Wednesday, October 3, 2012

I AM BACK

අම්මේ............
මගේ බ්ලොග් එක තාම තියෙනවා එහෙනම්:P
කොච්චර කාලෙකින්ද මේ පැත්තෙ ආවේ. කට්ටියට මාව අමතකත් වෙලාද මංදා

…පහුගිය ටිකේ මුල් කාලේ නම් එන්න බැරි උනේ අර ලියපු අන්තිම පෝස්ට් එකෙන් පස්සෙ කිවුවා වගේ ජීවිතේ හුගක් දේවල් වෙනස් වෙද්දි ඒ වෙනස දරගන්න ටිකක් අමාරු උන නිසා අනිත් හැමදේකින්ම ටිකක් ඈත් වෙලා ඒ දේවල් වලට හුරු වෙන්න උන නිසා.

ඒත් ඊට පස්සෙ නම් එන්න බැරි උනේ මං මහා සංග්‍රාමයක නියත වෙලා හිටි නිසා. මං නින්ජා ස්කිල්ස් දාලා යන්තම් බේරුනේ.



සටන් කරන්න උනේ මනුස්ස පරානයක් එක්ක  නම් බැරියෑ.. දුෂ්ඨ මදුරුවෙක් එක්ක නෙ .. මහ කැත වැඩේ කියන්නෙ මට ඇටෑක් කරනකල් මං දන්නෙ නෑ. මුහුණට මුහුණ සටන් කරන්න ආවා නම් මොනා කරල හරි දිනින්න තිබුනා. මේ හොර මදුරුවා හැන්ගිල ඉදලා නෙ ඇටෑක් කලේ. ඒ නිසා ඉතින් මාස එකහමාරක් විතර යනකන් ඉස්පිරිතාලෙ ඉදලා තමයි  අර කියපු සංග්‍රාමය ඉවර කරේ. ඉතින් එහෙම ඉදලා ගෙදර ආවත් ටිකක් කලක් යනකන් ඇගට පනක් තිබුනෙ නෑ. හරියටම හොද උනාම පස්සෙ ඉතින් මග ඇරුන වැඩ ටික කර කර හිටිය මිසක් බ්ලොග් පැත්තෙ එන්න නම් බැරි උනා. 

ඒත් ඉතින් දුශ්ඨ මදුරුවෙක් කොටල අසනීප උනා කියලා මං බය වෙනවද? මං අර පැත්තක කියලා තියෙනවනෙ මේ බ්ලොග් එක මට ලෝකයක් වටිනවා කියලා. එහෙම එකේ මදුරුවන්ට බයේ බ්ලොග් ලියන එක නතර කරන්න පුලුවනෑ.. ඒ නිසා ඕන්න මං ආයෙම අවා..

මගේ බ්ලොග් එක කෙසේ වෙතත් අනිත් බ්ලොග් කියවන එක මග ඇරුන එක නම් දුකක්.. කොහොම කොහොම හරි ඔන්න ඉතින් මං ආයෙම ආවා.. කට්ටියට මාව මතක නැත්තමි ටිකක් මතක් කර ගන්නකො.. එතකන් ඉතින් මං ලියන්න දෙයක් හිතන්නම්කො..

Thursday, May 10, 2012

ඇයි මෙහෙම හිතන්නෙ මට?

මට කවදාවත් බැරි වෙයි අනිත් අයට ගැලපෙන්න ඉන්න. හැමෝමලාම කියනවා වගේ මං වෙනස් තමයි. කොයි තරම් පිලිගන්න අකමැති උනත්  ඇත්ත තමා  කියලා මටත් දැන් තේරෙනවා. ඒත් එහෙමයි කියලා කොහොමද වෙනස් වෙන්නෙ? මේ මගේ හැටි නේ..

හිතට හිතෙන දේ කියනවා ඇරෙන්න කියන්න ඕනෙ දේ හිතන්න මට පුරුද්දක් නෑ. කාගෙවත් හිත රිද්දන්න බැරි කමට සමහර වෙලෙට කරබාගෙන හිටියට ඒ මෝඩ කමට නොතේරෙන කමට නෙමෙයි. කාවවත් රිද්දල සතුටු වෙන්න ආස නැති නිසා. ඒත් අනිත් අය හිතන්නෙ මෝඩ කම කියලා. කාටහරි කරදරයක් කියලා දැක්කොත්, නැත්තම් කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් ඒ වෙලාවට උදව් කරන්නෙ මනුස්ස කමට මිසක් වාසි බලාගනවත්, වෙන වැඩක් නැතිවටවත් නෙමෙයි මං. මට තේරෙනෙ නැත්තෙ සමහරු උදව් කරාම හිතන්නෙ මෙයා නම් ගොන් බදින කනුවක් ඕන වැඩක් කරගන්න පුලුවන් කියලා. එහෙම හිතනවා කියලා දැන දැනත් ආයෙම ඒ අයට උදව්වක් ඕනෙ කියුවම උදව් නොකර ඉන්න හිත හදාගන්න බෑරි ඇයිද කියලා මටම තේරෙන්නෙ නෑ.

අනිත් අය ලොකුවට හිතන ලොකු ප්‍රශ්න ගැන මට නිකමටවත් හිතෙන්නෙ නෑ. හරියට "මොනාද  ඉස්සරහට තියෙන ප්ලැන්ස්? job එක? එතකොට  ප්‍රොමෝශන්ස්?  පඩි  වැඩි කරගන්න විදිය? තියෙන වාහනයට වඩා හොද වාහනයක් ගන්න ඕනේ නේද?, මොනා හරි දෙයක් කරනකොට ඒ දේ අපිට තියෙන වැදගත් කමට වඩා අනිත් අය ඉස්සරහ ඒ දේ කරාම ලැබෙන තත්වය? සාමජය ඉස්සරහ නමක් හදාගන්න හැටි? වැඩක් කරලා එක දාගන්න විදිය, තමන්ගෙ හිතට ඇති හිතෙන කම් නැතිව අනිත් එකාට වඩා ඉස්සරහට යන්න ඕනෙ නේද? වගේ දේවල් ගැන නිකමටවත් මට හිතෙන්නෙ නෑ.

මට නම් වෙන මුකුත් ඔනෙ නෑ  මං ගොඩාක්ම ආදරේ කරන අය එක්ක සතුටින් ඉන්න තියෙනවා නම්,  ගේම් එකක් ගහලා, හිතට එන දෙයක් ලියලා දාලා, කතන්දර පොතක් කියවගෙන, අපේ ගෙවල් ලග ඉන්න පොඩි සෙට් එක වටකරගෙන මොනා හරි මැටි වැඩක් කරල හිනා වෙලා, සැහල්ලුවෙන් ඉන්න, නිවාඩු වෙලේට ගෙදර අය එක්ක බීච් එකේ රවුමක් දාල උනු උනු වඩේ ලූනු මිරිස් එක්ක කාල සබන් බෝල එකක් අරන් ගෙදර ඇවිත්  පැයක් විතර නාලා ඇදට වැටිලා කොට්ටෙ බදාගෙන නිදාගන්න තියෙනවා නම්

අම්ම පුටුවෙ ඉදගෙන T.V එක බලද්දි අම්ම ගාවබිම ඉදගෙන අම්මගෙ ඩොක්කුවට ඔලුව තියාගෙන අම්මට කියලා ඔලුව අතගාවගන්න, තත්තා කොයි හරි ගිහින් මොනා හරි අරන් ගෙදර ආවම තාත්තව බලෙන්ම පුටුවක ඉන්දවගෙන පුටු ඇන්දෙ ඉදගෙන ගෙනාපු බෑග් එක දිග ඇරල බලන්න, අම්මා උදේම කෑම උයපු නැති දවසට අම්මයි මායි තාත්තායි විතරක් ගෙදර ඉන්නව නම් අම්මව කුස්සියෙන් එලවලා තත්තා එක්ක එකතු වෙලා කුස්සිය හැඩි කරගෙන භාජන අල්ලන රෙදි පුච්චගෙන කෑම හදන්න ( සමහර දාට බඩු පෙරලගෙන වීදුරු එහෙම බිදගෙන අත කපගත්ත වෙලාවලුත් තියෙනවා තත්තයි මායි)

මට ප්‍රශ්න කියලා තියෙන්නෙ ඉතින් ලගින්ම ඉන්න කෙනෙක්, ගොඩාක් ම ආදරෙ කරන කෙනෙක් පොඩි දේකට හරි බැන්නොත් හුගක් ම හුගක් දුක හිතන එක,
කවුරු හරි ලගම කෙනෙක් තරහ වෙන එක,

අපේ අම්මා මට උදේට කොයි තරම් ආදරෙන් තුන් හතර පාරක් කතා කරල නැගිට්ටුවොත් මට නැගිට්ටවෙන්නෙ නැත්තෙ ඇයි ? එහෙම නැගිට්ටවල නැගිටින්නෙ නැති උනාම පැයට හැටේ වේගෙන අපේ අම්මගෙ අතක් මගේ ශරීර කූඩුව ස්පර්ශ කරාම කොච්චර රිදුනත් හිනා කටක් දාගෙන නැගිට්ටවෙන්නෙ ඇයි මට හරියට ගුටිය ලැබෙන කන් බලන් හිටිය වගේ?

අයිය වැඩ ඇරිල ගෙදර එන්න පරක්කු වෙන එක,
තාත්තා කොහිහරි දුර ගිහින් ඉද්දි කෝල් කරාට ෆෝන් එක ගන්නෙ නැති එක,
අපේ අක්කි ගෙදර ආපු වේලෙ ඉදන් කියවන ලොකු කතා අහන් ඉන්න එක,
මං මෙච්චර ලොකු වෙලාත් ඇයි තාමත් මට චූටි දූ, චූටි නංගි, චූටිය, පොඩි එකා කියලා කතා කරන්නෙ?
ඇයි මං ගෙදර, නෑදැයෝ, ඒ විතරක්යෑ අපේ පාරෙත් මගෙ පරම්පරවේ අයගෙන් පොඩිම එකා වුනේ?

