Thursday, June 30, 2016

අයියයි මායි Vs අක්කා සහ හොල්මන with බල්ල



අම්මේ ගොඩ කාළෙකින් මේ මෙහෙම හරි ලියන්න වෙළාවක් හම්බුනේ.. මේ වගේ වෙළාවක ලියන්න දෙයක් හිතාගන්න බැරිව ඉද්දි කොච්චර මතක් කලත් අමතක වෙන්නෙ නැති,වැඩිපුරම මං කතා කරන්නම කැමතිම චරිතෙ ගැන ලියන්න හිතුනේ ඒ ගැන ලියද්දි කම්මැලි කමකුත් නෑ වගේම අමුතුවෙන් වචන ගලපන්න ඕනෙත් නැති නිසා.අනේ මංද ඉතින් පුංචි කාලෙ කරපු පිස්සු වැඩ..







ඒ කාළෙ සිද්ද වෙච්ච කතාවක් මේ..
නියම වීරයෙක් ගැනයි කියන්නෙ..
අස්සයෙක් වගේ එයා ගමන් යයි..
එයාට මං නම් කිව්වෙ අයියා මගෙ

අසාදරණේ මෙයාට පෙන්නන්න බෑ
"ඇයි එයාට අසාදාරණේ පෙන්නන්න බැරි?
එහෙම තමයි අක්කාගෙන් ගුටි කන කොලු පැටව්..

ඕ යෙස්..
අපේ අයියා චූටි කොලු පැටිය කාලෙ අක්කගෙන් සෑහෙන්න ගුටි කනවා. ඇයි මම.. මාත් එහෙමම තමයි.. ඒත් අපි ඉවසීමෙන් ඒ හැම අසාධාරනයක්ම දරාගෙන හිටියා අපිත් තුත්තක් විතර ලොකු වෙනකන්.. ඒ කිව්වෙ ඉතින් අපේ අයියා මොට්ටතෝලි යන පොඩි කොල්ලෙක් වෙච්චි මං යන්තම් දණ ගාන චූටි කෙල්ලෙක් වෙච්චි අපිට පුලුවන් ද ඉක්කෝලෙ යන ලොකු අක්කෙක් එක්ක තන්ඩු කලන්න? ඒ නිසා අපේ මොට්ටතෝලි අයියා ඉක්කෝලෙ යන අයියෙක් වෙලා මාත් මොට්ටතෝලි යන නංගියෙක් වෙනකන් ඉඳලා අපි දෙන්න එකතු වෙලා ඉක්කෝලෙ යන අක්ක අපිට කලපු කූර වැඩ වලට පලි ගන්න පටාන් ගත්ත. මුලින්ම අපි කලේ එයාගේ ඉක්කෝලෙ පොත් වල කුලුටු බලි ඇන්දා.. තව කේන්ති වැඩිම උනාම මං අක්කිගෙ චෝක් පෙට්ටියෙ චෝක් කෑලි හපල හපල තූ දානවලු. අපේ අයිය නම් ඉතින් අක්කිගෙ පොත් වල කොල කඩල රොකට් හදනවා. හැබැයි ඒ කාලෙ ඉදන්ම අයියයි මායි දෙන්න හරිම සාමයෙන් සමාදානෙන් හිටියෙ.






එයාගෙ සෙල්ලම් බඩු මං අරගන්නවා. එයාගෙ බිස්කට් මං කනවා. එතකොට අයියගෙ බත් එකේ බිත්තර තිබුනොත් මං ඒක කනවා. ගෙදර කේක් එහෙම ගෙනවාම මගේ කේක් කෑල්ල කාල ඉවර වෙනකොට අයියගෙ කේක් කෑල්ලෙ චුට්ටක් හරි ඉතුරු වෙලා තියෙනව නම් ඒකත් මං කනවා. ඒ වගේම තමයි මං කන්න කැමති නැති මගෙ පිඟානෙ තියෙන කෑම ඔක්කොම අම්ම එහ මෙහා වෙනකන් ඉදල අයියගෙ පිඟානට යනවා. උදාහරණයක් විදියට මිරිස් මාලු, මුරුංගා, කජු, දැල්ලො, පතෝල, අල, බීට් සහ තව ගොඩක් එළවලු, එතකොට අයිස්ක්‍රීම්, අයිස්චොක්ස්, රත් කෙසෙල්, ගස්ලබු වගේ දේවල් කන වෙලාවට අපේ අයියා මගේ ලඟින් හෙල්ලෙන්නෙ නෑ. මොකද ඒවා මං කන්නෙ නෑ වගේම අපේ අයියා කන්න ආසම කෑම, ඉතින් අපි සහජීවනයෙන් ජීවත් වුනා.

