Thursday, May 10, 2012

ඇයි මෙහෙම හිතන්නෙ මට?

මට කවදාවත් බැරි වෙයි අනිත් අයට ගැලපෙන්න ඉන්න. හැමෝමලාම කියනවා වගේ මං වෙනස් තමයි. කොයි තරම් පිලිගන්න අකමැති උනත්  ඇත්ත තමා  කියලා මටත් දැන් තේරෙනවා. ඒත් එහෙමයි කියලා කොහොමද වෙනස් වෙන්නෙ? මේ මගේ හැටි නේ..

හිතට හිතෙන දේ කියනවා ඇරෙන්න කියන්න ඕනෙ දේ හිතන්න මට පුරුද්දක් නෑ. කාගෙවත් හිත රිද්දන්න බැරි කමට සමහර වෙලෙට කරබාගෙන හිටියට ඒ මෝඩ කමට නොතේරෙන කමට නෙමෙයි. කාවවත් රිද්දල සතුටු වෙන්න ආස නැති නිසා. ඒත් අනිත් අය හිතන්නෙ මෝඩ කම කියලා. කාටහරි කරදරයක් කියලා දැක්කොත්, නැත්තම් කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් ඒ වෙලාවට උදව් කරන්නෙ මනුස්ස කමට මිසක් වාසි බලාගනවත්, වෙන වැඩක් නැතිවටවත් නෙමෙයි මං. මට තේරෙනෙ නැත්තෙ සමහරු උදව් කරාම හිතන්නෙ මෙයා නම් ගොන් බදින කනුවක් ඕන වැඩක් කරගන්න පුලුවන් කියලා. එහෙම හිතනවා කියලා දැන දැනත් ආයෙම ඒ අයට උදව්වක් ඕනෙ කියුවම උදව් නොකර ඉන්න හිත හදාගන්න බෑරි ඇයිද කියලා මටම තේරෙන්නෙ නෑ.

අනිත් අය ලොකුවට හිතන ලොකු ප්‍රශ්න ගැන මට නිකමටවත් හිතෙන්නෙ නෑ. හරියට "මොනාද  ඉස්සරහට තියෙන ප්ලැන්ස්? job එක? එතකොට  ප්‍රොමෝශන්ස්?  පඩි  වැඩි කරගන්න විදිය? තියෙන වාහනයට වඩා හොද වාහනයක් ගන්න ඕනේ නේද?, මොනා හරි දෙයක් කරනකොට ඒ දේ අපිට තියෙන වැදගත් කමට වඩා අනිත් අය ඉස්සරහ ඒ දේ කරාම ලැබෙන තත්වය? සාමජය ඉස්සරහ නමක් හදාගන්න හැටි? වැඩක් කරලා එක දාගන්න විදිය, තමන්ගෙ හිතට ඇති හිතෙන කම් නැතිව අනිත් එකාට වඩා ඉස්සරහට යන්න ඕනෙ නේද? වගේ දේවල් ගැන නිකමටවත් මට හිතෙන්නෙ නෑ.

මට නම් වෙන මුකුත් ඔනෙ නෑ  මං ගොඩාක්ම ආදරේ කරන අය එක්ක සතුටින් ඉන්න තියෙනවා නම්,  ගේම් එකක් ගහලා, හිතට එන දෙයක් ලියලා දාලා, කතන්දර පොතක් කියවගෙන, අපේ ගෙවල් ලග ඉන්න පොඩි සෙට් එක වටකරගෙන මොනා හරි මැටි වැඩක් කරල හිනා වෙලා, සැහල්ලුවෙන් ඉන්න, නිවාඩු වෙලේට ගෙදර අය එක්ක බීච් එකේ රවුමක් දාල උනු උනු වඩේ ලූනු මිරිස් එක්ක කාල සබන් බෝල එකක් අරන් ගෙදර ඇවිත්  පැයක් විතර නාලා ඇදට වැටිලා කොට්ටෙ බදාගෙන නිදාගන්න තියෙනවා නම්

