙ නෑ කියලා, නෑ ඒ වෙනකොට කාර් එක ඇතුලට දාල තිබුනෙ. ඒ නිසා මං ආයෙත් අඩිය ඉක්මන් කරා. හරියටම අඩියක් දෙකක් තියද්දි එක පාරට මගෙ ඉස්සරහට මොකොද්දෝ වැටුනෙ බිම තිබුන වතුර ඉහිරවන ගමන්. අහසෙන් උල්කාවක් වැටුනවත්ද? නෑ ඒක උල්කාවක් නෙමෙයි. දැන් දවස් ගානකට කලින් නැති වෙච්ච මගෙ සපත්තුව. අර ගල් බමුණා උඩ ඉදන් ඒක විසි කරන්න ඇති. මං එන්න කලින්ම කාමරේට ගිහින් ලෑස්ති වෙලා ඉන්න ඇති. හිතුවද දන්නෙ නෑ සපත්තුව වැටුනෙ මොන අහස් යන්තරෙන්ද කියලා මං අහස දිහා බලාගෙන හොයාවි කීයලා. මං නොදැක්ක ගානෙට කොහෙවත් නොබලා මගෙ ගමන පාඩුවෙ යන්න ගියා.
 

ප:ලි -මස් කඩේ හිතාගෙන ඉන්නෙ එයා බොස් නිසා සියල්ලෝ වන්දනා මාන කරගෙන ඉන්න ඕනෙ කියල. එයාගෙ සාක්කුවෙන්  පඩි දෙන්නෙ නෑ නෙ. එයත් කරන්නෙ රස්සාවක්. අපිත් කරන්නෙ රස්සාවක්. තමන්ගෙ වැඩ කොටස හරියට කරනව නම් එක එකාට වැදගෙන පස්සෙන් යන්න ඕනෙ නෑ. නිල ලද්දන්ට ගරු කරන එකයි සපත්තු ලෙව කාගෙන ඉන්න එකයි දෙකක්.


Monday, November 23, 2015

අසම්පූර්ණ කතාව 02

 අසම්පූර්ණ කතාව 01
 
අතීතේ කුණු කන්දල් අවුස්සලා දුක් වෙන්න ඕනෙ නෑ කියල හිතපු ඈත දවසක පරණ ඩයරි ටික ඔක්කෝම එකතු කරල කාඩ්බෝඩ් පෙට්ටියකට දාල වහල දැම්මට මෑත කාලෙ යාළුවෙක්ගෙ නොම්බරයක් හොයාගන්න ඕනෙ වුන වෙලාවක ඒ ඩයරි ටික එළියට  ඇදගත්තත් ආයෙ ඇතුලට දාන්න බැරි වුනා. හැමදාම ඩයරි ටික දකිද් දි එදා අහම්බෙන් කියවපු පිටුවම මතක් වෙන නිසා ආයෙත් ඒ අතීතයටම හිත දුවන්නෙ මටත් නොදැනිම. වැඩ ඇරිල ගෙදර ඇවිත් ඇඟ පත සෝදගෙන ඇඳට ආවත් හිතේ පරණ දේවල් ආයෙ ආයෙ මැවිල පෙනෙද් දි මමත් ආයෙත් පරණ ඩයරි ටික ලඟට කරගෙන පිටු පෙරළන්න ගත්තෙ ඉස්සර වගේ මතක් කර කර අඩන්න තරම් ඒ අතීතය මට දැන් අලුත් දයක් නොවුන නිසා.
                              

එදා ජූස් බාර් එකෙන් එළියට ආපු මං ගෙදර ගියේ ඔයා ලග නවතින්න කියල හිත කෑ ගහලා කියද්දි. ඒත් මං දැනන් හිටියා අපි දෙන්න ට කවදාවත් අනාගතයක් ගැන එකට හීන මවන්න බැරි බව. අපි යාලු වුනත් ඒක තාවකාලික යාලු කමක් විතරක් වුනොත් මං කොහොම හිත හදාගන්න ද කියන බය මගෙ හිතේ තිබුනා. ඔය දේවල් හිත හිත ගෙදර ගියපු මට එදා මූණ දෙන්න වුනෙත් මහ අවාසනාවත සිද්ධියකට. මං
 ගෙදරින් එළියට ආපු ටිකට අපේ අක්කි ඉන්දුලට කතා කරල කේලම කියලා තිබුනා. ඒ වෙනකොටත් ඉන්දුල ගෙදර ඇවිත් හිටියෙ මාව එක්කන් එන්න සරසවියටත් ගිහින් කියලා මං දැනගත්තෙ ගෙදර වුන කතාබහෙන්.

