Saturday, November 21, 2015

තනි සපත්තුව

බස් එකෙන් බහිද්දිම කුඩේ ඉහල ගත්තෙ වැස්සෙන් බේරෙන්න. කොහේදෝ ඉදන් හමාගෙන එන සීතල හුළන් කුඩේට දරා ගන්න බැරි තරම් සැරයි. ඒ නිසාම අත් දෙකෙන්ම අල්ල ගත්තත් කුඩේ ගහගෙන යන්න වගේ ඈතට ඇදෙනවා. අමාරුවෙන්  කුඩෙත් ඉහලගෙන ඇවිදන් ඇවිත් යන්තම් මහ පාරෙන් ඇතුලට හැරුනා විතරයි පොද වැස්සෙ තෙමෙන එක කුඩේ ආන්ඩු මට්ටු කරනව වඩා හොදයි කියලා හිතුන නිසා වට පිට බලලා පේන මානෙ කවුරුත් නෑ කියල සැක ඇරගෙන කුඩේ අකුලලා බෑග් එකට දාගත්තා. සීතල හුළග මහා වේගෙට ඇවිත් ඇගේ වදින අස්සෙ පොද වැස්ස වුනත් වැහි බිඳු ඇග හිල් කරන තරම් සැරට ඇගට වදිනවා. වැස්සට තෙමිච්ච පාර දිලිසෙනවා. මම බොහොම පරිස්සමට අඩි තිබ්බෙ මේ කෙහෙල්මල් සාරියකුත් ඇදගෙන අගල් තුනක විතර උස සපත්තු දෙකකුත් දාගෙන නිකම් ඇවිදගන්නත් බැරි කොට මේ වැස්සෙ නිකම් හරි ලිස්සල වැටුනොත් එහෙම වැස්ස වළාහක දෙවියො වගකියන්නෙ නැති නිසා.

වෙනදට පොද වැස්සට කුඩයක් නැතිව තෙමි තෙමි ඇවිදන් යන්න මං කොයි තරම් නම් ආසද? සීතළ හුළන් වැදි වැදි වතුර පිරිච්ච වළවල් වල ට ඕන කමින්ම කකුල තිය තිය ඇති වෙන්න වැහි බින්දු මූණට වැටෙන්න ඉඩ ඇරලා අහස දිහා බලාගෙන ඇවිදින්න මං කොයි තරම් නම් ආස ද? ඒත් අද ඒ සැහැල්ලුව මට දැනෙන්නෙ නැත්තෙ මේ නුපුරුදු සාරියක් පටලගෙන අඩි උස දාගෙන ඉන්න නිසා නේද කියලා හිතෙද්දි ලංකාවෙ මුලින්ම සාරී ඇදපු ගෑණිත් එක්ක පුදුම තරම් කේන්තියක් හිතට ආවෙ.

මුහු.. පාර හොදටම ලිස්සනවා. මේ නුපුරුදු ඇදුම් ඇදගෙන මේ කෙහෙල්මල කරන්න බෑ. මේ වෙළාවෙ මේ අතුරු පාරවල් වල ටුක් ටුක් හොයන්නත් නෑ නෙ. අදම මේ ජගලාත්තුවක් අදින්න වුනා  නෙ කෙහෙල්මල් ප්‍රොමෝශන් එකක් නිසා.. වෙන කරන්න දෙයක් නෑ. පාරත් පාලුයි. කවුරුත් පේන්නත් නෑ. මීටර සීයක් විතර යන්න තියෙනවා ගෙදරට තව. ගත්ත සපත්තු දෙක ගලවලා අතට.. බීපු මිනිස්සු සරම දෙපැත්තෙන් දනිහ ලගට උස්සා ගන්නව වගේ සාරියත් දනිහ හරියෙන් අල්ලල උස්සගත්ත දනිස්ස ට ටිකක් විතර පහලට වෙන්න. පුලුවන් උපරිම වේගෙන් හයියෙන් ඇවිදන් ටික දුරයි යන්න හම්බුනෙ.. කලුවර දෙබෑ කරගෙන සුදු පාට යෝධ ළයිට් එකක් ගැහුව වගේ මුලු පැත්තම එළිය කරගෙන අහස වටේ සුදු නයි දුවනවා. ඒකත් ඉවසන්න පුලුවන් කියමුකො.. ඊළගට කණ බීරි කරවන තරම් සද්දෙට පුපුරණ අකුණු වලට දන්න කාලෙ ඉදන් පරාණ බයක් තියෙන්නෙ. මම දන්නෙත් නෑ අකුණු පුපුරනකොට මෙන්න මං සාරියකුත් ඇදගෙන සපත්තු දෙකකුත් අතේ අරගෙන දුවනවා.