ඔන්න ඔහොම අපි ටික ටික ලොකු වුනා. ඒ කියන්න අපේ අක්කා උසස් පෙළ කරල ඉවර වෙළා ගෙදර ඉන්න කාලෙ අපේ අයියා සාමාන්‍ය පෙළ විභාගෙ ට ලෑස්ති වෙනවා. එතකොට මං අට වසරෙ නංගි බබෙක්. ඔය කාලෙ අපේ අක්ක හරි උනන්දුවෙන් බියුටි කචල් වැඩසටහන් බල බල ලස්සන වෙන්න නා න ප්‍රකාර වූ දේවල් කරන කාලෙ.. එකී මෙකී නොකී ක්‍රීම් ජාති ගෙනල්ල තියාගෙන මූනෙ උලනවා. තාත්ත අපිට කන්න ගේන යෝගට්, ගස්ලබු, අලිගැටපේර, පිපිඤ්ඤා, කැරට් වගේ කෑම ජාති අපි කටට දාගන්න හිතද්දි ඒවා අපේ අක්ක බ්ලෙන්ඩ් කරල තව එක එක එවුවා දාලා මූනෙ උලාගෙන ඉන්නව. ඉතින් ඉගෙනගන්න ළමයි වෙච්චි, මොළේ වර්ධනය වෙන්න කියල තාත්ත අමාරුවෙන් හම්බ කරල ගෙනල්ල දෙන කෑම ජාති මූණේ උලාගෙන රෑ තිස්සෙ අපේ අක්ක නිදාගත්තම ඒක සදාචාරසම්පන්නද මං අහන්නෙ?

ඉතින් අයියයි මායි උදේ ඉස්කෝලෙ යන්න පහ මාර වෙද්දි නැගිටිද්දිත් අපේ අක්ක සැපට නිදි. අයියයි මායි ඇදගෙන කරගෙන අක්කයි මායි සාමදානයෙන් නිදාගන්න කාමරේට රිංගලා එයාගෙ එකී මෙකී නොකී ක්‍රීම් ජාති ටික දිහාට ශ්‍රීමත් අඟුලුභවන් සහ කුමන පුත්‍ර වගේ හොරෙන් හොරෙන් ලඟා වෙනවා මගෙ අම්මෝ අපේ අක්ක ඒ කාලෙ මූණට ගාන්න වෙනම අතේ පයේ ගාන්න වෙනම නියපොතු වල උලන්න වෙනම මොකද්ද එකක්, රෑට නිදාගද්දි දාන වෙන වෙන ජාති , දෙයියනෙ ඕව ඔක්කොම වෙන වෙනම අරගෙන උලන්න වෙලා නැති නිසා මං නම් කරන්නෙ සුවදටම තිබුන සුදු පාට ක්‍රීම් එක මූනෙයි අත් දෙකෙයි උලාගන්න එක, අපේ අයිය නම් අතට අහුවෙන ඔක්කොම ක්‍රීම් ජාති ටික අල්ලට දාගෙන කලවන් කරල මූනෙ ගානව.. ඊටපස්සෙ ඉතින් එයාගෙම පර්ෆියුම් එක අයියයි මායි දෙන්නම දාගන්නවා.ඉස්කෝලෙ යන කාලෙ නිසා අපිට එක එක ක්‍රීම් ජාති සහ පර්ෆියුම්  වැඩ වලට මව් තුමියගෙන් අවසර තිබුනෙත් නෑ.. කොහෙහරි ගමනක් යනකොට පර්ෆියුම් දැම්මට අම්ම ගාව තමයි තියෙන්නෙ. ඉස්කෝලෙ යද්දි දාන්න සම්පූර්ණ තහනම්. ඒ වෙනුවට අපිට දීල තිබුනෙ ජොන්සන්ස් බේබි ඕඩිකලෝන්. ( ඒ දවස් වල අයියට ගෑනු ළමයින්ගෙ සෙන්ට් කියලා ගානක් තිබුනෙ නෑ). ඉස්සර තාත්ත අපි තුන් දෙනාවම උදේට ඉස්කෝලෙ දාගෙන තමයි යන්නෙ. අයිය  ඒ ලෙවල් කරන කාලෙ වෙද්දි අයියයි මායි තනියම බස් එකේ ගියා. ඉතින් අක්කගෙ ක්‍රීම් ගාගෙන අපි අම්මට තාත්තට වැදලා තාත්ත ත් එළියට බැහැල වාහනේ එළියට ගන්නකං ඉදල අපේ අයියා  කාමරෙ ගාවට ගිහින්  කාමරේ දොර දඩෝන් ගාල සද්දෙට වදින්න වහනවා. ඒ සද්දෙට අපේ අක්කිගෙ සැප නින්ද කැඩිල එයා කාමරෙන් එළියට එද්දි බලන්න ලස්සනයි මූන පුරා එක එක දවසට එක එක පාට මොකක් හරි මලදානයක් උලාගෙන කොන්ඩෙත් කඩාගෙන එළියට එන විදිය. අපි දෙන්න සංතෝසෙටද බයටද මංදා කෑගහගෙන දුවල ගිහින් වාහනෙට පැන ගන්නවා. මොකද නැත්තම් අපි දෙන්නට කන්න වෙනවා නෙ.