"ඇයි බබා මාව බය කරන්නෙ? ඔයා හොදටම දන්නවනෙ ඔයා තනියම පාරවල් ගානෙ රස්තියාදු වෙනවට මං කමතිනෑ කියලා. අක්ක කිව්වම සරසවියට ගියා කියලා මං ඔක්කොම වැඩ පැත්තකට දාල ඔයාව ගන්න එතනට යද්දි ඔයා එතන හිටියෙ නැති උනාම මං කොච්චර බය උනාද? ඔයා ඇත්තටම කොහෙද ගියෙ? ගෙදර අයටවත් කියල යන්න තිබුන නේද? ඇයි ඔය තරම් මුරණ්.."
එතනින් එහාට ඒ විකාර මට අහන් ඉන්න තරම් උවමනාවක් තිබුනෙ නෑ.

"මං සරසවියෙ ඉද්දි මට යාලුවෙක් ව හමබ උනා. ගොඩකාලෙකින් හම්බුන නිසා ජූස් බාර් එකට ගිහිල්ල ජූස් එකක් බොන ගමන් කතා කරා.ඒකෙ වැරද්දක් නෑ නෙ. අනිත් එක ඔයා මං ගැන ඔය තරම් බය වෙන්න මං මොන්ටිසෝරි බබෙක් නෙමෙයි. මෙච්චරකලුත් මං තනියම තමයි මගෙ වැඩ වලට ටවුන් එකට ගියේ." මූණ බලන්න තරම්වත් ඕනෙ කමක් නොතිබුන නිසා මං වැඩිය ගනන් නොගෙන එහෙම කියාගෙනම කාමරේට යන්න හැදුවත් අක්ක පුරුදු විදියටම මහ හයියෙන් කෑ ගහන්න ගත්තෙ තාත්තිවත් අවුස්සවගන්න ඕන කමට.

"ජූස් බාර් එකට ගියා නම් ගෙදරට කතා කරල පරක්කු වෙනවා කියලවත් කියන්න තිබුනෙ නැද්ද? මේ කොල්ල නිකම් රස්තියාදු උනා. ඔයාට නිකමට ඉන්දුලට කෝල් එකක් දෙන්න බැරි උනාද? බදින්න ඉන්න කොල්ල නේද?"

"මොන කරදරයක්ද මේක? මං කිව්වනෙ මට කාවවත් බදින්න ඕනෙ නෑ. මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න. ඔයාට ඕනෙ නම් ඔයා බැද ගන්න. මීට වඩා වෙළා ගිහින් මං ගෙදර ඇවිත් නැත්ද? තාම හතරහ මාරයි නෙ.

"චූටි දුව කටවහගන්නවා." තාත්ති කුස්සිය පැත්තෙ ඉදන් ආවෙ අක්කගෙ සද්දෙ නිසා
"වරද කරල තව කියවන්නත් එනව."

තවත් එතන හිටියොත් වෙන්නෙ බැනුම් අහල විතරක් නතර නොවෙන එක කියල දැනුන නිසා මං හිමින් සීරුවෙ වොශ් එකක් දාගන්න ගියා. සෙනසුරාද පුරුද්දක් විදියට හවසට මල් වලට වතුර දාන්න ගන්න නිසා එදත් මං මිදුලට බැස්සෙ මල් වලට වතුර දාන්න. ඒ වෙද්දි ඉන්දුල අක්කිත් එක්ක කැරම් ගහනවා. මං හෝස් එක අරන් මල් පැළ වලට වතුර දාන්න පටන් ගත්තා. ටික වෙළාවකින් ඉන්දුල ත් මං ලගට ඇවිත් රෝස් මල් පාත්තිය දිහා බාලාගෙන ඉන්නව මං ඇස් කොනෙන් දැක්කත් නොදැක්ක වගේ හිටියා.

"බබා, ඔයා මාත් එක්ක තරහද?"
මං නෑහුන ගානට ඉන්දුලට පිටුපාලා මල් වලට වතුර දානවා.

"කතාකරන්නකො ඉන්දු.. මාත් එක්ක තරහෙන් ද තාම"

"තරහ වෙන්න යාලු වෙලා හිටියෙ නෑ නෙ, පාඩුවෙ ඉන්නවද මට වැඩක් කරගන්න දීලා" මං අහක බලාගෙනම උත්තර දුන්න.