සාරි ඇදන් සපත්තු අතේ අරන් වැස්සෙ යන ගෑනු ළැමයින්ගෙ සභ්‍ය පින්තූර ජන්ජාලෙන් සොයා ගත නොහැකි විය..

නැවතුනෙ ගේට්ටුව ලග.. ඒකත් ගේට්ටුව කාඩා ගෙන ගේ ඇතුලට යන්න බැරි කමට. සද්ද බද්ද  නැතුව ගේට්ටුව ඇරල ගෙදර දොර ඉස්සරහට ගිහින් තට්ටු කරන්න කලින් සාරිය පහලට දාල හදාගද්දි මොකක් හරි අඩුයි වගේ දැනුනා. වැස්ස වළාහක දෙයියන්ගෙ ඇස් දෙක අන්ධ වෙන්න විධුලි කොටලා කන් බීරි වෙන්න අකුණු ගහන්න එපැයි මගෙ එක සපත්තුවක් මගදි වැටිල නෙ. දැන් ඉතින් මොනව කරන්නද, ආයෙ යන්නැයි සපත්තුව හොයන්න මේ හෙන ගහන අස්සෙ. ඒකත් අර උඩ ඉන්න වැස්ස වළාහක දෙයියන්ට බැනල ඒ උත්තමයවත් තරහ කරගෙන?

මං ඉතින් එක සපත්තුවක් හරි ඉතිරි වෙලා කොඳු කඩා නොගෙන නිරුපද්‍රිතව ගෙදර ආව එකට දෙවියන්ට ස්තූති කරල දොරට තට්ටු කරා.  ආච්චම්ම මිනිත්තු දෙකකට විතර පස්සෙ ඇවිත් දොර ඇරල මගේ දිහා බලපු බැල්ම නම් ඒතරම් හොද නෑ වගේ කියලයි මට හිතුනෙ..

"උදේ ඇදගෙන කරගෙන ගියාට මං හිත හිත හිටියෙ සාරියෙ රැලි ටිකවත් කඩා ගනීවි කියලා. දූ මොකද සපත්තුවක් ගලවගෙන?"

"සාරියෙ රැලි ටිකට මුකුත් වුනේ නෑ ආච්චම්මා, සපත්තුවක් නම් මගදි වැටුනා" කියාගෙන මාත් ගේ ඇතුලට ගොඩ වුනා.

ආච්චම්ම මූණත් දෙක කරගෙන කල්පනා කරනවා ඇත්තෙ කකුලෙ තියෙන සපත්තුව වැටෙනකන් නොතේරෙන්න මට ලාදුරු හැදිලවත් ද කියල වෙන්න ඇති. ආච්චම්මට ඕන විදියකට හිතන්න ඉඩ ඇරලා මං කෙලින්ම කුස්සියට ගියෙ තේකක් හදාගන්න වතුර එකක් තියන්න. ආච්චම්මත් ලේසියෙන් මගෙන් හරස් ප්‍රශ්න අහන්නෙ නැත්තෙ මගෙන් අහන ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන එක කෙසේ වෙතත් තවත් අවුරුද්දක් විතර කල්පනා කර කර ඉන්න පුලුවන් විදියෙ ප්‍රෙහෙලිකා වලින් උත්තර හම්බෙන නිසා වෙන්න ඇති.

ඒත් ඒ වෙළාවෙ අපේ අල්ලපු ගෙදර පොඩි කොලු පැටියා (පොඩි කිව්වට එකා උසස් පෙළ ) අපේ දිහාට රිංගලා ප්‍රොජෙක්ට් එකට කරුණු හොයන්න. ( පොඩි එකාට දෙමාපියන් විසින් ජන්ජාල පහසුකම් ලබා දී නොමැති නිසාවෙන් ජන්ජාල ගත වීම සඳහා අපේ දිහාට රිංගීම ට පොඩි එකා පුරුදු වී ඇත). ඒකටත් කට පියාගෙන ඉන්න බැරි ලෙඩක් තියෙන නිසා මං කුස්සිය ඉදන් එන පරක්කුවට අහන්න දත කට මැදන් හිටි ප්‍රශ්නය දබක් ගාල අත ඇරියා.

"අක්කා මොකො සපත්තුව වට්ටල ආවෙ? ඇයි බෑග් එකේද සපත්තු දෙක දාගෙන ගියේ? දත් තිස් දෙකම එළියෙ දාගෙන මේක අහපි.

