Friday, April 6, 2012

දහම් පාසල් කොඩියයි.. රබර් අත්තයි..

අම්මෝ යන්තම් විභාගෙ ඉවර උනා.. විභාගෙ අතරෙ එහෙන් මෙහෙන් බ්ලොග් කියවද්දි දැකපු හරී අයියාගෙ මෙන්න මේ පෝස්ට් එක දැකලා මගෙත් පරණ මතකයක් අලුත් වුනා. මේ  කියන්න යන්නේ ඒ ගැන

මාර්තු මාසෙ පළවෙනි සෙනසුරාදට යෙදෙන කොළඹ පදවියෙ, ළමා දිනය කියන්නෙ කොළඹ පදවියට අයිති හැම දහම්පාසලකම, හැම කතෝලික පාසලකම ළමයි ටික තේවත්තෙ ලංකාවේ අප ස්වාමිදූ බැසිලිකාවට එකතු වෙන දවසක්.. මේ ගැන වැඩි දුර විස්තර හරී අයිය ලියලා තියෙන නිසා ආයෙම කියන්න ඕනෙ නෑනෙ..

ඔය ළමා දිනේට මාත් 5 වසරෙ ඉදන්ම හරි ආසවෙන් තමයි ගියේ දහම් පාසල නියෝජනය කරන්න. මොකද  අපේ ඉස්කෝලෙන් ගෙනියන්නෙ 11 වසර අයව විතරයි. 

මෙ කියන සිද්දිය උනේ මං 11 වසරෙදි. ඒ කියන්නෙ ඉස්කෝලෙනුත් ඒ අවුරුද්දෙ අපිව තමයි ළමා දිනේට ගෙනියන්නෙ. ඒත් එතකොට මම දහම්පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ඒ නිසා මට සිද්ද උනා දහම්පාසල නියෝජනය කරන්න.. ඒත් ඉතින් දන්නවනෙ ඉස්කෝලෙ යලුවො ටිකට ඔවා තේරුම් කරන්න පුලුවනෑ..  යාලුවො ටික මං එයලා එක්ක යන්න එන්නෙ නැති නිසා මට බැන බැන තමා හිටියෙ.

ඔන්න ඉතින් ළමා දිනය තියෙන දවසේ උදේම වෙනදා වගේම ඉස්කොලේ නිල ඇදුම ඇදලා සපත්තු මේස් දාලා අම්මා උයලා දීපු දවල් කෑම එකත් බෑග් එකට දාගෙන මාත් පල්ලියට ගියේ දහම්පාසලේ අනිත් ළමයි එක්ක තේ වත්තෙ යන්න.
 
ශිෂ්‍ය නායක නායිකාවන්ට තම තමන්ගේ ටයි පටිත්, බ්ලේසර් එකත් අරගෙන ගෙනියන්න ඕනෙ බඩු ටික බස් එකට දාගත්තා. ඒ අතරට අයිති වෙන්නෙ දහම් පාසල් කොඩියත්,දවස් ගානකට කලින් ඉදන් ළමයින්ගෙන් එකතු කරගන්න පොත්, පැන්සල්, පෑන් වගෙ දේවල් ටික කාර්ඩ්බෝඩ් පෙටියකට දාලා බ්‍රව්න් පේපර් එකකින් එහෙම ඔතලා හදාගන්න පඬුරයි, ප්‍රථමාදාර පෙට්ටියයි තමයි .

ළමයි ටික එහෙම බස් වලට නැගල දැන් යන්නයි ලෑස්තිය.. ගමන පටන්ගැන්මෙදි යාච්ඤාවක් කියලා ගිතිකාවකුත් කියනවා. ඒත් ටික දුරක් යද්දි කට්ටිය ඉබේටම සින්දු කියන්න පටන් ගන්නවා..  වත්තල ඉදන් ඉතින් ඒ හැටි දුරකුත් නෑ නෙ.. ඉක්මනටම තේවත්තෙ පල්ලිය ලගට යාගන්න පුලුවන්. එතනට ගියාම පස්සෙ බස් එකෙන් බැහල  රබර්යාය මැදින් ඇවිදන් යන්න ඔනේ පල්ලිය වත්තට.. ඔය අතරෙ ඉතින් හරී අයියා කියුවා වගේම ළමයි රබර් වතු අස්සෙ රිංගනවා.  අච්චාරු විකුනන ආච්චිලාගෙන් අච්චරු අරගන්නවා. සමහරු කොන්ත කඩේට යනවා..