අම්ම පුටුවෙ ඉදගෙන T.V එක බලද්දි අම්ම ගාවබිම ඉදගෙන අම්මගෙ ඩොක්කුවට ඔලුව තියාගෙන අම්මට කියලා ඔලුව අතගාවගන්න, තත්තා කොයි හරි ගිහින් මොනා හරි අරන් ගෙදර ආවම තාත්තව බලෙන්ම පුටුවක ඉන්දවගෙන පුටු ඇන්දෙ ඉදගෙන ගෙනාපු බෑග් එක දිග ඇරල බලන්න, අම්මා උදේම කෑම උයපු නැති දවසට අම්මයි මායි තාත්තායි විතරක් ගෙදර ඉන්නව නම් අම්මව කුස්සියෙන් එලවලා තත්තා එක්ක එකතු වෙලා කුස්සිය හැඩි කරගෙන භාජන අල්ලන රෙදි පුච්චගෙන කෑම හදන්න ( සමහර දාට බඩු පෙරලගෙන වීදුරු එහෙම බිදගෙන අත කපගත්ත වෙලාවලුත් තියෙනවා තත්තයි මායි)

මට ප්‍රශ්න කියලා තියෙන්නෙ ඉතින් ලගින්ම ඉන්න කෙනෙක්, ගොඩාක් ම ආදරෙ කරන කෙනෙක් පොඩි දේකට හරි බැන්නොත් හුගක් ම හුගක් දුක හිතන එක,
කවුරු හරි ලගම කෙනෙක් තරහ වෙන එක,

අපේ අම්මා මට උදේට කොයි තරම් ආදරෙන් තුන් හතර පාරක් කතා කරල නැගිට්ටුවොත් මට නැගිට්ටවෙන්නෙ නැත්තෙ ඇයි ? එහෙම නැගිට්ටවල නැගිටින්නෙ නැති උනාම පැයට හැටේ වේගෙන අපේ අම්මගෙ අතක් මගේ ශරීර කූඩුව ස්පර්ශ කරාම කොච්චර රිදුනත් හිනා කටක් දාගෙන නැගිට්ටවෙන්නෙ ඇයි මට හරියට ගුටිය ලැබෙන කන් බලන් හිටිය වගේ?

අයිය වැඩ ඇරිල ගෙදර එන්න පරක්කු වෙන එක,
තාත්තා කොහිහරි දුර ගිහින් ඉද්දි කෝල් කරාට ෆෝන් එක ගන්නෙ නැති එක,
අපේ අක්කි ගෙදර ආපු වේලෙ ඉදන් කියවන ලොකු කතා අහන් ඉන්න එක,
මං මෙච්චර ලොකු වෙලාත් ඇයි තාමත් මට චූටි දූ, චූටි නංගි, චූටිය, පොඩි එකා කියලා කතා කරන්නෙ?
ඇයි මං ගෙදර, නෑදැයෝ, ඒ විතරක්යෑ අපේ පාරෙත් මගෙ පරම්පරවේ අයගෙන් පොඩිම එකා වුනේ?

නිකමටවත් ඉස්සර වගේ චූන් පාන් කරත්තෙ අපේ ගෙවල් පැත්තෙන් යන්නෙ නැති එක,
එහෙම කොහෙදි හරි චූන් පාන් කරත්තයක් නවත්තගෙන ජෑම් පාන් ගත්තත් අපි පුංචිම කාලෙ චූන් පාන් එකෙන් ගත්ත ජෑම් පාන් වල වගේ දැන් ඒවයෙ ජෑම් ගොඩක් නැති එක,

මගේ වයස ඉන්න සමහරු තොරොම්බොල් කරත්ත වගේ ඇදගෙන මූනත් තහඩුව වෙනස් කරගෙන කොන්ඩෙ කඩාගෙන පන්ති එන එක, පල්ලි එන එක,සමහරු ඇයි හෙනම අමාරුවෙන් බැරි බැරි ගාතෙ අඩි උස දාගෙන ඇවිදින්නෙ යස අගේට සාමන්‍ය ගමනට සැහැල්ලු සෙරප්පු දාගන යන්න පුලුවන් කම තියෙද්දි,

අපි කරන දේ කාටවත් හිරි හැරයක් නැති තාක් කල් ඒදෙයින් අපිට සතුටු වෙන්න පුලුවන් නම් එහෙම දේවල් කරාම අනිත් මිනිස්සු ගොඩයෝ කියලා හිතාවි කියලා අකමැත්තෙන් අකමැති දේවල් කරන්නෙ ඇයි මේ මිනිස්සු?  සමහරු අම්මට තාත්තට වදින එකට නැත්තම් යාලුවෙක් ගෙ ගෙදරකට ගිහින් එද්දි එයලගෙ අම්මලා තාත්තලාට වදින එක දිහා අමුතු විදියට බලන එක