"නෑ මල්ලි සපත්තු දාගෙන යන්නෙ කකුල් දෙකට නෙ. ඔයා දාගෙන යන්නෙ බෑග් එකේද? මං සපත්තුව වට්ටල ආවෙ ඕන කමට. තාම හොයාගන්න බැරි වෙලා නෙ මාව." මං ඇඟට පතට නොදැනි කියලා දැම්ම."

"ඒ කිව්වෙ?"

"නෑ කුමාරයට තාම මාව හොයාගන්න බැරි වෙලා මල්ලි. ඒකයි සපත්තුව දාල අවෙ. ඒක අහුලගෙන අනිත් සපත්තුව මැච් කරන්න අරං එයි නෙ හොයාගෙන. මං ඒකයි එකක් දාල අනිත් සපත්තුව අරන් ආවෙ."

බලන් ඉද්දි කොල්ලගෙ මූණ පුන්චි වුනා.

"මේ අනුන්ගෙ ඕප දූප හොයන්නැතිව කරන වැඩක් කරගන්නව හලෝ. ඉස්කෝලෙ වැඩක් ඇහුවොත් දන්නෙ නෑ. ළකුණු ඇහුවොත් මතක නෑ. ඒ වුනාට කාගෙ හරි ඕප දූපයක් ඇහුවොත් කන්න ඕනෙත් නෑ?" මං කොල්ලව කපලම දැම්ම. මේක ඕප දූප පප්ප.

කියල කට ගන්න හම්බුනෙ නෑ මේක ආයෙ පැන්න..

"අක්ක, ඔයාට කෝල් එකක්"

ෆෝන් එකක් වයිබ්‍රේට් දාල මේස උඩ තියලා තිබුන නිසා මට ඇහුනෙ නෑ. මල්ලි කියපු කමට නිකමට ෆෝන් එක අතට ගනිද්දිම අලුත් බොස්ගෙන් කෝල් එක?

"අලුත් බොස්.."

"මේ යකා මේ වෙළාවෙ මොකට කෝල් කරනව ද? හතත් පහු වෙළා නෙ" මට ඉබේටම හයියෙන් කියවුනා.

ඉතින් අක්කෙ අරගෙන බලන්නකො හදිස්සි උවමනාවක්ද දන්නෙ නෑ නෙ? අර ඔයා කිව්වෙ දවස් දෙක තුනකට කලින් ආපු පණ්ඩිත බොසා ද? ආන්සර් කරල බලන්න අක්කෙ

අනේ ඇත්තමයි මේකටත් ඕනෙ නැති කෙහෙල්මලක් නෑ. මගෙත් වැරද්ද මාත් කවුරුත් නැති කමට කා එක්ක හරි තද වුනාම මේකට නෙ ඇවිත් කියන්නෙ. මේ මනුස්සය දැන් ඔෆිස් එකට ඇවිත් දවස් දෙක තුනයි. ආපු මුල් දවසෙම හෙන පණ්ඩිත් ලෙක්චර් එකක් දුන්න අපේ ඩිපාර්ට්මන්ට් එකේ සෙට් එකටම. කෙල්ලන්ට කොයි වෙළාවෙත් නෝන්ඩි දාගත්ත ගමන්මයි ඉන්නෙ. ඒ ගැන කිය කිය දවසක් මේකත් එක්ක බැන්න නෙ මාත් ගෙදර ඇවිත්. ඒ මතකෙන් තමයි ඔය කියවන්නෙ.

"අයියෝ අක්ක කට් උනා නෙ" මේක ශෝක මූඩ් එකේ කියන්නෙ හරියට එයාට කෝල් එක ආව වගෙ නෙ.

"ඕනෙ නෑ මල්ලි, උවමනාවක් නම් ආයෙ ගනි නෙ" ඒ කියලා ඉවර කරන්න හම්බුනෙ නෑ මෙන්න මේකා ආයෙ කෝල් කරන්වා. කමක් නෑ ඔන්න ඔහෙ ආන්සර් කරනවා. ඔෆිස් එකේ කේස් එකක් වෙන්න ඇති.

"හෙලෝ"

"හෙලෝ ඉඳුනිල්, මේ වෙලේ කතා කරපු එක කරදරයක් ද දන්නෙ නෑ"

"කියන්න සර්, මොකක් හරි හදිස්සියක් නිසා නෙ සර් ගන්න ඇත්තෙ?" වෙන කියන්න දෙයක් මතක් උනේ නැති නිසා මං එහෙම කිව්වා.
ඒ අස්සෙ මල්ලි පුටුවෙ භාගෙට ඉදගෙන පස්ස උස්සගෙන මේසේ උඩින් බඩගාගෙන මේ පැත්තට ඇස් දෙකයි කන් දෙකයි ටියුන් කරන් ඉන්නවා කටත් ඇරගෙන.