 පස්සෙ පස්සෙ අපේ අක්කගෙ ක්‍රීම් බෝතල් වහද්දි අපේ ගොන් වහන්සේ මූඩි මාරු කරල වහල වැඩේ අහු වුනා. ඊට පස්සෙ අපේ අක්කි එයාගෙ ක්‍රීම් බෝතල් කොහෙ හැන්ගුවද දන්නෙ නෑ. අපි දෙන්නත් එක්ක එකතු වෙලා සෑහෙන්න මහන්සි වුනා එයා ගෙදර නැති වෙළාවට ඒව හොයාගන්න. ඒත් කියන්න කණගාටුයි අපිට ඒව හොයා ගනන්ව තියා හිස් ක්‍රීම් බෝතලයක්වත් හොයාගන්න හමබවුනෙ නෑ. ඕ යෙස්..


මං සාමාන්‍ය පෙළ දක්වා කිසිම පෞද්ගලික පංතියකට සහභාගී නොවුන කෙනෙක්. මං ඒ වෙනකන්ම පාඩම් අහගත්තෙ අයියාගෙන්. එතකොට එයා සාමාන්‍ය පෙළ වෙනකන්ම පාඩම් ඉඟෙන ගත්තෙ අපේ අක්කගෙන්. අයියාගෙ අවාසනාවක මහත කියන්නෙ අපේ අක්ක පාඩම් උගන්වනවට වඩා කලේ අපේ අයියගෙ කණ මිරිකන එකයි ටොකු අයින එකයි. ඒත් අපේ අයිය නම් මට කවදාවත් එහෙම කරල නෑ. එතකොට මං දහය වසරෙ, ඒ කාලෙ අයියා උසස් පෙළ විභාගෙට රෑ නිදි මරාගෙන පාඩම් කරන කාළේ. ඉතින් අපේ තාත්ත කොල්ල රෑ නිදිමරාගෙන පාඩම් කරනව නෙ බඩගිනිත් එනවා ඇති නෙ කියල හිතල අපි දෙන්නගෙම ආසම බිස්කට් වර්ගය වෙච්ච ගෝල්ඩ් මාරි සහ චොක්ලට් බිස්කට් ලොකු පෙට්ටි දෙකක් ගෙනල්ල තියල තියෙනවා. රෑට අම්ම තේ හදලා ෆ්ලාස්ක් එකේ දාල තියනවා අයියට. මාත් ඉතින් ඒ දවස් වල හමදාම බාස්කට්බෝල් සහ බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර එන්නෙ හවස් වෙලා නිසා ඇඟ පත හෝදල කාලා බීල ඉස්කෝලෙ වැඩ පටන් ගන්නෙ අටට විතර. ඉතින් කොහොමත් එකොළහ විතර වෙනකන් වැඩ කෙරෙනව. සාලෙ මේසෙ උඩ හතර වටේ පොත් වනාගෙන තමයි අපි පාඩම් කලේ. වැඩ වැඩි වුන දවසටයි විභාගෙ කාලෙටයි නම් තවත් රෑ වෙනකන් පාඩම් කරනවා. අයිය නම් කොහොමත් රෑ වෙනකන් පාඩම් කරනවා කියල තමයි හැමදාම ඉන්නෙ. ඒත් සතියට දවස් දෙකක් විතර තමයි එහෙම වෙන්නෙ.. :)