ඇයි හොදටම වැහලා පයාගෙන එන කොට ඒ කියන්න ටික ටික වැහි බිංදු වැටෙන වෙලේට මං විතරක් කුඩේ අකුලගෙන ආසවට වැස්සෙම ඇවිදගෙන යනකොට අනිත් කාටමවත් එහෙම හිතෙන්නෙ නැත්තේ?
…කොළඹ ඉදන් රස්නෙ ඉවසන්න බෑ කියල වියදන් කරගෙන නුවර එලියෙ ගිහින් ඔලුවෙ ඉදන් පොරෝගෙන නවතින්න ගන්න තැන ඇතුලට වෙලා දොරවල් වහගෙන එලිය බලාගෙන ඉන්න එක, ( ඇයි දෙයියනේ ඇගට පතට ටිකක් හුලන් වදින්න සීතල දැනෙන්න කන් දෙක අගුලු වැටෙන්න ඉඩ දීලා ඔහේ එලියට බැහල ඇවිදින්න හරි එක තැන හිටන් ඉන්න හරි නෙමෙයි නම්, අත් දෙකේ අල්ලයි ඇගිලි ටිකයි අඩි පතුලයි සීතල වෙනකන් වතුරට අල්ලන් ඉන්න,  සීතල වුන ඇගිලි ටික මූනෙ තියාගන්න වගේ දේවල් කරන්නෙ නැතිව, ඔලුවෙ ඉදන් වහගෙන කන් දෙකත් වහගෙන සීතල අල්ලන්නෙ නතිව ඉන්න ඔනේ නම් මොකටද යන්නෙ?)



අනේ මංදා මෙහෙම දේවල් හිතෙන්න මට පිස්සුද? නැත්තම් අනිත් අයට තියෙන වැඩ එක්ක ඒ වගේ දේවල් කරන්න වෙලාවක් නැද්ද කියලා..
…කොහොම උනත් ඉතින් මං දන්නව සමහර වේලෙට ජීවිතේ ගැන ගැඹුරින් හිතන්න ඕනේ.. මං ගෙදර වගේම ඔක්කොලාගෙම පොඩි එකා නිසා බරක් පතලක් නැ. අදටත් මං දෙයක් කරන්න ගත්තම ඔක්කොලාම උදව් කරනවා තනියම කරන්න ඕන උනත් බෑ. ඉස්සරට වඩා නම් දැන් ඒ ගතිය අඩු වෙලා. මොකද ඔක්කොලාම  එයාලගේ ජීවිත එක්ක හැප්පෙන නිසා.. ඒ නිසාම තමා මටත් එක පාරට මේ හැමදේම තේරෙන්න්න ගත්තේ. පුංචි කාලෙ ඉදන්ම මොකක් හරි ප්‍රශ්නයක් උනාම මං අම්මට නම් බරක් උනේ නැ. ගොඩ වෙලාවට අයියට එහෙමත් නැත්තම් අපේ මාමාට තමයි කියන්න පුරුදු වෙලා හිටියෙ. ඒ අම්මට ලග නැති කමට නෙමෙයි, අම්මට ඊට වඩා මහ ගොඩක් ප්‍රශ්න තියෙද්දි වද වෙන්න, තව වද කරන්න පවු කියල පුංචි කාලෙ ඉදලාම මගෙ හිතට දැනිල තිබුන නිසා.

මගේ අම්ම ගැන ලියනව නම් ලියනන් පුලුවන් මට මහ ගොඩක්. ඒ හැමදේම පස්සෙ ලියන්නම් කො.
…ඉතින් පුන්චි කාලෙ ඉදන් අම්මට වදයක් නොවෙන්න හිටපු නිසාද මංදා දැන්ටත් මොන ප්‍රශ්නෙ තිබුනත් අම්මා ඉස්සරහ හිනා වෙලා ඉන්නව මං. ඉස්සර වගේ අයියට වද දෙන්නෙ වෙන්නෙත් ටික කාලයයි තව. එයත් යනවා මාව දාලා. ඒ නිසා ජීවිතේ බර වෙනදට වඩා දැනෙනවා මට.