නිකමටවත් ඉස්සර වගේ චූන් පාන් කරත්තෙ අපේ ගෙවල් පැත්තෙන් යන්නෙ නැති එක,
එහෙම කොහෙදි හරි චූන් පාන් කරත්තයක් නවත්තගෙන ජෑම් පාන් ගත්තත් අපි පුංචිම කාලෙ චූන් පාන් එකෙන් ගත්ත ජෑම් පාන් වල වගේ දැන් ඒවයෙ ජෑම් ගොඩක් නැති එක,

මගේ වයස ඉන්න සමහරු තොරොම්බොල් කරත්ත වගේ ඇදගෙන මූනත් තහඩුව වෙනස් කරගෙන කොන්ඩෙ කඩාගෙන පන්ති එන එක, පල්ලි එන එක,සමහරු ඇයි හෙනම අමාරුවෙන් බැරි බැරි ගාතෙ අඩි උස දාගෙන ඇවිදින්නෙ යස අගේට සාමන්‍ය ගමනට සැහැල්ලු සෙරප්පු දාගන යන්න පුලුවන් කම තියෙද්දි,

අපි කරන දේ කාටවත් හිරි හැරයක් නැති තාක් කල් ඒදෙයින් අපිට සතුටු වෙන්න පුලුවන් නම් එහෙම දේවල් කරාම අනිත් මිනිස්සු ගොඩයෝ කියලා හිතාවි කියලා අකමැත්තෙන් අකමැති දේවල් කරන්නෙ ඇයි මේ මිනිස්සු?  සමහරු අම්මට තාත්තට වදින එකට නැත්තම් යාලුවෙක් ගෙ ගෙදරකට ගිහින් එද්දි එයලගෙ අම්මලා තාත්තලාට වදින එක දිහා අමුතු විදියට බලන එක

ඇයි හොදටම වැහලා පයාගෙන එන කොට ඒ කියන්න ටික ටික වැහි බිංදු වැටෙන වෙලේට මං විතරක් කුඩේ අකුලගෙන ආසවට වැස්සෙම ඇවිදගෙන යනකොට අනිත් කාටමවත් එහෙම හිතෙන්නෙ නැත්තේ?
…කොළඹ ඉදන් රස්නෙ ඉවසන්න බෑ කියල වියදන් කරගෙන නුවර එලියෙ ගිහින් ඔලුවෙ ඉදන් පොරෝගෙන නවතින්න ගන්න තැන ඇතුලට වෙලා දොරවල් වහගෙන එලිය බලාගෙන ඉන්න එක, ( ඇයි දෙයියනේ ඇගට පතට ටිකක් හුලන් වදින්න සීතල දැනෙන්න කන් දෙක අගුලු වැටෙන්න ඉඩ දීලා ඔහේ එලියට බැහල ඇවිදින්න හරි එක තැන හිටන් ඉන්න හරි නෙමෙයි නම්, අත් දෙකේ අල්ලයි ඇගිලි ටිකයි අඩි පතුලයි සීතල වෙනකන් වතුරට අල්ලන් ඉන්න,  සීතල වුන ඇගිලි ටික මූනෙ තියාගන්න වගේ දේවල් කරන්නෙ නැතිව, ඔලුවෙ ඉදන් වහගෙන කන් දෙකත් වහගෙන සීතල අල්ලන්නෙ නතිව ඉන්න ඔනේ නම් මොකටද යන්නෙ?)



අනේ මංදා මෙහෙම දේවල් හිතෙන්න මට පිස්සුද? නැත්තම් අනිත් අයට තියෙන වැඩ එක්ක ඒ වගේ දේවල් කරන්න වෙලාවක් නැද්ද කියලා..
…කොහොම උනත් ඉතින් මං දන්නව සමහර වේලෙට ජීවිතේ ගැන ගැඹුරින් හිතන්න ඕනේ.. මං ගෙදර වගේම ඔක්කොලාගෙම පොඩි එකා නිසා බරක් පතලක් නැ. අදටත් මං දෙයක් කරන්න ගත්තම ඔක්කොලාම උදව් කරනවා තනියම කරන්න ඕන උනත් බෑ. ඉස්සරට වඩා නම් දැන් ඒ ගතිය අඩු වෙලා. මොකද ඔක්කොලාම  එයාලගේ ජීවිත එක්ක හැප්පෙන නිසා.. ඒ නිසාම තමා මටත් එක පාරට මේ හැමදේම තේරෙන්න්න ගත්තේ. පුංචි කාලෙ ඉදන්ම මොකක් හරි ප්‍රශ්නයක් උනාම මං අම්මට නම් බරක් උනේ නැ. ගොඩ වෙලාවට අයියට එහෙමත් නැත්තම් අපේ මාමාට තමයි කියන්න පුරුදු වෙලා හිටියෙ. ඒ අම්මට ලග නැති කමට නෙමෙයි, අම්මට ඊට වඩා මහ ගොඩක් ප්‍රශ්න තියෙද්දි වද වෙන්න, තව වද කරන්න පවු කියල පුංචි කාලෙ ඉදලාම මගෙ හිතට දැනිල තිබුන නිසා.

මගේ අම්ම ගැන ලියනව නම් ලියනන් පුලුවන් මට මහ ගොඩක්. ඒ හැමදේම පස්සෙ ලියන්නම් කො.
…ඉතින් පුන්චි කාලෙ ඉදන් අම්මට වදයක් නොවෙන්න හිටපු නිසාද මංදා දැන්ටත් මොන ප්‍රශ්නෙ තිබුනත් අම්මා ඉස්සරහ හිනා වෙලා ඉන්නව මං. ඉස්සර වගේ අයියට වද දෙන්නෙ වෙන්නෙත් ටික කාලයයි තව. එයත් යනවා මාව දාලා. ඒ නිසා ජීවිතේ බර වෙනදට වඩා දැනෙනවා මට.

ජීවිතේ අමාරු තැන් වලදි, කරන්න ඕන දේ නොදන්න තැන් වලදි හුගක් වෙලේට වැඩ කරේ පියතුමන්ගෙ මග පෙන්වීමත් එක්ක. හරි වැරැද්ද තේරුම් ගන්න බැරි උනාම තාත්ත කෙනෙක් වගේ හරි වැරැද්ද කියලා දුන්න කෙනෙක් අපේ පියතුමා මට. අපේ පල්ලියෙ පියතුමාත් මාරු වීමක් ලැබිලා.ඉතින් දැන් පියතුමත් මාරු වීම නිසා ඈතට යනවා.

ප්‍රශ්නයක් කරදරයක් උනාම වගේම මොකක්ම හරි දෙයක කරන්න කලින් උපදෙස් අරගන්න කගින්ම හිටිය අයියයි පියතුමයි දෙන්නම එක ලගම මාව දාල යද්දි ජීවිතේට තනියම මූන දෙන්න ඕන නේද කියල හිතෙද්දි හිරි වැටිලා යනවා මාව.  

…ඔක්කොලාම කියනවා මට පොඩි එකෙක් වගේලු. හිතන්නෙ පතන්නෙ එහමලු. එහෙම බෑලු ජීවත් වෙන්න. ඔවු මට තේරෙනවා දැන්. ඒත් දෙයියනේ එහෙමයි කියලා කොහොමද මේ ඉක්මනට වෙනස් වෙන්නෙ. මෙච්චර කල් පස්සෙන් හිටි අය ඔක්කොලාම ඈතට ගිහින් මං තනියම කොහොමද ජීවිතේ ඉගෙන ගන්නෙ? වැරදුනොත්  කාලගටද යන්නෙ? කාගෙන්ද අහන්නෙ? නොතේරෙන තැන් වලදි මොකද කරන්නෙ?  බයයි ඇත්තටම මහ ගොඩක්. ජීවිතේ ඉගෙන ගන්න ඕනේ  දැන්. ඒත් හැමදාම යන එන තැන් වලටත් තනියම යන්න පාර දන්නෙ නැති මං  කොහොමද තනියම හැමදේම ඉගෙන ගන්නෙ?
ජීවිතේ බර කවදාවත් නැතිව දැනෙනවා මහ ගොඩක් බරට අද මට.

Friday, April 6, 2012

දහම් පාසල් කොඩියයි.. රබර් අත්තයි..

අම්මෝ යන්තම් විභාගෙ ඉවර උනා.. විභාගෙ අතරෙ එහෙන් මෙහෙන් බ්ලොග් කියවද්දි දැකපු හරී අයියාගෙ මෙන්න මේ පෝස්ට් එක දැකලා මගෙත් පරණ මතකයක් අලුත් වුනා. මේ  කියන්න යන්නේ ඒ ගැන

මාර්තු මාසෙ පළවෙනි සෙනසුරාදට යෙදෙන කොළඹ පදවියෙ, ළමා දිනය කියන්නෙ කොළඹ පදවියට අයිති හැම දහම්පාසලකම, හැම කතෝලික පාසලකම ළමයි ටික තේවත්තෙ ලංකාවේ අප ස්වාමිදූ බැසිලිකාවට එකතු වෙන දවසක්.. මේ ගැන වැඩි දුර විස්තර හරී අයිය ලියලා තියෙන නිසා ආයෙම කියන්න ඕනෙ නෑනෙ..

ඔය ළමා දිනේට මාත් 5 වසරෙ ඉදන්ම හරි ආසවෙන් තමයි ගියේ දහම් පාසල නියෝජනය කරන්න. මොකද  අපේ ඉස්කෝලෙන් ගෙනියන්නෙ 11 වසර අයව විතරයි. 

මෙ කියන සිද්දිය උනේ මං 11 වසරෙදි. ඒ කියන්නෙ ඉස්කෝලෙනුත් ඒ අවුරුද්දෙ අපිව තමයි ළමා දිනේට ගෙනියන්නෙ. ඒත් එතකොට මම දහම්පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ඒ නිසා මට සිද්ද උනා දහම්පාසල නියෝජනය කරන්න.. ඒත් ඉතින් දන්නවනෙ ඉස්කෝලෙ යලුවො ටිකට ඔවා තේරුම් කරන්න පුලුවනෑ..  යාලුවො ටික මං එයලා එක්ක යන්න එන්නෙ නැති නිසා මට බැන බැන තමා හිටියෙ.

ඔන්න ඉතින් ළමා දිනය තියෙන දවසේ උදේම වෙනදා වගේම ඉස්කොලේ නිල ඇදුම ඇදලා සපත්තු මේස් දාලා අම්මා උයලා දීපු දවල් කෑම එකත් බෑග් එකට දාගෙන මාත් පල්ලියට ගියේ දහම්පාසලේ අනිත් ළමයි එක්ක තේ වත්තෙ යන්න.
 
ශිෂ්‍ය නායක නායිකාවන්ට තම තමන්ගේ ටයි පටිත්, බ්ලේසර් එකත් අරගෙන ගෙනියන්න ඕනෙ බඩු ටික බස් එකට දාගත්තා. ඒ අතරට අයිති වෙන්නෙ දහම් පාසල් කොඩියත්,දවස් ගානකට කලින් ඉදන් ළමයින්ගෙන් එකතු කරගන්න පොත්, පැන්සල්, පෑන් වගෙ දේවල් ටික කාර්ඩ්බෝඩ් පෙටියකට දාලා බ්‍රව්න් පේපර් එකකින් එහෙම ඔතලා හදාගන්න පඬුරයි, ප්‍රථමාදාර පෙට්ටියයි තමයි .