"ඔයාගෙ හොදටනෙ කියන්නෙ, ඔයාට ජූස් බොන්න හරි සරසවියට යන්න හරි ඇඳුම් ගන්න හරි ඕන දේකට මට කියන්න. මං එක්ක යන්නෙ නැතිව ඉන්නෙ නෑ නෙ. මට දුක ඔයා කිසිම දේකට මාව හවුල් කරගන්නෙ නැති එකට. ඔයා යාලුවො ආශ්‍රය කරන එක මට ප්‍රශ්ණයක් නෑ. වෙළාවක ඔයාගෙ යාලුවො ටිකත් එකතු කරන් අපි කොහෙ හරි රවුමක් දාමු. එතකොට මටත් ඔයාගෙ යලුවො අදුරගන්න.."

"ඇයි මගෙ යාලුවො අදුරගෙන ඔයා මොනා කරන්නද? තේරුමක් නැති දේවල් කතා කරන්න එපා"
"මං කීපාරක් නම් කියල තියෙනවද, ඔයා ඔය හිතේ තියාගෙන ඉන්න දේවල් වලට මං කැමති නෑ. කවදාවත් මං ඔයාව බදින්නෙ නෑ. කවුරු කොහොම මොනවා කිව්වත් ඒ දේ වෙන්නෙ නෑ. "

"හරි හරි බබා, අපි ඒ කතාව නවත්තමු. ඒක නෙමෙයි කෙල්ලෙ.. මේ රතු රෝස මල හරි ම ලස්සනයි මං ආසම රෝස් මල් වලට, අන්න අක්ක ගාව තියෙන පත්තරෙත් තියෙනව රෝස් මල් වලට ආස අය ගෙ හිත් රෝස් මල් වගෙ මුදු යි කියලා. මමත් ඒ වගේ වෙන්න ඇති ඒ නිසා. ඔයත් ආස රෝස් මල් වලට නේද? ඇදල පැදලා එහෙම අහන ගමන් ඉන්දුල මගෙ රතු රෝස ගහේ පිපිලා තිබුන රෝස මල දිහාට අත දික් කරේ මලක් කඩා ගන්න."

"මොකද කරන්නෙ, නිකම් අපරාදෙ මල් කඩන්න එපා, රෝස මල් ගැන නම් මන් දන්නෙ නෑ. හැබැයි මං ආසම කොච්චි මිරිස් වලට. ඒක නිසා කොච්චි පැළ වලට තමයි හැමදාම මුලින් වතුර දාන්නෙ, පේනවනෙ." ඒ වෙළාවෙ අහම්බෙන් වගේ කොච්චි පැළ වලට වතුර දදා හිටපු නිසා කිව්වට ඇත්තටම මං කොච්චි සුවදට ආසයි.

ඉතිරි මල් පැල ටිකට ඉක්මනට වතුර දාල ඉවර කරේ තව මොන මොනවදෝ කියව කියව පස්සෙන් පාරෙන් කැරකෙන ඉන්දුලව ඉක්මනට මඟ අරින්න ඕනෙ නිසා. ඒ එක්කම කොච්චි ටිකක් කඩාගෙන ගේ ඇතුලට යන්න හැරුනෙ රෑට කන්න රොටි හදනවා කියලා අම්ම කියපු නිසා කොච්චි දාල හොද සම්බෝලයක් හදා ගන්න හිතාගෙන. කුස්සියට යනකොටත් අම්මා වැඩ පටන්ගෙන. මාත් කොච්චි ටික සෝදලා අරන් අනිත් අඩු වැඩියත් ලෑස්ති කරගන කොච්චි ටික කොටන්න ගත්තා. ඒ අතරෙ ඉන්දුල කුස්සියට ආව බව මං දැක්කෙ නෑ.

කවුදෝ පිටිපස්සෙන් හිටන් ඉන්නව කියල තේරෙද්දි කොටපු කොච්චි ටික පීරිසියකට මාරු කරන ගමන් හිටපු මට ඉඹේටම පස්ස හැරිලා බැලුනා. හරියටම මගේ ඇගේ ගෑවී නොගැවී හිටිය ඉන්දුලගෙ අත තිබුනෙ හරවපු මූණට වදින්න ඔන්න මෙන්න. නොහිතපු වෙළාවක මගේ මූණට ලං වෙන අත අහක් කරන්නයි ඇගේ ගැවී නොගැවී ඉන්න ඉන්දුලගෙන් ඈත් වෙන්නයි ඕනෙ නිසා මමත් එකපාර මගෙ අතින් ඉඳුලව තල්ලු කරා. නොහිතපු විදියට කොට කොට හිටපු කොච්චි මිශ්‍රනේ ගෑවිච්ච මගෙ අත ඉඳුලගෙ මූණෙ වැදුනෙ දකුණු ඇහැ හරියට වෙන්න. ඒ දැවිල්ලට ඉන්දුලගෙ ඇස් වලින් දුම් පිටවුනෙයි එක පාරට කෑගැහුනෙයි, බය වෙච්ච පාර අනේ මං  හිතලා කලේ නෑ කියල මට කියවුනෙයි ඒ එක්කම පස්සට කරගත්ත අත වැදිලා පීරිසිය මහ සද්දෙට බිම වැටිලා කෑලි කෑලි වලට කැඩිලා ගියෙයි එකම වෙළාවෙ.