නියමිත වෙලේට දේව මෙහෙය පටන් ගන්නව. ළමයි හුගාක් ඉන්න නිසා ඉස්සරහ හරියකට යාගන්න පුලුවන් වුනොත් විතරයි හරියටම වෙන දෙයක් පේන්නෙ. දේව මෙහෙය අතරතුර පඬුරු පෙරහැරේදි හැම දහම් පාසලකින්ම වගේම හැම ඉස්කෝලෙකින්ම අර කලින් කිව්වා වගේ ලෑස්ති කරගෙන එන පඬුර අරන් ගිහින් ඔප්පු කරන්න ඕනෙ.. ඉතින් පඬුරු පෙට්ටිය ටිකක් බරයි. ඒ නිසා ඒක ප්‍රදාන ශිෂ්‍ය නායකයාට භාර වුනා. එතකොට මට වුනෙ කොඩිය අරන් යන්න. කොඩිය අරන් අර කිව්වා වගේම පෝලිමක ගිහින් වටේට හිටන් ඉන්න ඕනෙ මෙහෙය ඉවර වෙනකන් ඔය විඩියට ඉතින් ලමයි ගොඩක් ඉන්න පෙරහැරෙ මාවත් හිටෙව්වා අයිනෙම තීරුවට වෙන්න. රබර් වතු දෙක මැද්දෙන් තියෙන පාරෙ දිගේ ගිහින් තමයි ඔය තියෙන පින්තුරෙ තියෙනව වගේ වටේට රවුමට හිටගන්න ඕනෙ.


         මාත් ඉතින් දැන් ඉහින් කනින් දාඩිය වක් කරගෙන පෝලිමට වෙලා හිටන් ඉන්නවා කොඩියත් උස්සගෙන.  මොකෙද දාඩියයි කියලා කොඩිය අත ඇරලා ලේන්සුවෙන් මූන පිහින්න පුලුවනැයි දෙනෝ දාහක් ඉන්නැද්දි.. ඒ අතරෙ තමා ටිකක් ඉස්සරහට වෙන්න ඉන්න අපෙ ඉස්කොලේ කට්ටිය මං දැක්කෙ. ඔන්න එතකොටම වගේ පෙරහැර ඉස්සරහට යන්න පටන් ගත්තා. මාත් හිටියෙ යාලුවො ගැන හිත හිත නෙ. ඉතින් මගෙ ඉස්සරහ හිටි ළමයායි මගෙ පේලියට කෙලින් වම් පැත්තෙ හිටි ලමයි ටිකයි ඉස්සරහට ගිහින්. පෝලිම ඇද වෙන්න දෙන්න බෑ. වස ලැජ්ජාවයි. මාත් හරියට පෝලිම හදාගන්න ඉක්මන් උනා. ඔය අතරෙ එක අඩියයි තියන්න උනේ මට. ඊලග අඩිය තිබ්බට මාව ඉස්සරහර යැවෙන්නෙ නෑ නෑ වගේ.

       මොකද්ද අප්පේ මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරිව මාත් ආයෙ ඉස්සරහට යන්න හැදුවා.
ම්ම්හු... ඉස්සරහට යන එක කෙසේ වෙතත් කොඩියත් නිකම් ගෙනෙද්දි තිබුනට වඩා බරයි බරයි වගේ. ඒත් එහෙම කොහොමද වෙන්නෙ?

          මෙන්න බොලේ හතර වටේ ඉන්න ළමයි ටික මගේ පැත්තට හැරිලා ඇස් දෙක ලොකු කරගෙන කන්න වගේ බලන් ඉන්නවා. ඒකත් මේ බීස්කුන්වහන්සේයි, පියතුමන්ලයි, සහෝදරතුමන්ලයි කන්‍යා සහොයුරියෝයි ඔක්කොම ඉස්සරහ ඉන්නැද්දි.. මගේ දිහා විතරක් නම් කමක් නෑ කියමුකෝ. මගේ දිහා බලන ගමන් මං ඉන්න තැනම උඩත් බලනවා. මගේ දිහා බලනවා.. උඩ බලනවා..  ආයෙම මා දිහා බලනවා... ආයෙම උඩ බලනවා.
 