ජීවිතේ අමාරු තැන් වලදි, කරන්න ඕන දේ නොදන්න තැන් වලදි හුගක් වෙලේට වැඩ කරේ පියතුමන්ගෙ මග පෙන්වීමත් එක්ක. හරි වැරැද්ද තේරුම් ගන්න බැරි උනාම තාත්ත කෙනෙක් වගේ හරි වැරැද්ද කියලා දුන්න කෙනෙක් අපේ පියතුමා මට. අපේ පල්ලියෙ පියතුමාත් මාරු වීමක් ලැබිලා.ඉතින් දැන් පියතුමත් මාරු වීම නිසා ඈතට යනවා.

ප්‍රශ්නයක් කරදරයක් උනාම වගේම මොකක්ම හරි දෙයක කරන්න කලින් උපදෙස් අරගන්න කගින්ම හිටිය අයියයි පියතුමයි දෙන්නම එක ලගම මාව දාල යද්දි ජීවිතේට තනියම මූන දෙන්න ඕන නේද කියල හිතෙද්දි හිරි වැටිලා යනවා මාව.  

…ඔක්කොලාම කියනවා මට පොඩි එකෙක් වගේලු. හිතන්නෙ පතන්නෙ එහමලු. එහෙම බෑලු ජීවත් වෙන්න. ඔවු මට තේරෙනවා දැන්. ඒත් දෙයියනේ එහෙමයි කියලා කොහොමද මේ ඉක්මනට වෙනස් වෙන්නෙ. මෙච්චර කල් පස්සෙන් හිටි අය ඔක්කොලාම ඈතට ගිහින් මං තනියම කොහොමද ජීවිතේ ඉගෙන ගන්නෙ? වැරදුනොත්  කාලගටද යන්නෙ? කාගෙන්ද අහන්නෙ? නොතේරෙන තැන් වලදි මොකද කරන්නෙ?  බයයි ඇත්තටම මහ ගොඩක්. ජීවිතේ ඉගෙන ගන්න ඕනේ  දැන්. ඒත් හැමදාම යන එන තැන් වලටත් තනියම යන්න පාර දන්නෙ නැති මං  කොහොමද තනියම හැමදේම ඉගෙන ගන්නෙ?
ජීවිතේ බර කවදාවත් නැතිව දැනෙනවා මහ ගොඩක් බරට අද මට.

36 comments:

  1. මේ ස්වයං විග්‍රහය ගලාගෙන ගිය හැටි මාර ලස්සනයි. මෙහෙමනේ නංගි. මේ ලෝකේ හැමෝම එකවගේ නෑ. ඔයා කැමති දේට නෙමෙයි මං කැමති, ඒවගේම තව කෙනෙක් තවත් දෙයකට තමයි කැමති වෙන්නේ. නිකන් හිතල බලන්න හැමෝම එකම විදිහට හිතන්න පතන්න ගියොත් කොච්චර විනාසයක් වෙයිද කියල. මෙහෙම හිතන්න. මට ගුරුවරයෙක් වෙන්න ඕනේ, අනික් හැමෝටමත් ගුරුවරයෙක් වෙන්න ඕනේ වුනා නම් මොකද වෙන්නේ. අපි කොහොමද බෙහෙත් ටිකක් ගන්නේ. කඩේකට ගිහින් බඩුවක් ගන්නේ. ඇයි ඉතින් ඔක්කොම ගුරුවරු වුනාම දොස්තරලා, මුදලාලිලා නෑනේ.

    ඒ වගේ තමයි එක එක්කෙනා හිතන පතන විදිහ වෙනස්. ඒක තමන්ට ආවේණිකයි. අපිත් කවද හරි ජීවිතේට තනියම මුහුණ දෙන්න ඕනේ. මොකද අපිට අපි තරම් විශ්වාස කෙනෙක් මේ ලෝකේ තවත් නෑ (මං කියන්නේ දෙමව්පියෝ, ලඟම අය හැරුනම).