"මොකද්ද ඔයා කලේ, ම්හ්හ්..ආ.. අම්මා.. ඉන්න බෑ. මගෙ ඇහැ හොදටම දැවිල්ලයි"

අම්මත් ඒ වෙනකොට රොටි හැදිල්ල පැත්තක දාල අපි දෙන්න හිටපු තැනට ඇවිත් හිටියෙ. පීරිසිය බිදුන සද්දෙයි ඉන්දුලගෙ සාස් සූස් සද්දෙටයි තාත්තයි අක්කයි දෙන්නත් කුස්සියට ආවා.

"මොකද්ද චූටි දුව මෙතන වුනේ" තාත්ත ඉඳුලගෙ උරහිස උඩින් අතක් තියන ගමන් මගෙන් අහද්දිත් ඉන්දුලගෙ දකුණු ඇහැ හොදටම රතු වෙලා ඇස් දෙකෙන්ම කඳුලු බේරෙනවා.

"නෑ නෑ මේ ළමයගෙ ඇහැට කොච්චි ගෑවුන, චූටි දුව හිතල කරපු දෙයක් නෙමෙයි අනේ, කෝ මූණ හොදට සෝදගත්තනම් ඕක හරියනවා" අම්ම මාව බේරගන්න ඉදිරිපත් වුනත් තාත්ත ගෙ කේන්තිය ඇවිස්සෙන්න ඉන්දුලගෙ ඇහේ කඳුලු ටික හොදටෝම ඇති බව මං දැනන් හිටියා. මගෙ දකුණු අතේ ඇඟිලි වල තැවරිලා තිබුන කොච්චි මිශ්‍රණය දැක්ක ගමන් තාත්ත හිතන්නෙ මං ඕන කමින් ඒ දේ කරපු බව කියලා තාත්තගෙ මූණෙ තිබිච්ච ඉරියවු වලින් හොදටම පැහැදිලිව පේද්දි මීට දවස් හතරකට කලින් බෙල්ට් එකෙන් ගහපු පාරවල් වලට නිල් වුන තැළුම් පාරවල් මැකෙන්නත් කලින් ආයෙත් ගුටි වරුසාවක් ලැබෙනවා කියන දේ අකුණක් ගැහුවා වගෙ මගේ හිත මට කියද්දි බයටම මගෙ ඇස් ඉබේටම වැහුනා.

 වැහෙන ඇසි පිය අතරින් තාත්ත ඉන්දුලගෙන් ඈත් වෙලා මං ළගට එනවා මට පෙනුනා. ඒ එක්කම ඔලුව ගැලවෙන්න තරම් හයියෙන් කොන්ඩෙන් ඇදෙද්දි මං ඇස් වහගෙනම එක අතකින් ඔලුව අල්ලගත්තා. ඒ එක්කම මොකද්දෝ බර දෙයකින් මගෙ පිට හරහා පාරවල් වදිද්දි අම්මා මාව බේරගන්න තාත්ත එක්ක ඔට්ටු වෙනවා මට හීනෙන් වගේ ඇහුනා. එක පාර ග්‍රහනය ලිහිල් වෙනාවා තේරෙනවත් එක්කම පිට හරහා වැදුනා පාරවල් වල සැරට සමබරතාවය නැතිව පාවෙනවා වගේ මට දැනුනා. ඔව්, ඇත්තටම මාව පාවෙලා ගියා. ඒ අතරෙ හීනෙන් වගේ අම්මගෙ කටහඩ කන ලගින් ඇහෙද්දි "හොද වැඩේ නපුරු කම් කරනවට, අම්ම තමයි මෙයාව නරක් කරන්නෙ..ඔය.. අක්ක මොන මොනවදෝ කියවනවත් හීනෙන් වගේ මට ඇහුනත් ඇස් ඇරගන්න බැරි මොකද්දෝ බර ගතියක් ඇස් පියන් උඩ මට දැනුනා. ඊළග මිනිත්තු ගාන මොකද වුනේ කියලා මට මතකයක් නෑ.