        මෙහෙම තව ටිකක් වෙලා ගියොත් බෙල්ල උඩටයි පහලටයි හරවල මෙ කට්ටියගෙ බෙල්ලෙ පොට ගිහින් සමූහ ඝාතනයක් සිද්ද  වුනොත් එහෙම ඒකටත් මේ අහිංසක මට වගකියන්න වෙන්නෙ. බලන් ඉදල බෑනෙ. මාත් ඉතින් කෝකටත් කියලා උඩ බැලුවා. මෙන්න වැඩක්. අපේ දහම් පාසල් කොඩිය පාරට වෙන්න තිබුන රබර් අත්තක් අස්සෙ පැටලිලා. ඒක තමයි මං අවිද්දට අවිද්දවුනෙ නැත්තේ. ඒ වෙලේ තමා මොකාටද වගේ මට වෙලා තියෙන දේ තේරුනේ. හපොයි මගේ ඉස්කෝලේ උන් ටිකත් මං දිහා බලාගෙන. ලැජ්ජාවයි. සදුදා ඉස්කෝලේ යනවට වඩා හොදයි වහ කනවා. පොලිඩෝල් බොනවද? හාක්‍රෝස් පටාස් බොනවද?...
ඒවා හිතන්න පුලුවනැයි  ඒ වෙලේ. ඒ ටික ගෙදර ගිහින් හිතන්න පැත්තකට තියලා දැන් මේ කොඩියට මොනා හරි කරන්න ඕනෙ නෙ.මගේ පිටිපස්සෙන් හිටි ළමයි ටිකත් මාව පාස් කරගෙන යනවා.

            මං දන්න සෙල්ලම් ඔක්කොම දාලා කොඩියෙ පැටලිල්ල ඇරගන්න හැදුවම වුනේ තව ටිකක් පැටෙලන එක. ඒවෙලේ වටේ හිටි තව දෙතුන් දෙනෙකුත් ආවා උදව්වට. එයාලගෙත් උදව්වෙන් කොඩිය බේරන්න හද්දදි මෙන්න කොඩිය ආධාරකයෙන් ගැලවිල ගහේ හිටුනා. හපොයි දෙයියනේ දැන් මේ යකඩ බටේ විතරක් අරන් ගිහින් අතන හිටගන්නැයි. අපේ දහම් පාසලේ උගන්වන අයියෙක් එතනට ආව වෙලේ තමා ටිකක් හරි ඇගට ලේ ටිකක් ඉනුවෙ අච්චර සෙනග ගොඩක් මැද්දෙ දන්න කෙනෙක් දැක්ක නිසා. ඔන්න ඉතින් දැන් හතර පස් දෙනෙක් ම ඇවිත් ආධාරකය උඩට උස්සලා කොඩිය එහෙ මෙහෙ කරලා කොඩිය ගලවගත්තා. වටෙ පිටෙ හිටි කොල්ලො ටික අපේ දහම් පාසලේ නමත් කිය කිය විහිලු කරනවා. මගේ ඇස් දෙකේ කදුළු පිරිලා ඇඩෙන්න ඔන්න මෙන්න තිබුනෙ ඒ වෙනකොට. ඇයි ඉතින් දෙනෝ දාහක් මැද්දෙ ඔහොම උනාම ලැජ්ජාව, ඔක්කොටම වඩා මං නිසා දහම් පාසලටත් සවුත්තුවක් උනා කියන හැගීම ඒ වෙලේ ඔලුවෙ තිබුනෙ.