ළමයි ටික එහෙම බස් වලට නැගල දැන් යන්නයි ලෑස්තිය.. ගමන පටන්ගැන්මෙදි යාච්ඤාවක් කියලා ගිතිකාවකුත් කියනවා. ඒත් ටික දුරක් යද්දි කට්ටිය ඉබේටම සින්දු කියන්න පටන් ගන්නවා..  වත්තල ඉදන් ඉතින් ඒ හැටි දුරකුත් නෑ නෙ.. ඉක්මනටම තේවත්තෙ පල්ලිය ලගට යාගන්න පුලුවන්. එතනට ගියාම පස්සෙ බස් එකෙන් බැහල  රබර්යාය මැදින් ඇවිදන් යන්න ඔනේ පල්ලිය වත්තට.. ඔය අතරෙ ඉතින් හරී අයියා කියුවා වගේම ළමයි රබර් වතු අස්සෙ රිංගනවා.  අච්චාරු විකුනන ආච්චිලාගෙන් අච්චරු අරගන්නවා. සමහරු කොන්ත කඩේට යනවා..

නියමිත වෙලේට දේව මෙහෙය පටන් ගන්නව. ළමයි හුගාක් ඉන්න නිසා ඉස්සරහ හරියකට යාගන්න පුලුවන් වුනොත් විතරයි හරියටම වෙන දෙයක් පේන්නෙ. දේව මෙහෙය අතරතුර පඬුරු පෙරහැරේදි හැම දහම් පාසලකින්ම වගේම හැම ඉස්කෝලෙකින්ම අර කලින් කිව්වා වගේ ලෑස්ති කරගෙන එන පඬුර අරන් ගිහින් ඔප්පු කරන්න ඕනෙ.. ඉතින් පඬුරු පෙට්ටිය ටිකක් බරයි. ඒ නිසා ඒක ප්‍රදාන ශිෂ්‍ය නායකයාට භාර වුනා. එතකොට මට වුනෙ කොඩිය අරන් යන්න. කොඩිය අරන් අර කිව්වා වගේම පෝලිමක ගිහින් වටේට හිටන් ඉන්න ඕනෙ මෙහෙය ඉවර වෙනකන් ඔය විඩියට ඉතින් ලමයි ගොඩක් ඉන්න පෙරහැරෙ මාවත් හිටෙව්වා අයිනෙම තීරුවට වෙන්න. රබර් වතු දෙක මැද්දෙන් තියෙන පාරෙ දිගේ ගිහින් තමයි ඔය තියෙන පින්තුරෙ තියෙනව වගේ වටේට රවුමට හිටගන්න ඕනෙ.


         මාත් ඉතින් දැන් ඉහින් කනින් දාඩිය වක් කරගෙන පෝලිමට වෙලා හිටන් ඉන්නවා කොඩියත් උස්සගෙන.  මොකෙද දාඩියයි කියලා කොඩිය අත ඇරලා ලේන්සුවෙන් මූන පිහින්න පුලුවනැයි දෙනෝ දාහක් ඉන්නැද්දි.. ඒ අතරෙ තමා ටිකක් ඉස්සරහට වෙන්න ඉන්න අපෙ ඉස්කොලේ කට්ටිය මං දැක්කෙ. ඔන්න එතකොටම වගේ පෙරහැර ඉස්සරහට යන්න පටන් ගත්තා. මාත් හිටියෙ යාලුවො ගැන හිත හිත නෙ. ඉතින් මගෙ ඉස්සරහ හිටි ළමයායි මගෙ පේලියට කෙලින් වම් පැත්තෙ හිටි ලමයි ටිකයි ඉස්සරහට ගිහින්. පෝලිම ඇද වෙන්න දෙන්න බෑ. වස ලැජ්ජාවයි. මාත් හරියට පෝලිම හදාගන්න ඉක්මන් උනා. ඔය අතරෙ එක අඩියයි තියන්න උනේ මට. ඊලග අඩිය තිබ්බට මාව ඉස්සරහර යැවෙන්නෙ නෑ නෑ වගේ.

       මොකද්ද අප්පේ මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරිව මාත් ආයෙ ඉස්සරහට යන්න හැදුවා.
ම්ම්හු... ඉස්සරහට යන එක කෙසේ වෙතත් කොඩියත් නිකම් ගෙනෙද්දි තිබුනට වඩා බරයි බරයි වගේ. ඒත් එහෙම කොහොමද වෙන්නෙ?

          මෙන්න බොලේ හතර වටේ ඉන්න ළමයි ටික මගේ පැත්තට හැරිලා ඇස් දෙක ලොකු කරගෙන කන්න වගේ බලන් ඉන්නවා. ඒකත් මේ බීස්කුන්වහන්සේයි, පියතුමන්ලයි, සහෝදරතුමන්ලයි කන්‍යා සහොයුරියෝයි ඔක්කොම ඉස්සරහ ඉන්නැද්දි.. මගේ දිහා විතරක් නම් කමක් නෑ කියමුකෝ. මගේ දිහා බලන ගමන් මං ඉන්න තැනම උඩත් බලනවා. මගේ දිහා බලනවා.. උඩ බලනවා..  ආයෙම මා දිහා බලනවා... ආයෙම උඩ බලනවා.
 
        මෙහෙම තව ටිකක් වෙලා ගියොත් බෙල්ල උඩටයි පහලටයි හරවල මෙ කට්ටියගෙ බෙල්ලෙ පොට ගිහින් සමූහ ඝාතනයක් සිද්ද  වුනොත් එහෙම ඒකටත් මේ අහිංසක මට වගකියන්න වෙන්නෙ. බලන් ඉදල බෑනෙ. මාත් ඉතින් කෝකටත් කියලා උඩ බැලුවා. මෙන්න වැඩක්. අපේ දහම් පාසල් කොඩිය පාරට වෙන්න තිබුන රබර් අත්තක් අස්සෙ පැටලිලා. ඒක තමයි මං අවිද්දට අවිද්දවුනෙ නැත්තේ. ඒ වෙලේ තමා මොකාටද වගේ මට වෙලා තියෙන දේ තේරුනේ. හපොයි මගේ ඉස්කෝලේ උන් ටිකත් මං දිහා බලාගෙන. ලැජ්ජාවයි. සදුදා ඉස්කෝලේ යනවට වඩා හොදයි වහ කනවා. පොලිඩෝල් බොනවද? හාක්‍රෝස් පටාස් බොනවද?...
ඒවා හිතන්න පුලුවනැයි  ඒ වෙලේ. ඒ ටික ගෙදර ගිහින් හිතන්න පැත්තකට තියලා දැන් මේ කොඩියට මොනා හරි කරන්න ඕනෙ නෙ.මගේ පිටිපස්සෙන් හිටි ළමයි ටිකත් මාව පාස් කරගෙන යනවා.

            මං දන්න සෙල්ලම් ඔක්කොම දාලා කොඩියෙ පැටලිල්ල ඇරගන්න හැදුවම වුනේ තව ටිකක් පැටෙලන එක. ඒවෙලේ වටේ හිටි තව දෙතුන් දෙනෙකුත් ආවා උදව්වට. එයාලගෙත් උදව්වෙන් කොඩිය බේරන්න හද්දදි මෙන්න කොඩිය ආධාරකයෙන් ගැලවිල ගහේ හිටුනා. හපොයි දෙයියනේ දැන් මේ යකඩ බටේ විතරක් අරන් ගිහින් අතන හිටගන්නැයි. අපේ දහම් පාසලේ උගන්වන අයියෙක් එතනට ආව වෙලේ තමා ටිකක් හරි ඇගට ලේ ටිකක් ඉනුවෙ අච්චර සෙනග ගොඩක් මැද්දෙ දන්න කෙනෙක් දැක්ක නිසා. ඔන්න ඉතින් දැන් හතර පස් දෙනෙක් ම ඇවිත් ආධාරකය උඩට උස්සලා කොඩිය එහෙ මෙහෙ කරලා කොඩිය ගලවගත්තා. වටෙ පිටෙ හිටි කොල්ලො ටික අපේ දහම් පාසලේ නමත් කිය කිය විහිලු කරනවා. මගේ ඇස් දෙකේ කදුළු පිරිලා ඇඩෙන්න ඔන්න මෙන්න තිබුනෙ ඒ වෙනකොට. ඇයි ඉතින් දෙනෝ දාහක් මැද්දෙ ඔහොම උනාම ලැජ්ජාව, ඔක්කොටම වඩා මං නිසා දහම් පාසලටත් සවුත්තුවක් උනා කියන හැගීම ඒ වෙලේ ඔලුවෙ තිබුනෙ.

             කොඩිය දැන් ආයෙ ආධාරකයට දාන්න ආධාරකය අල්ලන් හිටිය. ඒ වෙලේ අවුල් වෙලා හිටි තරම කොයි තරම් ද කියනවා නම් මගෙ අත හොදටම වෙවුලනවා. ආධාරකය ඉතින් හෙල්ලෙනවනෙ. කොඩිය දාගන්න බෑ අපේ දහම් පාසලෙ උගන්න්නන අයියට. වටේ උදව්වට ආපු තව දහම් පාසලක අයියලා දෙන්නෙක්, සංවිදායක (වැඩසටහන යන යන වෙලේදි ඒ ඒ දේවල් හරියට කෙරෙනවද කියලා බලන්න තැන් තැන් වල හිටන් ඉන්නව අයියලා.. අයියලා කියුවට එයාල සහෝදර තුමන්ල වෙන්න ඉගෙන ගන්න අය කියලා තමයි මං අහලා තියෙන්නෙ.) කෙනෙකුත් ඒ වෙලේ එතන හිටියා. සංවිදායක මගේ අතින් ආධාරකය අරගෙන කොඩිය දාන්න කියලා වෙන අයිය කෙනෙක්ට දෙන ගමන් මට පොඩි ලෙක්චර් එකකුත් දුන්නා. ඔන්න ඒකෙන් පස්සෙ තමා ටිකක් හරි ගියේ.

දැන් ඉතින් කොඩිය ආයෙම අරගෙන යන්න හිත හදාගෙන ඉස්සරහ බලද්දි මුලු පෙරහැරම ගිහින් ඉස්සරහට.
ඒකත් කමක් නෑ කියමු. පඬුරත් අතේ තියාගෙන හිටි අපේ දහම් පාසලේ මාත් එක්ක මෙතනට ආපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා මහේශ්, ඒකත් ගිහින් නෙ පෙරහැර එක්ක. කොඩිය මතන තියෙද්දි ඒකා ඉස්සරහට ගියාම හරි යනවද?  භාගයක් දුර ගිහින් නැවතිලා තියෙන්නෙ. මූනත් හතරැස් කරගෙන හතර අතේ බලනවා කොඩිය කෝ කියලා. පිටිපස්ස හැරිලා බැලුවෙ නෑ නිකම් වත් වම, දකුන.. වම, දකුන.. බල බල හිටිය මිසක්. පොඩි කාලේ ඉස්කෝලෙ උගන්නපු මාර්ග නීති මතක් වෙලාද කොහිද.