"මේකයි ඉඳුනිල්, ඔයා අද අර සපත්තු දෙක ගලවල අතට අරගෙන සාරියත් කැහැපට ගහගෙන පාර දිගේ දුවගෙන ගියපු වෙළාවෙ ඔයාගෙ එක සපත්තුවක් වැටුනා නේද? ඒක හරියටම වැටුනේ ඔයා දුවන්න පටන් ගන්නකොටම වගේ... "

"ආ ඔව් සර්.. නෑ සර් වැස්ස නෙ සර්.. මේ.. ම්ම්..අ.." චික් විතරක් එක වචනයක් ගල්පගන්න බෑ නෙ. මෙච්චර දේවල් දැක්ක එකාට කාළගුණ වාර්ථා දීල වැඩක් තියෙනවයෑ.. ඒක ඔච්චර ජාති දැක්ක නම් දකින්න ඇතිනෙ වැස්ස බවත්.. මං මටම කියාගත්තෙ ඒ යකාට කියාගන්න දෙයක් හිතාගන්න බැරි උන නිසා.

මේ යකා මොන කෙහෙල්මලකට මේවා කියනවද මන්දා, මූට ඕනෙම කෙල්ලන්ව නෝන්ඩි කරන්න. දුශ්ඨයා..

"මං මේ ඔයාට කතා කරේ ඉඳුනිල් ඒ සපත්තුව වැටුනෙ හරියටම මං රෙන්ට් එකට ඉන්න ගෙදර ලඟ. මං රූම් එකේ ඉදන් හැමදේම බලාගෙන හිටියෙ. අනිත් දවසෙ වට පිට බලනවා වගේම පොඩ්ඩක් උඩ එහෙමත් බලන්න. ආ ඒක නෙමෙයි ඉඳුනිල් ඔයාගෙ සපත්තුව මං ඇහිදගත්ත. මං හෙට ඔෆිස් එකට ගෙන්නම්. හෙටට බාට දෙකක් දාගෙන එන්න පුලුවන් නෙ. අනිත් සපත්තුව බෑග් එකේ දාගෙන එන්න. කාටවත් අහු නොවෙන්න ඔෆිස් එකේදි බාට දෙක මාරු කරල සපත්තු දෙක දාගන්න බැරියෑ."

"ගුඩ්  නයිට් ඉඳුනිල්"

 චි මූ මෙච්චර දෙයක් කියලත් මට මූට මුකුත් කියන්න බැරි උනා නෙ.. මොනව කියලා කියන්නද මූ නම් මහ යකෙක්. කෙල්ලො පෙන්නන්න බෑ. කොයි වෙලෙත් ඔහොමයි. බූරුවා. මං හිතින් බැන බැන බෑග් එකත් අරන් කාමරේට යන්න හැරුනා.

"අක්කෙ බොස් මොකද කියන්නෙ?" එහා ගෙදර පොඩි එකා ආයෙ ඕප දූප හොයන්න ගාත්තා.

"මේ, වැඩෙ කරගෙන ඉවර නම් යනව යන්න. අවා මෙතන අනුන්ගෙ දේවල් හොයන්න. මෙහාට දෙනවා මගෙ ලැපී, ඩොන්ගල් එකයි. මට ඔෆිස් එකේ රිපෝර්ට් වගයක් දාන්න තියෙනවා."

සර් ට බැනගන්න බැරි ටික අර පොඩි කොල්ලගෙ පිටින් ගියා තමයි. ඌටත් ඔනෙ නැති එකක් නෑ නෙ. අනේ අර උගුඩුවට ඔය කාමරෙන් එබීගෙන ඉන්න වෙළාවක හෙනයක්වත් ගහන්නෙ නෑ නෙ.

36 comments:

  1. හරිම හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම බොහොම ස්තූති ඉයන් අයියා..