             කොඩිය දැන් ආයෙ ආධාරකයට දාන්න ආධාරකය අල්ලන් හිටිය. ඒ වෙලේ අවුල් වෙලා හිටි තරම කොයි තරම් ද කියනවා නම් මගෙ අත හොදටම වෙවුලනවා. ආධාරකය ඉතින් හෙල්ලෙනවනෙ. කොඩිය දාගන්න බෑ අපේ දහම් පාසලෙ උගන්න්නන අයියට. වටේ උදව්වට ආපු තව දහම් පාසලක අයියලා දෙන්නෙක්, සංවිදායක (වැඩසටහන යන යන වෙලේදි ඒ ඒ දේවල් හරියට කෙරෙනවද කියලා බලන්න තැන් තැන් වල හිටන් ඉන්නව අයියලා.. අයියලා කියුවට එයාල සහෝදර තුමන්ල වෙන්න ඉගෙන ගන්න අය කියලා තමයි මං අහලා තියෙන්නෙ.) කෙනෙකුත් ඒ වෙලේ එතන හිටියා. සංවිදායක මගේ අතින් ආධාරකය අරගෙන කොඩිය දාන්න කියලා වෙන අයිය කෙනෙක්ට දෙන ගමන් මට පොඩි ලෙක්චර් එකකුත් දුන්නා. ඔන්න ඒකෙන් පස්සෙ තමා ටිකක් හරි ගියේ.

දැන් ඉතින් කොඩිය ආයෙම අරගෙන යන්න හිත හදාගෙන ඉස්සරහ බලද්දි මුලු පෙරහැරම ගිහින් ඉස්සරහට.
ඒකත් කමක් නෑ කියමු. පඬුරත් අතේ තියාගෙන හිටි අපේ දහම් පාසලේ මාත් එක්ක මෙතනට ආපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා මහේශ්, ඒකත් ගිහින් නෙ පෙරහැර එක්ක. කොඩිය මතන තියෙද්දි ඒකා ඉස්සරහට ගියාම හරි යනවද?  භාගයක් දුර ගිහින් නැවතිලා තියෙන්නෙ. මූනත් හතරැස් කරගෙන හතර අතේ බලනවා කොඩිය කෝ කියලා. පිටිපස්ස හැරිලා බැලුවෙ නෑ නිකම් වත් වම, දකුන.. වම, දකුන.. බල බල හිටිය මිසක්. පොඩි කාලේ ඉස්කෝලෙ උගන්නපු මාර්ග නීති මතක් වෙලාද කොහිද.



            පඬුරු ටික ඔප්පු කරන්න යද්දි කාදිනල් අල්තාරෙන බැහලා ඉස්සරහට එනවා.ඉතින් දැන් කාදිනල් නැත්තම් බීස්කුන් වහන්සේ පහලට එහෙම බැහලා හිටන් බලන් ඉන්නවා. ඉතුරු ඔක්කොලාම පඬුරු දීල ඉවරයි. මහේශ්  මැද්දට වෙලා නැවතිලා බලන් ඉන්නවා. ඊටත් පිටිපස්සෙන් මං. ඒ අස්සෙ මෙ වෙච්ච දේවල් නොපෙනුන කට්ටිය මේ මොකෝ මෙහෙය බාගෙට තියෙද්දි බීස්කුන් වහන්සේ පහලට වෙලා කරන්නෙ කියලා හිත හිත වෙන්න ඇති කසු කසු ගානවා. මේ ජරමර අස්සෙ මට දැන් තනියම අර පාර දිගෙ කොඩියත් අරන් යන්න බෑ බෑ වගේ. 
මං දැන් යන්න බෑ කියන්න වගේ සංවිදායක දිහා බැලුවා. මට කලින් ඉස්සර වෙලා "යමු, ඔයාගේ දහම් පාසල වෙනුවෙන් වෙන් කරපු තැන තාම ඒ විදියටම තියෙනවා" කිසි දෙයක් නොවුන ගානට පුදුම සංයමයකින් ඇවිදගෙන ගියා. මාත් ඒ පස්සෙන් ගිහින් මහේශ් හිටි තැනට යනකන්ම මහේශ් බය වෙලා පඬුරත් උස්සගෙන පාරෙ අයිනටම වෙලා හැංගිලා වගේ තමයි හිටියෙ. නොදැක්කා වගේ රගපෑවද දන්නෙත් නෑ. කෝම කෝම හරි ඉතින් මහේශ් ඉස්සර වෙලා පඬුර ඔප්පු කරද්දි මං ඒ පිටිපස්සෙන් කොඩිය අරන් යද්දි කට්ටිය බලන්න ඇති මෙච්චර වෙලා මොන කෙහෙල්මලක් කලාද කියලා. එහෙමම මං ගිහින් කොඩි අරගෙන රවුමට හිටන් හිටි ළමයි අතරට ගිහින් හිටගත්තා.