            පඬුරු ටික ඔප්පු කරන්න යද්දි කාදිනල් අල්තාරෙන බැහලා ඉස්සරහට එනවා.ඉතින් දැන් කාදිනල් නැත්තම් බීස්කුන් වහන්සේ පහලට එහෙම බැහලා හිටන් බලන් ඉන්නවා. ඉතුරු ඔක්කොලාම පඬුරු දීල ඉවරයි. මහේශ්  මැද්දට වෙලා නැවතිලා බලන් ඉන්නවා. ඊටත් පිටිපස්සෙන් මං. ඒ අස්සෙ මෙ වෙච්ච දේවල් නොපෙනුන කට්ටිය මේ මොකෝ මෙහෙය බාගෙට තියෙද්දි බීස්කුන් වහන්සේ පහලට වෙලා කරන්නෙ කියලා හිත හිත වෙන්න ඇති කසු කසු ගානවා. මේ ජරමර අස්සෙ මට දැන් තනියම අර පාර දිගෙ කොඩියත් අරන් යන්න බෑ බෑ වගේ. 
මං දැන් යන්න බෑ කියන්න වගේ සංවිදායක දිහා බැලුවා. මට කලින් ඉස්සර වෙලා "යමු, ඔයාගේ දහම් පාසල වෙනුවෙන් වෙන් කරපු තැන තාම ඒ විදියටම තියෙනවා" කිසි දෙයක් නොවුන ගානට පුදුම සංයමයකින් ඇවිදගෙන ගියා. මාත් ඒ පස්සෙන් ගිහින් මහේශ් හිටි තැනට යනකන්ම මහේශ් බය වෙලා පඬුරත් උස්සගෙන පාරෙ අයිනටම වෙලා හැංගිලා වගේ තමයි හිටියෙ. නොදැක්කා වගේ රගපෑවද දන්නෙත් නෑ. කෝම කෝම හරි ඉතින් මහේශ් ඉස්සර වෙලා පඬුර ඔප්පු කරද්දි මං ඒ පිටිපස්සෙන් කොඩිය අරන් යද්දි කට්ටිය බලන්න ඇති මෙච්චර වෙලා මොන කෙහෙල්මලක් කලාද කියලා. එහෙමම මං ගිහින් කොඩි අරගෙන රවුමට හිටන් හිටි ළමයි අතරට ගිහින් හිටගත්තා.

         ඒ වෙලේ ඉදන් මෙහෙය ඉවරවෙනකන්ම මට මතක් උනේ දහම් පාසලේ කොඩිය ගහ උඩ හිටුන එකෙන් මගෙ අතින් දහම් පාසලට අගෞරවයක් උනා නේද කියන එක. ඒ නිසාම ඇස් දෙකෙන් කදුලු පුරෝගෙන අඩන්නෙ නැතිව හිටයෙ පුදුම අමාරුවෙන්. ඒත් මෙහෙය ඉවර වෙලා ආයෙම අපෙ දහම් පාසලේ කට්ටිය ඉන්න තැනට ඇවිදන් යද්දිම ඈත තියාම පියතුමන්වයි අපේ දහම් පාසල් ගුරුවරු ටිකයි ළමයි ටිකයි දැක්ක ගමන් අච්චර වෙලා තද කරන් හිටපු කදුලු ටික මටත් නොදැනිම ඇස් දෙකෙන් එලියට පැන්නා. ගොඩක් වෙලා යනකන්ම මට ඇඩුනා.. පියතුමා, ගුරුවරු වගේම අනිත් ශිෂ්‍ය නායකයෝ ටිකත් මගෙ හිත හදුවා. යන්තම් ඇඩිල්ල නවත්තගත්තත්  වෙනදා වගේ  යාලුවො එක්ක හිනා වෙලා ඉන්න හිතක් තිබුනෙ නෑ.

         ඒත් අපේ පියතුමා  නම් කිව්වෙ
 "ඒක ඒ තරම් ගනන් ගන්න දෙයක් නෙමේ පුතේ.බලන්නකො ඔයා අද ඇඩුවට, පස්සෙ කාලේක ඔය වෙච්ච සිද්දිය මතක් කරලා හිනා වේවි ඇස් වලින් කදුලු එනකන්ම" කියලා.
   
         ඒ වෙලේ නම් මට ඒක තේරුනේ නෑ. මං හිතුවෙ හිත හදන්න කියුවා කියලා. ඒත් ඒක ඇත්ත කියලා තේරුනෙ ඊලග අවුරුද්දෙ ඉස්කොලේ ශිෂ්‍ය නායිකාවක් විදියට ළමා දිනේට තේවත්තෙ පල්ලි ගියාම අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කොඩිය අරගෙන පෙරහැරේ යන්න හිටන් ඉද්දි අර සිද්දිය මතක් වෙලා මට තනියම හිනා ගියාම. අදටත් ඒ සිද්දිය මතක් කරලා යාලුවො විහිලු කරන වෙලාවල් අනන්තයි. ඔන්න ඔහොමලු වුනා කියන්නෙ.

Friday, March 16, 2012

අනේ අපොයි උපන්දින තෑග්ග!!

 
ඔයාලට මං පෙරේදා  කිව්වනෙ අයියාගේ උපන්දිනේ කියලා. මේ කියන්න යන්න අයියාට තෑගි හොයන්න ගිහින් කාපු කට්ට ගැන


මාත් ඉතින් බ්ලොග් එක පැත්තෙ එහෙම ඇවිත් අනිත් අයගෙ බ්ලොග් කියව කියව ඉන්න අතරෙ නිකමට වගේ හිතුනා අයියා ගැන ලිව්ව නම් හරි අද උපන්දිනෙත් නිසා කියලා. මුලින් හිතුවෙ නිසදැසක් දාන්න සුභ පැතුමක් විදියට. ඒත් ලස්සනට ගලප ගන්න බැරි උනා.. ඒ නිසා හිතට දැනෙන දේ ලියල දානවා කියලා ඔන්න ඔහෙ ලිව්වා.. කට්ටිය නම් ගොඩක් කමෙන්ට් කරලා තිබ්නා. බොහොම ස්තූති ඕන්.. ඉතින් ඔය පොස්ට් එක දාලා කෙලින්ම ගියා අයියාට තෑග්ගක් ගන්න.මගේ යාලුවා සදූ ටත් එන්න කිව්වා මගට..  

තෑගි ගන්න ගියාට මොකක් ගන්නවද කියල හිතා ගන්න බැරිව හිටියෙ. ගිය අවුරුද්දෙ බෙල්ලෙ බැද ගන්න කියලා ටයි එකකුයි ඒකට ගහන කටු පෙට්ටියකුයි තමයි අරන් දුන්නෙ.මේ පාර මොකක් අරන් දෙන්නද මංද? ඔහොම හිත හිත දවස් ගානක් ඉද්දි තමා මතක් උනේ අයියාට මං ඔරලෝසුවක් ණයයි කියලා. මං එයාගේ ඔරලෝසුව කැඩුවානෙ. ඒත් ඉතින් සල්ලි නෙ ඊලග ප්‍රශ්නෙ..

මං තාම රස්සාවක් කියල එකක් කොරන්නෙත් නෑනේ. මං චන්ඩියා වගේ වෙනදට වියදං කරන්න හදන්නේ ඉතින් මට ගෙදරින් වගේම නෑදෑ වෙන අයියලා අක්කලා දෙන සල්ලි තමා. කොයි හරි ගිහින් මුකුත් ගන්න ගියත්, ආසාවටවත් මට වියදං කරන්න දෙන්නෙ නෑ අයියා. ඒකට අපේ අක්කිල දෙන්න. ඒ වෙලේට අරං දෙනවා. ඊටපස්සෙ එයාලගෙ යාලුවන්ට, අපේ නෑදෑයො ගෙදර ආවම එයාලාට  කියන්නෙ මෙහෙමයි.
"අපෝ මෙයාට අරක අරං දුන්නෙ මං අර කඩෙන්, මේක අරන් දුන්නෙ මං... කොහෙවත් ගියොත් ඉවරයි මෙයාගෙන් බේරෙන්න බෑ අනේ.. "

මාත් එක්ක තරහා ගියාම මට කියන්නෙ මෙහෙම.
"තමුසෙට පිනට හම්බෙනවනෙ හැමදේම.. නෑ කියද්දි කියන පරක්කුවට අරන් දෙනව නෙ ඔක්කොම.. එහෙම වෙලත් අපිටමයි පව් දෙන්නෙ.. මහ කරුමයක්"

ඒත් මං මොනාහරි මගේ ගානෙ ගන්න ගියත් අයියා කියන්නෙ
"හා හා පන්ඩිත ආච්චි වෙන්නෙ නැතිව ඕක තියාගන්නවා.. ඔයා රස්සාවල් කරන්නෙ නෑනේ වියදං කරන්න. ඔයා ඉතුරු කරගත්ත සල්ලි තියාගන්න යලුවෝ එක්ක යද්දි හරි තනියම යද්දි හරි වියමට. අයියා එක්ක යද්දි නංගිලා සල්ලි වියදං කරන්නෙ නෑ හලෝ.."

"අනේ අයියා ඔයා හැමදාම ගන්නවනේ.. හැම එකටම ඔයානෙ වියදම් කරන්නෙ.. අනේ අද විතරක් මං ගන්නම්කො.. හොද අයියා නේ.. මං ලග සල්ලි තියෙනවනෙ අම්මා දීපු කීයක්වත් වියදං  වුනේ නෑ අද...."

"මගෙන් අහගන්න එපා දැන්. කිව්වම අහලා ඔය සල්ලි ඔයා ලගම තියාගන්න. ඔයා කවදාහරි ඔයාගෙම මහංසියෙන් දෙයක් හම්බ කරපු දවසට මට අරං දෙන්නකො මොනාහරි.. හරිද පැහිච්ච ආච්චියේ "

ඉතින් එහෙමත් කරන අයියට හොද තෑග්ගක් අරං දෙන්න එපැයි. එහෙමයි කියලා කොහෙද මට මං හම්බ කරන සල්ලි.. අයියා මං මොනාම හරි ගන්න හැදුවත් කියන්නෙ "ඔයා හම්බ කරපු දවසට මටත් එක්ක අරං දෙන්නකො." දවස් ගානක් තිස්සේ මගෙ ඔලුවෙ වද දුන්නෙ ඔය කතාව.  ඒ අස්සෙ තමයි දේවතාවියක් වගේ මගේ යාලුවෙක්, හදන්න කියලා භාරගත්ත ප්‍රොජෙක්ට් එකක්, හදන්න වෙලා නෑ කියල මට කතාකරල හදලා දෙන්න පුලුවන් ද ඇහුවෙ.  ඒකට හම්බෙන ගාන මට දෙන්නම් කියලත් කිව්වා. ඒ යාලුවා දැනන් හිටියා කොහොමත් මං හිටපු ප්‍රශ්නෙත්. ඒ නිසාම වෙන්න ඇති ඒ වැඩේ මටම දුන්නෙ. ඒ වැඩේ ඉවර කරාම මට හම්බුනා 4,500. ඔය සල්ලිත් එක්ක මං හිතුවා දැන් ප්‍රශ්න ඔක්කොම හරි කියලා.