ඔන්න ඉතින් මේ කියන අවාසනාවන්ත දවසත් අපේ වාර විභාගෙ කාලෙ දවසක්. ඉතින් ඒ නිසා අයියයි මායි දෙන්නත් එක්කම පොතේ හැටියට රෑ වෙනකන් පාඩම් කරන්නව. ඒ වුනාට එදා පොඩි වෙනසක් තිබුන. අපේ අම්මයි තාත්තයි නුවර මාම කෙනෙක්ගෙ මළ ගෙදරක ගිහින් හිටියෙ. එනකොට රෑ වෙනව කියලත් අපි දන්න නිසා තුන් දෙනත් එක්කම කෑම කාල පුරුදු විදියට අපි දෙන්න  පාඩම් කරන ගත්තා. අක්ක ඉතින් ගෙදර චන්ඩිය නෙ අම්මල නැති වෙලාවට. මෙයා පොර වගේ අපි දෙන්නට ටොකු අයිනවයි පොත් බලනවයි එක විකාරයයි. මළ කරදරේ. මේ කෙහෙල්මල් කරදරේ ඉවසගන්න බැරිව ඉන්න අස්සෙ අපේ අයියගෙ ටිකිරි මොළේ ට අදහසක් අවා කියල මට තේරුනෙ අයියා ඇස් දෙක හීනි කරගෙන අක්ක දිහා  බලන් මේසෙට තට්ටු කරද්දි. සාමාන්‍යෙන් අපේ අයියන්ඩි කවුරු හරි දිහා එහෙම බලනවා කියන්නෙ හෙනම ලොකු කුමන්ත්‍රණයක් ප්ලෑන් කරනව කියන එක.



ඔය වෙළාවෙ අයියට හරි කෙලින් පුටුවෙ මං ඉදන් හිටියෙ. ඒ කියන්නෙ අපි දෙන්නගෙ මූණට මූන පෙන්න. අපේ සාලෙ මේසෙ අට දෙනෙක් ට ඉදගන්න පුලුවන් මේසයක්. එතකොට දිග පැති දෙකට පුටු තුන ගානෙ තියල අනිත් පැති දෙකේ තනි පුටු දෙක නෙ. ඔන්න ඔය කියන තනි පුටුවෙ තමයි අක්ක ඉදන් හිටියෙ. ඔහොම ඉන්න අතරෙ අයියා එක පාරටම පුටුවත් පෙරළගෙන නැගිටල  අක්කා ඉදන් හිටපු පුටුව පිටිපස්ස දිහා කටත් ඇරගෙන ඇස් පිය නොහෙලා බලන් ඉන්නව. ඒක දැක්ක ගමන් මාත් ඒ දිහා බැලුවට මට නම් මෙලෝ වෙනසක් පෙනුනේ නෑ. අක්කත් පිටිපස්ස බලල ආයෙ අයියා දිහා බලලා මොකද මේ? මේ විකාර නැතිව ඉඳගන්නවා. වැරදි කියද්දි ඉන්න බෑ නෙ නේද?" ඔහොම ඉන්නව කො අම්මා ආවම මන් කියන්න. බලනව මේ පොතක හැටි..කියල සුපුරුදු බණේ පටන් ගත්තා.  මොකද ඕ ලෙවල් වෙනකන් අයියගෙ පාඩම් වල වැරදි හෙවුවට ඒ ලෙවල් කරන්න ගත්තම පස්සෙ අක්කට අයියගෙ පාඩම් වල වැරදි හොයන්න බැරි වුනේ අක්කා වානිජ විශයන් කරපු කෙනෙක් නිසයි අයිය තෝරගත්තෙ ගණිත විශයන් නිසයි. ඒත් ඉතින් පුරුද්දට වගේ අඩු ගානෙ පොතේ පිටු කඩල හරි,  අකුරු කැතයි කියල හරි බනින එක අක්කගෙ පුරුද්දක් වෙලා තිබුනා.