         ඒ වෙලේ ඉදන් මෙහෙය ඉවරවෙනකන්ම මට මතක් උනේ දහම් පාසලේ කොඩිය ගහ උඩ හිටුන එකෙන් මගෙ අතින් දහම් පාසලට අගෞරවයක් උනා නේද කියන එක. ඒ නිසාම ඇස් දෙකෙන් කදුලු පුරෝගෙන අඩන්නෙ නැතිව හිටයෙ පුදුම අමාරුවෙන්. ඒත් මෙහෙය ඉවර වෙලා ආයෙම අපෙ දහම් පාසලේ කට්ටිය ඉන්න තැනට ඇවිදන් යද්දිම ඈත තියාම පියතුමන්වයි අපේ දහම් පාසල් ගුරුවරු ටිකයි ළමයි ටිකයි දැක්ක ගමන් අච්චර වෙලා තද කරන් හිටපු කදුලු ටික මටත් නොදැනිම ඇස් දෙකෙන් එලියට පැන්නා. ගොඩක් වෙලා යනකන්ම මට ඇඩුනා.. පියතුමා, ගුරුවරු වගේම අනිත් ශිෂ්‍ය නායකයෝ ටිකත් මගෙ හිත හදුවා. යන්තම් ඇඩිල්ල නවත්තගත්තත්  වෙනදා වගේ  යාලුවො එක්ක හිනා වෙලා ඉන්න හිතක් තිබුනෙ නෑ.

         ඒත් අපේ පියතුමා  නම් කිව්වෙ
 "ඒක ඒ තරම් ගනන් ගන්න දෙයක් නෙමේ පුතේ.බලන්නකො ඔයා අද ඇඩුවට, පස්සෙ කාලේක ඔය වෙච්ච සිද්දිය මතක් කරලා හිනා වේවි ඇස් වලින් කදුලු එනකන්ම" කියලා.
   
         ඒ වෙලේ නම් මට ඒක තේරුනේ නෑ. මං හිතුවෙ හිත හදන්න කියුවා කියලා. ඒත් ඒක ඇත්ත කියලා තේරුනෙ ඊලග අවුරුද්දෙ ඉස්කොලේ ශිෂ්‍ය නායිකාවක් විදියට ළමා දිනේට තේවත්තෙ පල්ලි ගියාම අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කොඩිය අරගෙන පෙරහැරේ යන්න හිටන් ඉද්දි අර සිද්දිය මතක් වෙලා මට තනියම හිනා ගියාම. අදටත් ඒ සිද්දිය මතක් කරලා යාලුවො විහිලු කරන වෙලාවල් අනන්තයි. ඔන්න ඔහොමලු වුනා කියන්නෙ.

18 comments:

  1. හපොයි.. මාර වැඩක්නෙ වෙලා තියෙන්නෙ විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුව යන්නැති... හි..හි..

    මේ මෑතකදි වුනු දෙයක් නේද? කොඩියක් ඔයතරම් පැටලුනේ කොහොමද කියලා හිතාගන්නත් බෑ.. මොනවා වුනත් පියතුමා කිව්වදේ නම් ඇත්ත වෙලා..

    අපි දහම් පාසල් ගිය කාලෙ(මීට අවුරුදු 5කට 6කට කලින් ) ශිෂ්‍යනායකයින් ඔයතරම් සංවිධානාත්මක නෑ.. බ්ලේසර් තිබුනෙත් නෑ.. දහම් පාසලට පාට ඇඳුම් අඳින්න දුන්න කාලෙත් මම ගියා.. එතකොට ගුරුවරුන්ට නිල ඇඳුම් තිබුනෙත් නෑ.. මම හිතන්නෙ මුලින්ම දහම්පාසලට සුදු ඇන්දෙ අපිද කොහෙද? අපේ හිටපු පියතුමෙක් මාරුවෙලා යනකොට එතුමාට උපහාරයක් විදිහට සුදු ඇඳගෙන ගියා ඊටපස්සෙ පියතුමා කිව්වා ඔය විදිහ ලස්සනයි මාව මතක් වෙන්න හැමදාම ඔය විදිහට දහම් පාසල් එන්න කියලා.. එදා ඉඳන් තමයි අපි සුදු ඇන්දෙ.. ඒ කාලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලත් රබර් ඇට ඇහිඳපු එකෙක් මම..