මට සිහිය එනවා රෝහල් කාමරයක් ඇතුලෙ ඇඳක් උඩ දි. ඔව් මගෙ අම්ම මගෙ ඇඳ ලඟම ඉදගෙන ඉන්නවා. ඇස් දෙකේ කඳුලු පුරෝගෙන. වුනේ මොනවද කියලා ලාවට මතක් වෙද්දි වදෙන් පොරෙන් හිත වහල දලා කිසි දෙයක් නොවුන ගානට අම්ම එක්ක හිනා වුනේ දේවල් මතක් වෙද්දි මගෙ ඇස් වලට එන කඳූලු කැට මගෙ අම්මගෙ පපුවෙ තියෙන ගින්දර ට තවත් පිදුරු ගුලියක් වෙන බව දන්න නිසා.

"ඇයි අම්ම මේ? ඔයා දුක් හිතන්න එපා. මට අමාරුවක් නෑ. ඇයි බොරුවට මාව මෙහෙට එක්කන් ආවෙ? කවද වෙනකන් ඉන්න වෙයි ද දන්නෙ නෑ,මෙයාලට ඕනෙ සල්ලි නෙ" අමාරුවෙන් ඒ වචන ටික කියා ගත්තත් ඒ වෙද්දි මගෙ ඔලුව හොදටෝම රිදෙනවා.

අම්මා කිසිදෙයක් නොකියා හිනා වෙලා මගෙ ඔලුව අත ගෑවා. ඒ එක්කම ඊට ටිකක් එහා පැත්තෙන් ටිකක් ඈතට වෙන්න කවුදෝ ඉන්නව කියලා ඡායාව විතරක් පෙනුනත් මට හරි හැටි පැහැදිලිව පෙනීමක් තිබුනෙ නෑ. ඒ දිහා මං තවත් ඕන කමින් බලද්දි ඒ රූපෙ මං ළගට එනවා කියලා මට දැනුනා.

"අයියා.., කියාගන්න බැරි සතුටක් හිතේ ඉපදෙද්දි අඩියට දෙකට ඇදෙන් බැහැල පුන්චි කාලෙ වගේ අයියව බදා ගන්න නොහිතුනා නෙමෙයි. ඒත් ඒ තරම් ශක්තියක් මගෙ ඇගේ ඉතිරි වෙලා තිබුනෙ නෑ.

"අයියා, කොයි වෙලෙද ඔයා ආවෙ" මං අයිය දිහාට දික් කරපු අත තද කරලා අල්ලගන්න ගමන් අයිය මට ලං වෙලා මගෙ අත පපුවට තුරුලු කරගත්තා. ඒ ඇස් දෙකේ ලියවිල තිබුන දුක තේරුම් ගන්න අමුතුවෙන් වචන ගලපන්න ඕනෙ වුනෙ නෑ මට. පුන්චි කාලෙ මට තුවාලයක් වුනත් වැඩිපුරම කලබල වුනේ අයියා. එහෙම තියෙද්දි  එදා මාව  එහෙම දැක්කම අයියාට මොනව නොහිතෙනවා ඇත්ද.
ඒත්.. ඒත් ඒ ඇස් වලට යටින්  ඊට වඩා දුකක් හැන්ගිලා තිබුනා කියලාමයි මගෙ හිත මට කිව්වෙ. ඔව්. අයියා මං ලඟ හිටිය නම් මට කවදාවත් මේ විදියට ගුටි කන්න ඉඩ තියන්නෙ නෑ නේද කියල හිතල දුක් වෙනවා ඇති කියල මං ඒ වෙලේ හිතුවා.

"අයියා මෙච්චර ඉකමනට ආවද? අනේ මාව ආයෙ දාල යන්න එපා අයියෙ, දවස් දෙක තුනක් වත් නවතින්නකො.." පුන්චි කාලෙදි අයිය ලග ඉන්නකොට දැනෙන සහනය තරම්ම සහනයක් එදත් මට දැනුනා. ඒ වෙනකොටත් අයියා කිසි දෙයක් නොකියා මගෙ අත එයාගෙ පපුවට තුරුලු කරගෙන මගෙ ඔලුව අතගානවා. මට අයිය දිහා බලාගෙනම ආයෙ නින්ද යන්න ඇති.. ඔව් මං දවස් ගානකට පස්සෙ හිත සැනසීමෙන් නිදාගත්ත එදා.