අයියා ආයෙත් කිසි දෙයක් නොවුන ගානට ඉඳගන්න ගමන් අක්ක දිහයි මං දිහයි පුටුව පිටිපස්ස පැත්තයි මාරුවෙන් මාරුවට බලන ගමන් මෙන්න ගොත ගහනවා. " නෑ නෑ.. මුකුත් නෑ අක්කා, මේ නිකන්, මුකුත් නෑ.. " ඒ කීයපු විදිය නම් මටත් එච්චර ඇල්ලුවෙ නෑ. අක්කාගෙත් මූණ ටිකක් පුන්චි වුනා. ඒත් ඉතින් අයියවත් විස්වාස නැති නිසා අපි දෙන්නත් ඒක එතනින් අමතක කලා. ඒත් අපිට එහෙම කරන්න පුලුවන් වුනේ ටික වෙළාවකට විතරයි..

15 comments:

  1. Replies
    1. කතාව දිග වැඩි වුන නිසා ඉතිරිය තව කොටසකින් බලාපොරොත්තු වන්න. :)

      Delete
  2. සැපට හැදුන ළමයෙක්

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න බෑ.. අපිත් දුක් විදපු කාළයක් තිබුනා. තාත්ත ඇක්සිඩන්ට් වෙලා ඇවිදගන්න බැරිව හිටපු කාලෙ අපේ අම්මා අපිව හදාගන්න දහදුක් වින්දා. අනතුර වුනේ මං ඉපදෙන්න ඉන්නකොට. ආයෙ තාත්ත යතා තත්වයට පත් වුනේ මට අවුරුදු පහක් විතර වෙද්දි. ඒ වෙනකන් අපි දුක් වින්දා. ආයෙත් මං ඒ ලෙවල් කරන කාලෙ වෙද්දි තාත්තට හාට් ඇටෑක් එකක් ආවා.ඒ වෙනකන්ම තාත්ත තමයි ගෙදර හැමදේම බලලා අපිට අඩු පාඩුවක් නොවෙන්න හැමදේම බලාගත්තෙ.. දැන් ඒ වගකීම වැඩිපුරම දරන්නෙ අයියා.

      Delete
  3. සැපට හැදුන ළමයෙක් X 2

    ReplyDelete
    Replies
    1. එහෙමම නෑ. නැත්තෙත් නෑ, මොකද දුක් විදපු කාළයකුත් තිබුනා. අපිට වඩ අපේ අම්මා තාත්ත අසනීප වෙලා උන්නු අවුරුදු ගානෙම අපිට බරක් පතලක් නොතේරුනාට.

      Delete
  4. ඉතුරු ටික කෝ.

    ReplyDelete
    Replies
    1. ඉතිරිය ඉදිරි කොටසින් බලාපොරොත්තු වන්න..
      :)

      Delete
  5. ඉතුරු ටික නෑ ?

    ReplyDelete
    Replies
    1. නෑ නෙමෙයි තියනවා. ඊලඟ කොටසෙ..
      එක පාර දාන්න දිග වැඩී කියලා හිතුනා.

      Delete
  6. excellent. Post the rest soon.

    ReplyDelete
    Replies
    1. Thanks for your Comment. yep. almost posted the next part..

      Delete
  7. අලේ සන්තානම් මෑණියනේ කොහෙද ගිහිං හිටියේ???
    හිරු නිව්ස් එකෙන් සෙට් එකක් එවන්ඩ හිටියේ ගෙදරට,,,දවසේ වැරැද්දට නිව්ස් එකක් ගන්ඩ .....

    ReplyDelete