    ඔයාටත් ටික කලක් යද්දී හැමදේම තනියම ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඔයාට චුටියි චුටියි කියපු අය කවද හරි දවසක ඔයා දැන් ලොකුයිනේ කියයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා අයියා කියන කතාව ඇත්ත තමා. හැමෝම එක වගේ වුනා නම් වැඩක් නෑ තමා. ඇත්ත තනියම ජීවිතේට මූන දෙන්න ඕනෙ. ඒක එක පාරට පුරුදු වෙන එකයි අමාරු.
      …මාත් මේ ඒකට තමා ලෑස්ති වෙන්නෙ දැන්. ජීවිතේ තනියම ඉගෙන ගන්න.
      …ඇත්ත බයයි මට. පුලුවන් වෙයිද දන්නෙත් නෑ. ඒත් කරන්නම වෙනවා නෙ.

      Delete
  2. ඔයාට අවුරුදු හතලිස් දෙකයි කියල කිව්වොත් මං පුදුම වෙන්නෙ නෑ...
    ඔය ක්‍රමේට හැදෙන අය කවදාවත් ලොකු වෙන්නෙ නෑ...
    හැමදාම පොඩි ලමයි විදියට ජීවත් වෙනවා.
    එක අතකින් වාසනාවන්තයි...අනික් අතින් අවාසනාවන්තයි..

    ReplyDelete
    Replies
    1. ඔය ක්‍රමේට කියුවෙ මොන ක්‍රමේද? කවදා හරි සමහර විට මං ජීවිතේට තනියම මුහුණ දෙන්න ඉගෙන ගනී.. සමහර විට බැරි වේවී. ඒක කරන්න පුලුවන් වුනත් නැති වුනත් මං හිතන පතන විදිය නම් වෙනස් වෙන එකක් නෑ යාලු, අනිත් හැමදේටම වඩා හිතේ සතුට වැදගත්. ඒක නැත්තම් අනිත් මොන දේ තිබ්බත් වැඩක් නෑ මට නම්

      Delete
  3. ඔයාටත් හරි අපූරු දේවල් තමයි හිතෙන්නේ.. ඒත් ඒ දේවල් වල වරදක් මම නම් දකින්නේ නෑ.. මොකද ඇත්තම කියනවනම් ජීවිතේ මීට වඩා සංකීර්ණ කර ගන්නවාට වඩා ඔහොම හොදයි කියලා හිතෙන්නේ අපේ ජීවිතේ දැන් සංකීර්ණ නිසා..

    ReplyDelete
    Replies
    1. :) ස්තූති අයියා
      …කවදහරි ඔයලා වගේ මටත් සංකීර්න වෙන්න වෙයි අකමැති උනත්

      Delete
  4. හ්ම්ම්ම්ම්...නංගියෝ අපිත් හුගක් කැමතියි ජිවිතේ හුගක් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න.එත් ජිවිතේ කවදා හරි වගකීම් කියන දේ බාර ගන්න ඕන කියන දේ හිතේ කොනක හරි තියනවා.අපි ජිවිතේ කරන අතහදා බැලීම් වලින් ජීවිතේට අත්දැකීම් එක්කර ගැනීම් ලබා ගන්නවා.එක තමා ජිවිතේ කියන්නේ.හුගක් සරලව ජිවිතේ සැහැල්ලුවෙන් ගෙවන ගමන් ජිවිතේ තමන්ට තියන වගකීම් ගැන හිත ඇතුලේ පොඩියට මතකේ තියා ගත්තාම අර සැහැල්ලුවෙන්ම ජිවත් වෙන්න පුළුවන්.කවදා හරි පොඩි කෙනා සැහෙන්න ලොකු වෙලා කියලා හැමෝටම දැනෙන දවසක් ඒවි..ජිවිතේ එන හැමදේටම හිනා වෙලා මුණ දෙන්න..!!! :)

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කි/අයියා. බොහොම ස්තූති උප්දෙස් වලට. මගෙ අතින් වෙන්න ඕනෙ යුතුකම් ටික නම් මන් බෙල්ල කඩා ගෙන හරි කරනවා. මට ලොකු ටාගෙට් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ කියල හැගීමක් දැනෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.
      …තනියම ජීවිතේට මුහුණ දෙන්න බයයි මට. මෙච්චර කල් පස්සෙන් හිටි අය නෑ නෙ දැන්.
      …ගොඩාක්ම ස්තූති මේ පැත්තට ආවට වගේම උප්දෙස් වලට. උත්සහ කරනවා උපරිමයෙන්ම ඒ කියපු දේවල් කරන්න විශේශයෙන් අර අයියා/අක්කි කියුව වගකීම් කතාව නම් බරටම හිතට වැදුනා..