තව ටිකෙන් කියන්න අමතක වෙනවා. මේ චතාරික කාලේ නෙ. ( ජේසු මැරුන දවසට කලින් දවස් 40 ක කාලය සලකන්නෙ චතාරික කාලය කියලා. මේ කාලෙට ජේසු දුක් විදපු එක සිහි කරනවා.. එක්වරු ශීලය රකිනවා.. ) ඉතින් අයියා කලින්ම කිව්වා උපන්දිනේට මුකුත් කරන්නෙ නෑ කියලා. ඒත් එහෙමයි කියල අවුරුද්දට එක පාරක් එන මගෙ අයියාගෙ උපන්දිනේ එහෙම අත ඇරල දාන්න බෑනෙ. ඉතින් මං හිතුවා ලොකුවට නෙමෙයි පොඩියට.. ශේප් එකේ තෑග්ගත් එක්කම පුංචි කේක් එකක් ගන්නව කියලා.

ඉතින් අර කිව්වා වගේ මං හවස ගියා සල්ලිත් අරගෙන තෑගි හොයන්න. ඔහොම යද්දි සදූ හොද ප්‍රසිද්ද සාප්පු සංකීරනයක හොද ඔරලෝසු තියනවා. ගානත් ශේප් කියලා. මාත් පැනපු ගමන් කිව්වා එහෙනම් එහෙ යන් කියලා.. චන්ඩියෝ වගේ ගියාට මොකෝ ඒ පැත්තෙ පාරවල් දන්නෙත් නෑ. මං ඉතින් ජීවිතේට තනියම ගිහින් නෑ ඔය කියපු තැනට. ගෙදර කට්ටිය එක්කයි නෑදෑ පරම්පරාව එක්කයි ගිහින් තිබ්බට ඉතින් ඒ වෙලෙට පාරවල් බල බල යනවයෑ. එහෙම යන වෙලේට බස් එකේ යෑවෙන්නෙත් නැති නිසා බහින්න ඔනේ තැන හරියට දන්නෙ නෑ.  බන්ඩ කොළඹ ආවත් ඔය කියන තැනට යන්න දන්නවා මං හිතන්නෙ. ලැජ්ජාවයි අපි දෙන්න හෝල්ට් 2කට කලින් බැස්සා නෙ. මොනා කරන්නද ඉතින් ඊටපස්සෙ ඔය කියන තැන හම්බෙනකන් කට්ට අව්වෙ පිච්චි පිච්චි ඇවිදන් ගියා.. එහෙම යනකොට එක තැනක හතරමං හන්දියක් වගේ තිබුනා.. ඉතින් අපි හොදට පාර එහෙම බලලා අනිත් පැත්තට යන්න හදුවෙ.. පාර මාරුවෙන ගමන් මගක් ගියාමයි ක්ලික් උනේ  අපි හතරමං හන්දියක් කියල හිතුවට ඒක තුන්මං හන්දියක් කියලා. අපි හොදට පාරෙ වාහන නවත්තලා තියෙන්නෙ කියල හිතාගෙන පරිස්සමට පාර පනිනවා කියල හිතුවට අපි ඇත්තටම පාර පැනලා නෑ.. එතන තිබිලා තියෙන්නෙ කාර් පාර්ක් එකක්. හොද වෙලේට දන්න කියන එකෙක් දැක්කෙ නෑ අපි වම බලා දකුන බලා නැවතත් වම බලා පාර පනිනව වගේ කාර් පාර්ක් එකක් අස්සෙන් ඇවිදන් යනවා.

ඔන්න ඉතින් කොහොම කොහොම හරි ගියා කියමුකෝ.. ඒ ගිහින් දැන් අපි ඔරලෝසු බලනවා.. මාත් ඉතින් අතේ 4 500 ක් තියෙන නිසා ආයේ නෑ බය නැතිව ගියා ඇතුලට තියෙන හොදම එක ගන්නව කියලා.. හෆ්ෆා.. ඇඩෙනවා.. මෙන්න බොලේ වෙලාව බලන ඔරලෝසු 80 000, 57 000, 60 000 මට ඉන්න තැනත් අමතක උනා. ඇයි අප්පා අපේ ඔරලෝසු එහෙම ගනන් නෑ නෙ.. ලේඩීස්  ඔරලෝසුවක් ගන්න පුලුවන්  2000 ක් විතර වෙද්දි හොද එකක්.. අතන තිබුන අඩුම ඔරලෝසුව 26 450 හැරෙන තෑපෑලෙන් එලියට ආවා.. දෙයියනේ මේ මොන මංගල්ලයක්ද?? දැන් මොකෝ කරන්නෙ? තව තැනකට යමු කියලා මං සදූවත් ඇදන් තව ඔරලෝසු කඩේකට ගියා..  ඒකෙත් වැඩි වෙනසක් නෑ.. තව එකකට ගියා.. එතන නම් යන්තම් 5000 ගනන් වලට තිබුනා ඔරලෝසු.. එතන තව 4000 ගනන් වලටත් තිබුනා.

ඒත් ඉතින් තියෙන අඩුම එක ගන්නත් හිතට හරි නෑ..  ඔන්න යන්තම් කඩේ හිටපු කෙනාට බටර් ගාලා ගාලා තියෙන ඩිස්කවුන්ට් ඔක්කොම දාගෙන යන්තම් 5 900 ගානක එකක්  4 750 කට ගන්න කැමති කරගත්තා. ඒ මනුස්සයාටත් අපේ වදේ නිසාම ඒ ගානට දෙන්න කැමති වෙන්න ඇති.
"මිස් ඔය තරමට කියද්දි බෑ කියන්න බැරි  නිසා ඔය ගානට දෙනවා. නැත්තම් ඔය ගානට දෙන එක පාඩුයි මිස්"

එහෙම කිව්වාමත් පස්සෙයි මං කිව්වෙ "මේ  ඔරලෝසුව නම් කාටවත් දෙන්න එපා.. අපි විනාඩි 15 න් ආයෙ එනවා.."     
මිනිහා ගේ මූන බලන් ඉද්දි රතු උනා.. ඇයි හත්තිලව්වේ අච්චර කන් කෙදිරි ගාල ගාන අඩු කරගෙන එහෙම කිව්වම.. මෑන් වෙන මුකුත් කියන්න කලින් සදූ මාවත් ඇදගෙන එලියට දිව්වා. සදූ හොදටම දන්නවා මට ප්‍රොජෙක්ට් එක ට හම්බුනේ  4 500 කියලා. බෑග් එකේ තව 200 ගානක් තිබුනා. ඔනේ නම් මදි පාඩුවට සදූගෙන් ඉල්ලගන්නත් තිබ්බා. ඒත් ඔනෙ උනේ මට මං මන්සියෙන් හම්බකරපු සල්ලි වලින් විතරක් අයියාට දෙයක් ගන්න.  ඒ නිසා සදූ ත් අවුල් වෙලා මේ විනාඩි 15 න් කොහෙන් සල්ලි හොයන්නද කියලා. ඒත්  මට අර කඩේ දි දෙයක් මතක් උනා.. අපි ඉගෙන ගත්ත පන්තියෙ පොඩි අමුතු වැඩ පිලිවලක් තිබුනා.. පොතක ලියලා තියෙනවා එදා දවසෙ කෙරෙන්න ඔනේ වැඩ ටික. ඒවා කැමති කෙනෙක්ට කරන්න පුලුවන් ඔනෙ නම්.. ඒ ඒ වැඩේට අදාලව මුදලක් නියම කරලා තියෙනවා. ඒ මුදල ඒ වැඩේ කරන කෙනාට ලබා ගන්න පුලුවන්.  අන්න ඒක මතක් වෙලායි මං අර කඩේ මනුස්සයට කිව්වෙ අපි එනකන් ඒක තියාගන්න කියලා. ඉතින් ඔය කතාව සදූට කිව්වම සදූ නම් කලේ පන්තිය ගාවට යනකන්ම මට බැනපු එක. "ගෙදරින් දන්නවනම් ඔයාව මරයි පිස්සු නටන්න එපා. සල්ලි තියාගෙන ඇයි මේ ඔහොම කරන්නෙ? " ඒ වෙලේ ඒ දේවල් අහන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. අයියා එන්න කලින් තෑග්ග අරන් ගෙදර යන්න ඕනේ.

මං පුලුවන් තරම් ඉක්මන්ට පන්තිය ගාවට ගිහින් පොත අරන් බැලුවා. එකේ තිබුන ගොඩක් වැඩ ඒ වෙද්දිත් කරල ඉවර වෙලා තිබුනෙ.. මට කරන්න පුලුවන් වැඩ ටික කරන්න ගත්තා මං ඉක්මන්ට. ස්ටාෆ් රූම් එක අස් කරන එක නම් ඒ තරම් අවුලක් නෑ. ඒත් කාර්පට් දාපු හරිය හූවර් කරන්න උනා.. මට ටිකක් වීස් ගතිය තියෙන නිසා දූවිලි ඇවිස්සෙද්දි අමාරුයි. පුස්ථකාලෙ වහලා දාල තිබුන පරන පොත් තියෙන හරිය අස් කරන්න උන එක තමා ගොඩක්ම.  එතන දූවිලි එකයි. ඒ රාක්ක පිහිදාන්න ගිහින් පිපිරිච්ච වීදුරුවකට මගෙ අතත් කැපුනා. අන්තිමට කොහොම හරි මට 500ක් හම්බුනා. ඒකත් අරන් ආයෙ ඔරලෝසුව ගන්න එද්දි ඒ මනුස්සයා ඒක වෙන කෙනෙක්ට විකුනලා..

"ඒ ඔරලොසුව අනිත් එක්කෙන වෙන කෙනෙක්ට විකුණලා මිස් සොරි මිස් මං ටිකකට එලියට ගිහින් හිටියෙ අනික මිස් එනවා කියපු වෙලාවත් පැන්නනෙ.. "

ඒ මනුස්සයා ඔය ටික කිව්වා විදිහට මගෙ ඇස් දෙකට කදුලුත් ආවා. මේතරම් කට්ටක් කාලා අයියාට ඔරලෝසුව ගන්න එද්දි ඒක නෑ, දැන් කොහෙන්ද තෑගි හොයන්නෙ? දැනටත් පරක්කුයි.