    //අපේ ඉස්කෝලෙන් ගෙනියන්නෙ 11 වසර අයව විතරයි//
    //ඊලග අවුරුද්දෙ ඉස්කොලේ ශිෂ්‍ය නායිකාවක් විදියට ළමා දිනේට// මේ තැන් දෙක පරස්පරයි වගේනෙ..

    //ළමයි හුගාක් ඉන්න නිසා ඉස්සරහ හරියකට යාගන්න පුලුවන් වුනොත් විතරයි හරියටම වෙන දෙයක් පේන්නෙ.// ඒකනෙ අපි මොකුත් දන්නෙ නැත්තෙ..

    පෝස්ට් එක නම් ලස්සනට ලියලා තියෙනවා.. මට සිද්ධිය මැවිලා පෙනුනා...

    ReplyDelete
  2. "//අපේ ඉස්කෝලෙන් ගෙනියන්නෙ 11 වසර අයව විතරයි//
    //ඊලග අවුරුද්දෙ ඉස්කොලේ ශිෂ්‍ය නායිකාවක් විදියට ළමා දිනේට// මේ තැන් දෙක පරස්පරයි වගේනෙ..''

    11 වසරෙ ළමයි ව තමා ගෙනියන්නෙ ළමා දිනයට.. ඒත් අපේ ඉස්කොලේ ඕනෙම දේකට ළමයි සැලකිය යුතු ප්‍රමානයක් එලියට ගෙනියනවා නම් අනිවාර්යෙන්ම ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙක් ගෙනියනව ළමයි ගැන බලන්න. ( ක්‍රීඩා පුහුණු වීම් වලට, ක්‍රීඩා තරග වලට, මොනවා හරි තරගයකට ළමයි එලියට යනවා නම් වුනත් අනිවාර්යෙන් ඒ ළමයි ගානට අදාලව අඩුම ගානෙ ප්‍රිෆෙක්ට්ස් ලා 2නෙක් වත් එයාලත් එක්ක යනාවාමයි.) වෙන දෙයක් තියා අඩුම ගානේ ඉස්කෝලෙ ඉදන් එහා පැත්තෙ තියෙන පල්ලියට මොකක් හරි පන්තියක ළැමයි ගෙනියනවා නම් ඒත් ප්‍රිෆෙක්ට්ස්ලා 2ක්වත් ඉන්න ඕනේ. ඒක නිසා තමයි මං විශේෂයෙන් " ඊලග අවුරුද්දෙ ඉස්කොලේ ශිෂ්‍ය නායිකාවක් විදියට ළමා දිනේට" කියලා දැන්මෙ අයියෙ. මතක විදියට ඒ අවුරුද්දෙ අපි 6 දෙනෙක් ගියා හෙඩ් ප්‍රිෆෙක්ට් අක්කි අරුනාම.

    …අපේ දහම් පාසලෙත් අපි තමයි බ්ලේසර් ඇන්ද පලවෙනි කට්ටිය. එතකොට හිටිය පොඩි ෆාද තමයි ළමා දිනේට කලින් ඒ දේවල් ලෑස්ති කරන්න ගොඩාක් උනන්දු වුනේ. හැබයි නිල ඇදුම නම් මතක ඇති කාලේ ඉදන්ම අනිවාර්යයි. අපේ දහම් පාසලෙ නිවාස 4කුත් තියෙනවා. නිවාස අතර නාට්‍ය, තරග ක්‍රීඩ තරග එහෙමත් වාර්ශිකව පවත්වනව. ඒ වැඩ පිලිවල පටන් ගන්නත් දායක උනෙ ඒ පියතුමන් ම තමයි අයියෙ

    …අපොයි ඔව් අයියෙ.. ශිෂ්‍ය නායක පට්ටම් තිබුනට ඇති වෙන්න දග වැඩ නම් කරලා තියෙනවා. දැනටත් වෙනසක් නෑ :)

    ReplyDelete
  3. ලස්සනයි කියවද්දී මට හිතුනේ මට ඕක උනානම් මම මොනවා කරයිද කියලා..අපේ දහම් පාසලේ කොල්ලෙක්නම් මට පඩුරෙන් ගහල යයි.