      …අනේ සමා වෙන්න ඕනේ. මට අයියෙක්ද අක්කෙක්ද කියලා තෝර ගන්න බෑ. ප්‍රොෆයිල් එකට මට යන්න දෙන්නෙ නෑනෙ අයියාගෙ/අක්කගෙ( ඔයා කියල කියන්න හිත දෙන්නෙ නෑ වැඩිමල් කෙනෙක්ට)

      Delete
    2. නංගෝ මේ මම තමා මේ කොමෙන්ටුව දැම්මේ...:) ඔයාත් අපි වගේම සාමාන්‍යයි නංගෝ..ඔය ප්‍රශේ මටත් තිබ්බා ඒ කාලේ..කාලෙත් එක්ක හරියාවි..ජීවිතය ජය ගන්නට හැකිවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!!!

      Delete
  5. ඔයාට මාර ප්‍රශ්නයක් නේ තියෙන්නේ. හික්ස්..

    මේක සුළුවෙන් හිතුවට ඇත්තටම ඔයාගේ පැත්තෙන් බැලුවොත් ගොඩාක් ලොකු ප්‍රශ්නයක්. බාලය වුනාම ඒ වගේ ප්‍රශ්න එනවා.තනියෙන් දේවල් කරන්න පටන් ගද්දි පොඩි පොඩි ඇත පසු වීම් වෙන්න පුළුවන්. ඒවා හදාගෙන ඉස්සරහාට යන්න.ඔයාත් අනිත් අය වගේම සාමාන්‍ය කෙනෙක්.

    ජයෙන් ජය!!..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අයියා කියන්නෙ. මටත් හිතෙන දේවල් :)
      ඔව් අයියා අනිත් අයට පොඩි දෙයක් නැත්තම් විහිලුවක් විදියට පෙනුනට මට මහ ලොකුවට ඔලුවට බරක් වෙච්ච දෙයක් වෙලා මේක ලගකදි ඉදන්.
      …එක පාර හැමදේටම හුරු වෙන්න අමාරුයි. මං පොඩි පහෙ අතපසු වීම් නෙමෙයි අයියා කර ගන්නෙ. මහා පරිමානයේ අනා ගැනීම්.

      අන්න අර සාමන්‍ය කෙනෙක් කියපු කතාවට නම් අයියට අරන් දෙන්න හිතෙනවා චූන් පාන් එකෙන් ජෑම් පාන් එකක්.. :)

      ……ස්තූති අයියා උපදෙස් වලට. වටිනවා මහ ගොඩක්

      Delete
  6. බුදු අම්මෝ මෙයාට තියෙන ප්‍රශ්න... ගනන් ගන්න එපා ඕවා. කාලයත් එක්ක හරි යාවි.
    "මට කවදාවත් බැරි වෙයි අනිත් අයට ගැලපෙන්න ඉන්න." මේක මටත් තියෙන ප්‍රශ්නයක්... ඒත් අනික් අයට ගැලපෙන්න ඉන්නවට වඩා හිතට එකඟව ඉන්න එක හොඳයි මම හිත්න්නෙ. අමාරුවෙන් එහෙම ගැලපෙන්න ගිහිල්ලා අමාරුවෙ වැටෙනවට වඩා.
    කවදහරි ඔයට කෙනෙක් මුනගැහෙයි ගලප ගලප ඉන්නෙ නැතිව, ඔයා ඔයා විදිහටම ඉන්නවට කැමති කෙනෙක්. ඒකට මම සුභපතනවා....
    (දැන්මම කෙනෙක් ඉන්නව නම් මම ඉස්සෙල්ල වාක්‍ය ඉල්ලා අස් කරගන්නවා.. හි හි)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති අක්කියෝ. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.
      …ඒක නම් ඇත්ත අනිත් අයට ගැලපෙන්න හදනව වෙනුවට මගෙ අතින් වෙන්න ඕනෙ යුතුකම් මගෙ වගකීම් තේරුම් අරන් මගෙ හිතට එකගව මේ විදියටම ජීවත් වෙන්න තියෙනව නම් ඒක ලොකු වාසනාවක්.
      …ගලප ගලප ඉන්න අය තමයි අක්කි වැඩියක් ම ඉන්නෙ.
      …බොහොම ස්තූති අක්කි සුභ පැතුමට. අක්කිටත් ඒ පැතුමම මාත් පතනවා :)