ඒ මනුස්සයා බය වෙන්න ඇති කලින් පාර හොදට හිටපු කෙල්ල දැන් එද්දි අතත් තුවාල කරගෙන..  නහයත් ජම්බු ගෙඩියක් වගේ වෙලා... ඇයි ඉතින් වීස් ඇවිස්සුන නෙ

"මිස් ඊට වඩා හොද ඔරලෝසුවක් දෙන්නම් මිස් අඩු කරලා.. මං ඉස්සෙල්ලම පෙන්නුවෙ මේ 6000 ගානේ එක ඒක ගන්න මිස් කලින් ගානටම, අජෙස්මෙන්ට් එකක් තියෙනව නම් ගේන්න මිස් මෙහෙටම අපි ෆ්‍රී කරලා දෙනවා.. සොරි මිස් මේ තරම් ලොකුවට අවුල් වෙන්න නම් ඔරලෝසුව පිටිපස්සෙ ලොකු කතාවක් ඇතිනෙ. ඔන්න මිස් කලින් කියපු ගානටත් වඩා අඩු කරා"

අන්තිමට ඔරලෝසුව හම්බුනා 4 200 ගානකට.. තෑගි ඔතන කොල වලටයි... ඉටිපන්දම් වලටයි තව තෑග්ග දාල දෙන්න පුංචි ලස්සන බෑග් එකකුයි ගන්නත් හිතුවට වඩා වියදන් උනා. ඊට පස්සෙ දිව්ව ආයෙ කේක් හොයන්න..  කේක් ගන්න ගියෙ ටුක් ටුක් එකක මොකද ඒ වෙද්දිත් හොදටම පරක්කුයි. ඉතින් එතනත් වියදන් උනා..  සදූ දවල්ට කාලත් නෙමෙයි හිටියෙ.. මං නිසා එයා දවසම රස්තියාදුව.. ඒ නිසා කෑම එකක් සදූට බලෙන්ම අරන් දුන්නා. ඉතින් ඔය ඔක්කොම ඉවර උනාම කේක් එකක් ගන්න තරම් සල්ලි ඉතුරු වුනෙත් නෑ. ඒ නිසා චූටි කප් කේක් එකක් අරන් සදූවත් බස් එකට දාලා මාත් බස් එකේ නැග්ගා..
අනේ අපොයි උපන්දින තෑග්ගක් ගන්න දහ දුක් වින්දා මං

කෝම කෝම හරි අමාරුවෙන් ගත්ත තෑග්ග අයියාට දුන්නාම මට දැනිච්ච සතුට ඔක්කොටම වැඩී.. අයියාට එහෙන් මෙහෙන් විස්තර කියද්දි තෑග්ග ගැන අයියා ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉදලා, මෙහෙම කියද්දි මගෙ අයියාට ඒ අරන් දුන්න තෑග්ගත් මදි කියල හිතෙන්නෙ මට.

"පිස්සු කෙල්ල. ඔය තරම් දැඟලුවෙ ඇයි මට තෑගි හොයන්න? මගෙ නංගියා මට මොනා දුන්නත් වටිනවා මට.. "
අයියාට වැඩි පුරම හිත ගියෙ එයාට ගෙනාපු චූටි කප් කේක් එකටයි එකෙ උඩට ගහන්න ගත්ත චූටි ඉටිපන්දමටයි.. මගෙ අයියා මහ පුදුම විදියට ජීවිතේ දිහා බලන කෙනෙක්..
අම්මත් කිව්වා තෑග්ග ලස්සනයි කියලා :)…

ප.ලි. අයියා ට කිව්වෙ ප්‍රොජෙක්ට් එක ගැනයි, පන්තියෙ වැඩකින් සල්ලි හොයා ගත්තයි කියලයි විතරයි.. එයාට තෑගි ගන්න මං දූවිලි අස්සෙ දැගලුව කතාව කිව්ව නම් මට ගුටි.. ඊටත් වඩා අයියා හිත රිඩෝගනී.. එතකොට මට පව් නෙ..

Thursday, March 15, 2012

සුභ උපන් දිනයක් වේවා!!

හරියටම අදට අවුරුදු 25කට කලින්, අද වගේ දවසක තමයි ඔයා මේ ලෝකට ඇවිත් තියෙන්නෙ. ඉතින් අද දවසෙ ඔයා ගන නොලියා කොහොමද මං?

ජිවිතේ හැම කරදරේ කදි ම, හැම ප්‍රශ්නෙකදි ම, දුකක දිම මගේ ලඟින්ම ඉඳන් මට …ජිවිතේ කියා දුන්නෙ වෙනින් කවුරුත් නෙමෙයි. ඒ ඔයා, මගෙ අයියා.

දන්න කාලෙ ඉඳන් මොනා හරි දෙයක් කරන්න ගිහින් අනාගත්තම, කවුරුහරි සැරෙන් වචනයක් කිවුවම, "ඔයාට බෑ චූටි, ඉන්න" කියලා කවුරු හරි කියද්දිත්, නෑ නෑ මට පුලුවන් කියලා මොකක් හරි දෙයක් කරන්න ගිහින් වරද්දගත්තම, අනේ අයියා කියලා ඔයාගෙ ලගට දුවන් එන්නෙ මං, දන්න නිසා කවදාවත් අනිත් අය වගේ බනින්නෙ නෑ කියල මට.. බැන්නත් අනිත් අය වගේ කෙන්තියෙන් වත්, මාව වදයක් කියලා හිතලා වත්, නෙමෙයි කියලා.ඒ නිසාමයි එහෙම අවුල් වෙන හැමවෙලේම මං මගෙ අයියා ගාවට යන්නෙ.. ඇස් වල කඳුලු පුරෝගෙන අයියාගෙ අතේ එල්ලෙන්නෙ හරියට පුංචි එකෙක් තාත්තගේ අතේ එල්ලෙනවා වගේ..
අනිත් හැමෝම එහෙම වෙලාවට

"අහකට යනවකො, මොන වදයක් ද මංද, මං සීරියස් වැඩක ඉන්නෙ, ඔයාගෙ විකාර අහන්න වෙලා නෑ මට"
"හොද වැඩේ පණ්ඩිත වැඩ කරනවට"
"චූටි දූ, ඔයාට අදාල වැඩක් නෙමෙයි නෙ කරල තියෙන්නෙ, බලන්න දැන් එක වැඩේ දෙක උනා"

"මට හරි අම්මට හරි කිව්ව නම් ඉවරනෙ චූටි දූ. දැන් යන්න කාමරේට."
"ඒ දේවල් ගැන ඔයා worry වෙන්න ඔනෙ නෑ. ඒව අපි බලාගන්නම්, ඔයා කියන ඩේ විතරක් කරන්න"
කියලා මාව හැමෝම එලවගනිද්දි, මං කියන දේවල් කවුරුත් ම ගනන් නොගනිද්ද, මොන වැඩේ තිබුනත්, ඒ හැමදේම පැත්තක තියලා මාව ලගින් ඉන්දවගෙන මගෙ අයියා කියන්නෙ

"ඇයි මගේ චන්ඩි කෙල්ලට කවුද මොනාද කියුවෙ? කෝ කියන්න බලන්න මට" කියලා

ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරිව අතේ අඟිලි ටික පටලවගෙන කල්පනා කරද්දි හිමින් සීරුවෙ මගෙ අත අල්ලගෙන
"මුල ඉදන්ම කියන්න මට මොකෝ උනේ කියලා ? ඔයා කියන්නම ඔනේ මට " කියලා මං යන්තම් වචනෙ දෙක ගැටගහගෙන කතාව කියලා ඉවර වෙනකන් අයියා  මගෙ කඳුලු පිහිදාන්නෙ මටත් නොතේරෙන්න. කොහොම ඔය තරමට මාව තෙරුම්ගන්නවද කියලා මට අදටත් හිතාගන්න බෑ අයියා.

"ඇයි අයියෙ හැමෝම මට බනින්නෙ? මං ඒතරමට නරකද?" මං ඉස්සර හැමදාම අයියාගෙන් අහනවා ඇස් වල කඳුලු පුරෝගන

"එහෙම නෑ පැටියො, ඔය විකාර දේවල් ඔලුවෙ දාගන්න එපා ඔයා..  ඔයා හුගක් හොදයි,  හැමදේටම අඩන්න එපා නංගියෝ, ඕවා නම් මොනාද? කෝ දැන් ඕක අමතක කරල දාන්නකො, අපෝ චූටි බබෙක් වගෙ නෙ,මගේ චන්ඩි නංගි නෙමෙයි ද ආ?
අයියා මගෙ කම්මුල හයියෙන් මිරිකන ගමන් එහෙම අහනවා මාව සනසගන්න ඔනේ නිසා.

ඔහොම කිව්වට මං බෙරි උනාම පුදුම වදයක් තියෙන්නෙ අයියාට, ඉතින් අයියා ලෝකෙ නැති බොරු කියලා තමයි මාව නළවගන්නෙ.

අයියා ට තමා මං හැමදේම කියන්නෙ. බැනුම් අහන්න හරි ගුටි කන්න හරි, කරන ගොං වැඩ ඔක්කොම කරලා අයියා ලගට ඇවිත් අකුරක් නෑර කියන්නෙ අයියා මාව තේරුම් ගන්නව කියලා මං  දන්න නිසා.. වෙලාවකට අයියා කියනවා "අපෝ ඔයාට අවුරුදු 21 උනාට හිතන පතන විදිය නම් අවුරුදු 12 පොඩි එකෙක් වගෙනෙ" කියලා... ඒ කතාවට මට කේන්ති යනව නම් තමා හරියට. අයියට පෙරලගෙන ගහනවත් එක්ක ඕක කිව්වම. ඒත් ඉතින් ඒක ඇත්ත තමයි. ජිවිතේ කිසි දේක බරක් පතලක් නෙ මට... හැමදේම කරන්නෙ අදටත් අයියගෙන් අහලා... ඉස්සරහටත් එහෙමයි.. ඒ මගෙ අයියා මටත් වඩා හොදට මං ගැන දන්න නිසා..

"මොන දේ උනත් ඔයාට ඔයාගෙ අයියා ඉන්නවනෙ නංගියෝ, ඉතින් ඔයා බය වෙන්නෙ නැතිව ඉන්න. ඔයා ඕනම වෙලේක ඕනම දෙයක් මට කියන්න. ඔයාට බනින්නෙ කෑගහන්නෙ නෑ නෙ මං.  ජීවිතේ ප්‍රශ්න එනව නංගි. ඒක තමයි ජීවිතේ කියන්නෙ, ප්‍රශ්න වලින් තමයි අපි ජීවිතේ ඉගෙන ගන්නෙ. ඕන ප්‍රශ්නයක් මට කියන්න ඔයා.  ප්‍රශ්න වලට තනියම උත්තර හොයන්න යන්න එපා නංගා . ඔයාට තාම ජිවිතේ තේරෙන්නෙ නෑ. ඔයා හිතන පතන විදියට නෙමෙයි හැමෝම හිතන්නෙ, ඒත් ඔයා බය වෙන්න එපා ඒකට. ඔයාගෙ හැම ප්‍රශ්නයකදිම ඔයාගෙ අයියා ඔයා ලගින්ම ඉන්නවා ඔයාගෙ හෙවනැල්ල වගේ. ඒ නිසා ටිකක්වත් බය වෙන්න එපා. " අයියා මට ජීවිතේ කියල දෙන්නෙ එහෙමයි.