    ReplyDelete
    Replies
    1. හි හි.. මහේශ් නම් ඒතරම් දරුනු නෑ කොහොමත්. හැබැයි ඉතින් තාමත් හම්බුනාම ඔය කතාව කියලා මට විහිලු කරනවා.

      Delete
  4. මතක්කර කර හිනාවෙන්න පුළුවන් සුන්දර මතකයන්...
    :)

    ReplyDelete
  5. නංගිටත් වෙන වැඩ :D

    ReplyDelete
  6. හනේ හපොයි, මෙයාටත් වෙන වැඩ. කොඩිය හිතල මතල ගහේ පැටලුවනම් දහම්පාසලට අගෞරවයක් වෙනවා. ඒත් ඒක ඉබේම පැටලුන හන්ද අවුලක් නෑ. මොනවා වුනත් පියතුමා කිව දේ නම් හරියටම හරි ගිහින්

    ReplyDelete
    Replies
    1. හිතා මතා පැටලුවෙ නැති නිසා එහෙනම් මං නිර්දෝශයි. :)
      …බොහොම ස්තූති අයියා

      Delete
  7. මම නම් මේ උත්සවේ ගැන දැන ගත්තෙත් අදමයි..සිද්දිය ලස්ස්නට ලියල තියෙනවා..පියතුමා කිව්ව වගේම මේ කතාවෙන් කී දෙනෙක්ගෙ ලේ පිරිසිදු වුනාද චුට්ටක් හිනා වෙලා..එදා ඇඬුවට පාඩු නැහැ.. :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අක්කියෝ. එදා කඳුලු පෙරාගෙන අඩපු හැටි මතක් වෙද්දිත් දැන් හිනා යනවා. : D
      …අපේ පියතුමාට මේ ටිකේ හචින් යනවා ඇති හෝ ගලා. කට්ටියම මතක් කරනව නේ.

      Delete
  8. හලේ... මේ පැහිත්ත ආත්ති කලන් තියන දේවල්...!!! අපසාදෙනේ මගේ නංගි බබෝ,ඔයාට කොඩිය රබර් ගහේ පැටලුනු ගමන් හිත හිත ඉන් නැතිව ටක් ගාලා, කොඩියේ අධාරකේ දිගේ මුදුනටම නැගල පැටලුම ලෙහා ගත්ත නම්, පරක්කු නොවී කට්ටිය එක්කම යන්න තිබුන මගේ සුදු නංග පැටියෝ....
    ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා පැහිච්ච ආච්චිට ...... :)

    ReplyDelete
    Replies
    1. හලේ මං පරක්කු උනා නෙ.. ඔන්න අවුරුද්දට මගෙනුත් සුභ පැතුම් අයියට!

      …අයියෝ අපේ අච්චි අම්ම එහෙ ගියේ නෑ අනේ : P

      Delete
  9. ලස්සන තැනක්නේ.. ඔයා මගේ බ්ලොග් එකේ දාලා ගිය කමෙන්ටුවෙන්නේ මේ පැත්තට ආවේ...

    ReplyDelete
  10. බොහොම ස්තුතී අයියා.. සාදරෙන් පිළිගන්නවා මේ පැත්තට. :)

    ReplyDelete
  11. ඒ කාලේ හරි සුන්දරයි නේද?.. ඒක ඔයාට තවත් සුන්දර මතකයක් ඉතීරි කරලා...

    ReplyDelete
    Replies
    1. හුග්කම සුන්දරයි මුතූ.. කවදාවත් අමතක වෙන්නෙ නැති ලස්සනම කාලයක්.. :)

      Delete