      Delete
  7. නිදහස් ජිවිතයක්..ඔයාගේ කතාව කියවද්දී ඇත්තටම දුකකුත් ආසාවකුත් ආවා..ඒ මොනාටද කියල මම දන්නේ නැහැ එත්..

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ මොකෝ?
      …මගේ මැටි සිතුවිලි ගැන හිතේ හටගත් ශෝකය සහ ඔයාට එහෙම මැටි අදහස් පහල නොවීම ගැන ප්‍රීතිය මන් හිතන්නෙ
      …නිදහස් ජීවිතයක් හිතුම් පැතුම් වලින්
      …නැත්තම් නම් නිදහසක් නෑ එහෙමට. මොනා කරන්නත් කලින් දාහක් ප්‍රශ්න වලට උත්තර දීල කට්ටිය ගෙන්ම අවසර අරගෙන අනිත් හැමෝගෙම අවවාද අනුශාසනා සහා අධීක්ශනය යටතේ කරන්න වෙන්නෙ මට.
      …හිතන පතන දේවල් වලට ඉතින් වැට බදින්න බෑ කියනව නෙ :)

      Delete
  8. අපොයි... ඔයාට හිතෙන දේවල්.... :(

    ReplyDelete
    Replies
    1. හෆොයි මොකෝ මේ බෙරි මූනක්.. මට ඉතින් හිතෙන හැටි නෙ අයියා..
      උපන් වෙලාව අප්සෙට් ද කොහිද : /

      Delete
    2. ඔව් ඔව්... :D

      Delete
  9. “මගේ වයස ඉන්න සමහරු තොරොම්බොල් කරත්ත වගේ ඇදගෙන මූනත් තහඩුව වෙනස් කරගෙන කොන්ඩෙ කඩාගෙන පන්ති එන එක, පල්ලි එන එක,සමහරු ඇයි හෙනම අමාරුවෙන් බැරි බැරි ගාතෙ අඩි උස දාගෙන ඇවිදින්නෙ යස අගේට සාමන්‍ය ගමනට සැහැල්ලු සෙරප්පු දාගන යන්න පුලුවන් කම තියෙද්දි,“

    ජය වේවා.....!!!!
    ඔන්න අඩයි මං මේ පැට්ටට ආවේ.........පලක්කු වුනානම් සමාවෙන්දෝ......ම ඩැකපු ලස්සනම බ්ලොග්වලින් එකක්.......ඩිගටම එන්නාම්.......ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. පරක්කු වුනාට මොකෝ අනේ. ආව එකම ලොකු දෙයක් නෙ.. ඔන්න එහෙනම් ආදරයෙන් පිළිගන්නවා ඔයාව..

      …//ඩැකපු ලස්සනම බ්ලොග්වලින් එකක්.....//
      …ලැජ්ජයි අෆ්ෆා.. මං මේ බ්ලොග් කෙරුවාව ගැන නම් මහ ලොකු දෙයක් දන්නෙ නෑ අනේ. ඔහෙ හිතට දැනෙන දෙයක් කුරුටු ගාල යනාවා.

      …ඉත්තූතී හොදේ.. දිගටම එනව නම් තතුටුයි : D

      Delete
  10. මට ප්‍රශ්න කියලා තියෙන්නෙ ඉතින් ලගින්ම ඉන්න කෙනෙක්, ගොඩාක් ම ආදරෙ කරන කෙනෙක් පොඩි දේකට හරි බැන්නොත් හුගක් ම හුගක් දුක හිතන එක,
    කවුරු හරි ලගම කෙනෙක් තරහ වෙන එක,

    ම්ම්ම්.. මේකනම් මටත් තියෙනවා..:( ඔයාට හරිම ශෝයි දේවල් හිතෙන්නෙ.. ඔයා කවදාවත්ම ලොකුවෙන එකක් නෑ තමා..:D අදයි මෙහාට ආවෙත්..දිගටම එන්නම්..