ඉතින් මං අයියා කියලා කතා කරාට මට නම් හිතෙන්නෙ මගෙ අයියා වැරදිලා මනුස්සයෙක් වෙලා මේ ලෝකෙට ආපු දේව දූතයෙක් කියලා.. මං අයියාට කොයි තරම් වද දුන්නත් අයියා මට කේන්ති ගිහින් බැනලා නෑ කවමදාවත්, මේ ලගකදි මං අයියාගෙ ඔරලෝසුවත් කැඩුවා. අම්මෝ එදා නම් මං හිතුවා මට අයියා බනීමයි කියලා..  බයටම ඇඩුනා මට. ඒත් අයියා බනිනවා වෙනුවට කලේ බෙරි වෙලා හිටපු මගෙ කරට අතදාගෙන "මේ ඔරලොසුව කොහොමත් පරනයි හලෝ. අර  තව එකක් තියෙන්නෙ.. දැන් ඔයා අඩන එක නතරකරන්න ඔනේ.. නැත්තම් මං තරහ වෙනවා"  කියලා කියපු එක.. වැරදිලා  හරි මගෙ අතින් අක්කිගෙ ඔරලෝසුව කඩුන නම් එහෙම මං ඉවරයි. ඔරලෝසුවක් දකින දකින පාරට මට බනීවී.

ඉතින් මගෙ අයියාගෙ උපන් දිනේ දවසෙ අයියා ගැන ලියන්න හිතුවෙ අයියා මට ගොඩාරියක් වටින නිසායි... අයියාට මං ගොඩාරියක් ආදරේ නිසායි.. තව අයියා මට මගේ super hero  නිසායි..
මගෙ අයියාට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා මන් හදවතින්ම.. මගෙ අයියා ගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වෙන්න කියලත්, හැමදාමත් සතුටින් සැහල්ලුවෙන් ජීවත් වෙන්න ලැබේවා කියලත් ජේසුගෙන් ඉල්ලන ගමන් ම ස්තූති ප්‍රශංසා කරනව ජේසුට මට මේ වගේ අයියා කෙනෙක් දුන්නට!

දැන් යන්න ඕනේ අයියාගෙ සරපරයිස් party  එක ලෑස්ති කරන්න.. කියන්න එහෙම එපා ඕන්..

Wednesday, March 14, 2012

සමිතියටත් බැදුනා එහෙනම්

කාලෙකින් ලියන්න ආවේ. පහුගිය ටිකේ කරදර වගයක් තිබුනනෙ. ඊට පස්සෙ ඉතින් ලියන්න ගත්තට ඉවරකරගන්න බැරි උනා තාමවත්. ඒ නිසා භාගෙට ලියපු එක පැත්තකටම දාලා ඕං මං අලුතින්ම ලියන්න හිතුවා, පරණ කතාව පස්සෙ වෙලේක සම්පූර්ණ කරලා දාන්නම්කො. හරි එහෙනම් කතාවට යමුකො. මේක ඇත්තම ඇත්ත කතාවක්.  නම් ගම් එහෙම නම් ඕං මං දාගත්ත ඒවා.

පුංචි කාලෙ ඉදන් දහම් පාසලේ, පල්ලියෙ වැඩ එහෙම ආසාවෙන් කරපු නිසාම, සමිතියට බැදෙන්න කියලා හුගක් කට්ටිය නදූට කිව්වා. ඒත් ඉතින් දහම් පාසලෙන් අයින් වෙලත් දැන් හුගක් කල්, තරුණ සමිතියෙ ඉන්න අයව දන්නෙත් නෑ, නදුගෙ හිතේ ආසාවක් වගේම බයකුත් තිබුනා. ඒ නිසාමයි මේ සමිතිය පටන් ගන්න දවස හොදටම දැනන් ඉදලත් නදූ ඒ පැත්තෙවත් ගියෙ නැත්තෙ. ඒත් අහම්බෙන් දවසක් නදූ ට දහම් පාසලේ 11 වසරෙ එයාට උගන්නපු ගුරුවරය හම්බුනා. ඉතින් නදූ ට පාර මැද්දෙ ටිකක් සැර දාල එහෙම සර් කියුවෙ මෙහෙම කතාවක්..
…"මුකුත් කියන්න එන්න එපා. නොදන්න අය කියල යක්කු නෙමෙයිනෙ ඉන්නෙ. අනික ඔයාලගෙ වයසෙ කට්ටිය ඔන තරම් ඉන්නවා. දහම් පාසලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාව නේද? මටත් එක්ක ලැජ්ජයි. ඔයාගෙ මල්ලි කෙනෙකුත් ඉන්නෙ සම්තියෙ. එක්කො තරුණ සමිතියට යන්න, නැත්තම් දහම් පාසලේ උගන්නන්න එන්න" කියලා

…ඒ ටික අහුවම නම් නදූ හොදටම අවුල් උනා. මොකද දහම් පාසලේ උගන්නනවා කියන්නෙ නම් කොහොමටවත් ලේසි වැඩක් නෙමේ නදූට. ඔක්කොටම වඩා සාරි ඇදන් ඉන්න එපැයි. හපොයි දෙයියනේ දැන් මොකද කරන්නෙ? තරුණ සමිතියට යන්න නම් ඇත්තටම ආසයි. දන්න කට්ටිය ඉන්නව නම් බයක් නෑ, සර් කිව්වත් වගේ මල්ලිත් ඉන්නව නම් කොහොමත් බයක් නෑ නෙ. අහල බලන්න ඔනේ කියල නදූ මල්ලි ට කතා කරා. මල්ලිගෙන් අහපු වෙලේ ඉදන් මල්ලිත් නදූ ට කිව්වෙ සමිතියට එන්න කියලා. මේ කාලෙ නදූ ටත් වස කම්මැලි ගෙදර ඉන්න. විභාගෙ ඉවර කරල ගෙදර ඉන්න කාලේ නෙ.

…... ඔන්න ඔහෙ කොකටත් කියලා ගිහින් ම බලනවා .. හිතට ඇල්ලුවොත් දිගටම යනවා. නැත්තම් අල්ලල දානවා..

නදූ එහෙම හිතලා ඔන්න සෙනසුරාදා හවස 4.30 ට විතර මේ යන්න ලෑස්තිය. නදූ කලින්ම මල්ලිට කියල තිබුනා එයා එනකන් එලියට වෙලා ඉන්න කියලා. නදූ දැන් බයෙන් බයෙන් පල්ලිය වත්තට ඇතුළු වුනා. ඉන්නව කියපු තැන මල්ලි නෑ නෙ. කවුදෝ උස මහත අයියා කෙනෙක් නම් ඉන්නව. නදූ ට ටිකක් බය හිතුනා. ඉතින් නදූ එ හරියට යන්නෙ නැතිව ගෙට්ටුව ලගට වෙලා මල්ලි එනකන් බලන් හිටියා. නදූ ට ටිකක් බය හිතුනා. ඉතින් නදූ ඒ  හරියට යන්නෙ නැතිව ගෙට්ටුව ලගට වෙලා මල්ලි එනකන් බලන් හිටියා.
…ඒ ඉන්න ගමන් අර රැස්වීම පවත්තනව කියපු තැන හිටන් හිටපු උස මහත ඇඟ පත තියෙන අයියා දිහා ත් ටිකක් බලුවා. ඒ වෙලේ ඒ මනුස්සයා හිටියෙ හරියට ඉස්කොලේ දි march past එක පුහුණු කරවන්න එන හමුදා නිලධාරින් වගේ පහසුවෙන් හිටගෙන, ඔලුව හරි කෙලින්, කොන්ඩෙත් කොටටම කපලා,
නදූ වෙලාව බැලුවා.

..5ටත් ලඟයි. කෝ කවුරුත්ම නෑ. මේ මනුස්සයත් තරුණ සමිතියෙ ද දන්නෙ නෑ. .. අනෙ අම්මෝ වරදිලාවත් මේ අයියා තරුණ සමිතියෙ උනොත් එහෙම අනේ මං නම් එන්නෙ නෑ.  මහ කලු සිංහලයා වගෙ නෙ අප්පා. මූනෙ හිනා පොදක් නෑ. දැක්කම බය හිතෙනවා... අනේ මේ මල්ලිට වෙලාවට එන්න බරි හැටියක්.. නදූ ට ගෙට්ටුව ලගින් මල්ලි ගෙ රූපෙ යාන්තමට පේනකන් ම නදූ හිටියෙ ඔය වගේ හිතුවිලි එක්ක.

මල්ලිව දැකල තමයි නදූට යන්තම් ඇඟට ලේ පොදක් ඉනුවෙ. මල්ලිත් ඈත තියාම හිනාවක් දාගනම ඇවිත් .. "මොකෝ අක්කෙ මෙතන ඉන්නෙ.. යමු යමු.. තාම කට්ටිය නම් නෑ වගේ.. අපි hall  එක ලගට යමු.. මොකෝ මේ බය වෙලා වගේ. යමු අක්කි.. " කියගෙන මල්ලි ඉස්සර උනා.

"…අනේ මල්ලි අර අතන ඉන්නෙ කවුද? hall එක ලග ඉන්නෙ? එයත් තරුණ සමිතියෙ අයියෙක් ද? .."නදූ මල්ලිගෙ පස්සෙන් ඒ අයියා හිටපු දිහාවටම යන ගමන් ඇහුවා.

"…ඔව් අක්කි. ඒ තමයි අකලංක අයියා.."
මල්ලි අර අයියා එක්ක හිනා වෙන ගමන් ම කිව්ව කාතවට නදූ හොදටම අවුල් උනා...
 "අක්කි, ඒ අයියා තමයි අක්කි අපේ සමිතියේ ප්‍රසිඩන්ට්"

දැන් නම් නදූට ගෙදර දුවන්නමයි හිත. නදූ ට ඒ මනුස්සය දැකපු වෙලේ ඉදන් තිබුනෙ බයක්. එහෙම එකේ ඒ වගෙ අයිය කෙනෙක් සභාපති නම් කොහොමත් එයා සැර ඇති කියල නදූට හිතුනා. නදූට ඔනෙ වුනෙ ගෙදර යන්න. ඒත් මල්ලි ගෙන් දැන් නම් නදූ ට බේරුමක් ඇත්තෙම නෑ, මල්ලි බලෙන්ම නදූව අකලංක අයියාට අදුන්වලා දුන්නා. නදූ නම් ලාවට හිනා වුනා මිසක් මූන දිහාවත් හරියට බැලුවෙ නෑ,. ඒත් ඒ අයියා නම් ටිකක් හොදට කතා කලා. කටහඩත් ටිකක් බර කටහඩක්. ඒ කියන්නෙ අනිවාර්යෙන් මේ අයියා වස ඇති. නදූට හිතුනෙම එහෙමයි. ඒ නදූ ගෙ හැටි. සමහර අය නදූට දැක්ක ගමන් හිතට අල්ලනවා. එහෙම අය එක්ක නදූ හුගක් සැහල්ලුවෙන් කතා කරලා හිනා වෙලා ඉන්නවා.. ඒත් කාටහරි බය හිතුනොත් එහෙම ඒ කෙනා ලග වචනයක් කියන්න අකුරු ගැටගහගන්නත් නදූ ට හරි අමාරුයි.

ඔන්න ඉතින් අනිත් අය එනකන් නදූට උනේ එතනට වෙලා ඉන්න. නදූ එතනම තිබුන කණුවට හේත්තු වුනේ අකලංක අයියව නොපෙනි ඉන්න ඔනේ නිසා, ඒත් අකලංක අයියා මල්ලි එක්ක කතා කරන ගමන් ම නදූ ගෙ පැත්ටටත් හැරිල විස්තර ටිකක් අහුවා, අකලංක අයියා අහන ප්‍රශ්න වලට යන්තමට වචනෙන් දෙකෙන් උත්තර දුන්නෙ නදූ බිම බලාගෙනමයි. අකලංක අයියා හිතන්න ඇති මහ ආඩම්බරකාර කෙල්ලෙක් කියලත්.

යන්තම් 5.30 ට ඔන්න මෙන්න තියල නදූ දන්න එයාලගෙම වයස, දහම් පාසලේ එකට ඉගෙන ගත්ත දනුක ත් එනවා ඒ පත්තට හිනා කටක් දාගෙන. එකම දහම් පාසලෙ හිටියත් දනුක එක්ක උනත් නදූ වචන 10 කට වඩා කතා කරල නැතිව ඇති. ඔය විදියට කට්ටිය එන්න ගත්තා දැන් පෝලිමට,,, ඔක්කොම 15 ක් විතර ඉන්න ඇති.  දැන් ලෑස්තිය සමිති රැස්වීම පටන් ගන්න. hall එක ඇතුලට එහෙම ගිහිල්ලා කට්ටිය පුටු ටික වටේට එහෙම හදලා ලෑස්ති වෙන අතරෙ නදූ බලුවෙ දන්න කියන කෙල්ලෙක් ඉන්නවද කියලා. ඒත් නදූ ගෙ අවාසනාවට එතන හිටපු එක කෙල්ලෙක්වත් මීට කලින් නදූ දැකලවත් නෑ. ඒ නිසාම නදූට හිටපු එකම ගැලවුම්කාරය මල්ලි. ඉතින් නදූ ගිහින් මල්ලි ලගම තියෙන පුටුව ගාවින් හිටගෙන මල්ලි දිහා බැලුවෙ ..
අනේ මල්ලියෝ මගේ ගාව ඉන්නකො... කියන්න වගේ.
ඒ බැල්ම තෙරුම් අරන් වගේ මල්ලිත් නදූ ලගින්ම ඉදගත්තා. මල්ලි ට කොහොමත් නදූ හිතන පතන විදිය ගැන තේරුමක් තියෙනවා ඉස්සර ඉදන්ම.

ඔන්න ඉතින් අකලංක අයියා පුංව් යාච්ඤාවක් එහෙම කියලා පටන් ගත්ත රැස්වීම. මේ සමිතියට නදූ විතරයි එදා දවසෙ අලුතින් ඇවිත් තිබුනෙ. කට්ටියටම ඇහෙන්න තමන් ගැන කියන්න කියල අකලංක අයියා කියුවෙ නැතැ හෙන ගහන්න වගේ. නදූ ට හීන් දාඩියත් දාලා. ඒත් ඉතින් බය පෙන්නනත් බෑනෙ.
නදූ යන්තම් ඔලුව උස්සල නම කිව්වා. ඊට පස්සෙ මොනාද කියන්නෙ හිතාගන්න බැරි නිසා ඉබේම නදූ ට අකලංක අයියා දිහාවෙ බැලුනා. ඒ වෙලේ නම් අකලංක අයියාට …නදූගෙ හිතේ තිබුන බය ගැන තෙරිලා වගේ

"බය වෙන්න එපා නංගි. අපිත් මෙතනට අලුත් තමයි. තාම මේ සමිතිය පටන් අරන් මාස 2ක් වගේනෙ, ඔය ඉස්කෝලෙන් out උන ගමන් නෙ. ඉස්කොලෙ නමයි ඉන්නෙ කොහොද කියලයි කියන්නකො".. හිනා වෙලා අකලංක අයියා කියපු විදියට නම් නදූ ට හිතුනා හිතපු තරම් යකා කලු නෑ කියලා.. ඒත් ඒ ටික දවසකට විතරයි. ඔන්න ඉතින් ඊට පස්සෙ සමිතියක් විදියට කරන්න යන්නෙ මොනාද කියලා තමා කතා උනේ. කට්ටිය කලින්ම කතා කරන් තිබුනා නත්තලට සුභ පැතුම් පත් හදලා විකුණමු කියලා.. වැඩියක්ම එහෙම දෙයක් කරමු කියලා කතා උනේ අරමුදල තර කර ගැනීමට වඩා සාමජික සමාජිකාවන්ගෙ සහොයෝගය තුලින් සහෝදරකම ගොඩනගා ගන්න කියල තමයි අකලංක අයියා කියුවෙ.

ඔය ගැන කතා කරන අතරෙ නදූ හිත හිත හිට්යෙ ඊලග සතියෙ නම් මේකට එන්නෙ නෑ. සර් කිව්වට මගෙ යාලුවොත් කව්රුත් නෑ... ඔය වගේ දේවල් එක්ක නදූ තීරනය කලා අයෙ නේන්න.

එතකොටම වගෙ නදූ එක්ක දහම්පාසලෙ එකම පන්තියෙ හිටිය අමා hall එකට ආවේ අනේ අද ටිකක් පරක්කු උනා අනේ කියාගෙන..  ආපු ගමන් අකලංක අයියා නෝන්ඩි හිනාවක් දාලා.. 
…"ආ ඇත්තද මැඩම්, කෝ දැන් දුන්න වැඩේ බලුවද?" කියලා අමා ගෙන අහුවා.

…"ඔව්, මං ඒ ටික බැලුවා. පොඩි ෆාදර් (පියතුමන්) ලැප් එක ගත්ත නම් ඔයාලට පෙන්නන්න පුලුවන් මං පෙන් එකට දාගෙනම ආවා.. design ගොඩක් තියෙනවා.. බලලා තෝරගන්න ඔනේ"... ඔහොම කියාගෙනම අමා  නැගිටලා ගියා පොඩි ෆාද(ර්) ගෙන් ලැප් එක ඉල්ලගෙන එන්න

ඒ අරන් ඇවිත් හදන්න යන සුභපැතුම් පත් වගයක් තමා පෙන්නුවෙ.
"එක එක කාර්ඩ් එක ක්‍රියේට්ව් අදහස් තියෙන අයට භාර දෙමු. එයාල කර්ඩ් හදන විදිය බලලා එක කර්ඩ් එකක් හදාගෙන අරන් ඇවිත් අනිත් අයට හදන විදිය කියලා දෙන්න ඔනෙ" කියල සම්මත උනා.  ඕන් ඊලගට එක එක කර්ඩ් එක එක එක ලමයට භාර දුන්න. "
මේක මාලි නංගි,
මේක ශේන්,
මෙ කර්ඩ් එක මිනෝ,,
ආනේ මේ නදූ ත් ඉන්නවනෙ.. නදූට ත් ලස්සනට චිත්‍ර අදින්න එහෙම පුලුවන් නෙ. ඉස්කෝලෝත් ඔය වැඩ වලට මෙයා හරි ෆේමස් නෙ අකලංක අයියා, මෙයාට මේ කර්ඩ් එක දෙමු"

අමා එහෙම කියාගෙන ඔන්න නදූවත් ඇදල දාගත්ත ඒ වැඩේට. නදූට බෑ කියන්නත් බෑ. කවදත් නදූට කවුරුහරි වැඩක් භාර දුන්නොත් ඒක නෑ බෑ කියලා කර අරින සිරිතක් තිබුනෙ නෑ. අනිත් එක පල්ලියෙ වැඩක් නිසා කොහොමත් ම බෑ කියන්න බෑ. ඔන්න ඔය විදියට සමිතියට ආයෙ එන්නෙ නෑ  කියල හිතපු නදූ  2010 නත්තල් ව්‍යාපෘතිය නිසා සමිතියෙ නිත්‍ය සම්මජිකාවක් වෙලා අදටත් ඉන්නවා.  

ප. ලි.
…මේ ආරම්භයක් විදියට කතාව වටාපිටාව ගැන සදහනක් විතරයි. මොකද ඉස්සරහට මේ ගැන කියන්න කතා ගොඩාක් තියෙන නිසා ඔයාලට මූලික දේවල් ටික දැනන් ඉන්න එක හොදයි කියලා හිතුනා. ඉතින් විස්තරෙ දිග වැඩිද මංදා.. අදහස කොටලම යන්නකො.

Thursday, February 16, 2012

ඉතින් අවසරද මට??










ඔය ඇස් දෙක, ඔය හිනාව,
හොරකම් කරගෙන මගෙ හිත
දාල යන්න ලෝබයි මට
හිත කියන්නෙ නවතින්නට..

ඔය හිත යට කොතැනක හරි
ආදරයෙන් පිරුන 
පරිස්සම් ඇති තැනක
උණුහුමට ගුලි කරන්
රකිනව නම් හැමදාම
සත්තමයි යන්නෙ නෑ
ඔය හිතින් කිසිදාක..  

ඉතින් අවසරද මට 
ඔය හිතේ නවතින්න?

Monday, January 16, 2012

සභාවෙන් අවසරයි!!

ඕන්න ඉතින් හා හා පුරා කියලා මගේ බ්ලොග් එකේ ලියන පලවෙනි පොස්ට් එක. ටිකක් බයත් හිතෙනවා. ආසවෙන් බ්ලොග් කියෙව්වාට මොකෝ, මං කවදාවත් මගේ නමින් කමෙන්ට් කරලවත් නෑ නේ.


කොහොම උනත් දැන් මටම කියලා බ්ලොග් එකක් තියෙන නිසා හිතට හිතෙන දේ නිදහසේ ලියන්න, ජීවිතේ කරපු කියපු දේවල් කියන්න, බයක් සැකක් නැතිව මට මම වෙලාම ඉන්න පුලුවන් නවාතැනක් ලැබුන වගේ.
දන්නෙ නෑ මං ලියන දේවල් කවුරුත් කියවාවිද කියලාවත්, කියෙව්ව්ට කැමති වේවිද කියලාවත්.
ඒත් මටම හිතිලා, මගේම කැමත්තෙන්, කාගෙවත් බල කිරීමක් නැතිව, කාගෙන්වත් අවසර ඉල්ලන්නෙ නැතිව පටන් ගත්ත එකම දේ මේක නිසා මේ බ්ලොග් එක මට ලෝකයක් වටිනවා.

ඉතින් මගේ පුංචි ලෝකෙට ඔයාල හැමෝවම ආදරයෙන් පිලිගන්නවා. වෙලාවක් තියෙනවා නම් මේ පැත්තෙ ඇවිත් යන්න..




ප.ලි. මේ හැමදේම අලුත් නිසා මට, වැරදි අඩුපාඩු දැක්කම කියලා දෙන්නත් අමතක කරන්න එපා.  කියවපු ඔයාලා හැමෝමලාටම බොහොම ස්තූති!!