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා යාලු.
      …අනේ ඉතින් එහෙම කියන්න එපා කවදාවත් ලොකු වෙන්නෙ නෑ කියලා. මං චන්ඩි හරිද? : P

      Delete
  11. ඔය ඉන්න ක්‍රමේ හොඳයි කියනව නෙවෙයි ඒත් ඔහොම ඉන්න කොට හිතේ සතුට වැඩියි....මාර නිදහසක් තියෙනව ඒ නිදහස අත් විඳින්නත් ඉතින් පිනක් තියෙන්න එපැයි නඟේ........

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියෙ. මේ විදියට ඉන්න තියෙනවා නම් පුදුම සැහල්ලුවක් තියෙන්නෙ. ඒත් අයියා ඉස්සරහට එහෙම ඉන්න බැරි වෙයි වගේ. මටත් ජීවිතේ ගැන මීට වඩා බරපතලව හිතන්න වේවී.

      …ජිවිතේ ගැන කොහොම තහිතුවත් කැමති අකමැති දේවල් වගේම අර හිතෙන දේවල් නම් වෙනස් වෙන එකක් නෑ මගෙ හිතේ

      Delete
  12. හිතෙන හැම ප්‍රශ්නයක්ම ලස්සනට ලියලා තියෙනවා.
    :D
    දැන් ඔහොම වුනාට තනියම ජීවිතේට මූණ දෙන්න ඕන කාලෙට ඒ ශක්තියත් කොහොන් හරි ලබෙනවා. අපිට අනිත් අය වගේ වෙන්න බැරි නම්... අපි අපිම වෙමු...
    :)

    ReplyDelete
    Replies
    1. ස්තූති අක්කියෝ.

      අනේ එහෙම වෙනවා නම් හොදයි හැබැයි අක්කි ඉතින් දැන් මට තනියම මූණ දෙන්න වෙලා ජීවිතේට හැමදේටම දැනම ඉදන් හුරු වෙන්න වෙනවා ඒ නිසා.

      මාත් මං ම වෙලා ඉදී අක්කෙ. වෙනස් වෙන්න වත් කාටවත් ගැලපෙන්න වත් ගිහින් මට මාව නැති වෙනවාට මගෙ හිතේ නිදහස නැති වෙනවට මාත් කැමති නෑ. ස්තූති අක්කෙ

      Delete
  13. ඔන්න මමත් ආවා නිදහසේ නවාතැනට අපිටත් ඉඩ තියෙනවදෝ....

    ReplyDelete
    Replies
    1. ගොඩ කාලෙකින් එන්න බැරි උන නිසා පිලිගන්න මේ පැත්තට ඔයාව ටිකක් පරක්කු උනාට සමාවෙන්න යාලු.. අනේ මේ තියෙන්නෙ ඉඩ ඕනෙ තරම්.. :)

      Delete
  14. මම සාපේක්ෂව වෙනස් කියලා හිතලා සතුටු වෙන්න..

    ReplyDelete
  15. අදමයි මේ පැත්තට ආවේ.
    දිගටම එන්නම් !!!
    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා.. ප්‍රමාද දෝශයට සමා වෙන්න :)
      …දිගටම එන්න එහෙනම්..
      …ස්තූති

      Delete
  16. මොකද මේ මොකුත් සද්දයක් නැත්තේ ??

    ReplyDelete
    Replies
    1. සද්දයක් නැතිව ඉන්න උනා නෙ මේ මදුරුවෙක් නිසා..
      …බොහොම ස්තූති හොයල බැලුවට..
      …ඔන්න දැන්නම් දිගටම සද්ද තියේවි මෙහෙ :) :)

      Delete
  17. මොකෝ මේක වහලාදාලා?

    ReplyDelete
    Replies
    1. වහලා දාලා නෑතෝ.... මං ආයෙත් අවෝ... මේ මදුරු කරදරයක් අනේ.. මගේ ඊලග පෝස්ට් එකේ තියෙනවා ඒ දුශ්ටයා ගැන
      ස්තූති මේ පැත්තෙ ඇවිත් බැලුවට..
      :) :) (: (:

      Delete