      Delete
  2. එතකොට නංගියේ උඹද සින්ඩරෙල්ලා ... මාරයි ඈ... අලුත් බොසාගේ පරණ පවක් පලදෙන්න යනවා මං හිතන්නේ , එකනේ උඹේ සපත්තුවම අහුලා ගත්තේ ,,, :P,

    කොහොම වෙතත් උඹේ මේ චිත්ත රූප මැවීමේ ලිවීමේ රටාව නම් අතිශය මනරම් . මම හිතන්නේ උඹ කම්මැලි වැඩියි නැත්තං මේ වගේ නිර්මාණ මේ තරං හෙමින් එලියට එන්න විදිහක් නෑ. ජය චණ්ඩි නංගි

    ReplyDelete
    Replies
    1. සින්ඩරෙල්ලාගෙ අලුත් වර්ශන් එක අයියෙ..

      අපේ ඒ යකා මේ වෙන කෙහෙල්මලකට නෙමෙයි ඔය කරන්නෙ. තනිකරම ගෑණු ළමයි එක්ක තියෙන තරහක් ඔය පිරිමහන්නෙ.. ඒකාගෙ පරණ පව කෙසේ වෙතත් මගෙ පවකට තමයි ඒ යකාගෙ මූණ බල බල වැඩ කරන්න වෙලා තියෙන්නෙ..

      ඇත්තටම කියනවා නම් ඉවාන් අයියා... කම්මැලිකම ප්ලස් තව තව බෝහෝ හේතු කාරනා ඇත. මේ ටිකේ නම් මේ කෙහෙල්මල් වීස් එක ටිකක් වැඩි වෙලා නිසා සෞඛ‍ය තත්ත්වයේ ප්‍රශ්නයක්ද පොඩි එහා මෙහා වීමක් ද ඇත.. ඕ යෙස්

      ස්තූති ඉයන් අයියා. අයියටත් ජය.. මතක් කර්ලා ශර්ට් එකක් තෝරද්දි වෙළාව බලන්ට හරිද :p

      Delete
    2. iyan nemyi appaa iwaan.. mei kehelmal auto correct.. samaawenu mana ayiyand

      Delete
    3. එහෙම සමාවෙන්නේ කොහේද මේ කලාවූ අපහාසෙට , හුහ් අහුවෙයන්කෝ :P

      Delete
    4. අපහාසය නෙමෙයි අයිය. නම්බු නාමය කියන්න..

      මං හිතුව මෙලහකට කිරිබත් කෑල්ලකුත් කාල ප්ලේන්ටියක් බොන්න ඇති කියලා සංතෝසෙට..

      Delete
  3. මම හිතුවේ සපත්තුව නිසා පෙම් පලහිලව්වකුත් ඇති වෙයි කියලයි.

    ReplyDelete
    Replies
    1. හපෝයි අර යකා එහෙම දේකට නෙමෙයි මනෝ අයියා ආවෙ. තනිකරම මාව නෝන්ඩි කිරීමේ පරම පිවිතුරු චේතනාව පෙරදැරි කරගෙන. ඕ යෙස්

      Delete
    2. දන්නෙ නැහැ නේද ලොක්ක මේ බ්ලොග් එකට එනව කියල වෙන නමකින්?

      Delete
    3. ඉයන් අයියෙ බය කරන්න එපා. ඒකා කොහොමත් මාත් එක්ක නයි වෛරයි.. මේක දැක්කොත් එහෙම රස්සාවෙනුත් එළවයි.

      අම්මෝ මං නිකම්වත් හිතුවෙ නෑ ඔය පැත්තෙන්. ඒත් මං හිතන්නෙ නෑ මෑන් බ්ලොග් කියවනවා කියලා. එහෙම රසාස්වාදයක් තියෙන පොරක් වෙන්න බෑ..

      ඉයන් අයියා ඔහොම කියන්නෙ විහිලුවට නෙ.. දැක්කත් මරන්නැයි ඇත්තනෙ දැම්මෙ.. හැබැයි අර ආදරණීය නම් ටික තමයි කේස් එක වෙන්නෙ.. මේ මේකෙ ප්‍රයිවසි දාන්න බැරිද දන්නෙ නෑ..:P

      Delete
  4. Replies
    1. ස්තූති දේශකයෝ..
      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා

      Delete
  5. /සාරි ඇදන් සපත්තු අතේ අරන් වැස්සෙ යන ගෑනු ළැමයින්ගෙ සභ්‍ය පින්තූර ජන්ජාලෙන් සොයා ගත නොහැකි විය../
    ඉතිං අසභ්‍ය එකක් හරි දාන්න නෙ තිබ්බෙ...

    ReplyDelete
    Replies
    1. හපූයි... ඩ්‍රැකි අයියා නෝටියා.

      අපි හොද වැදගත් අහිංසක ළමයි. ඕ යෙස්.. ඕනම කොටු කොටු දාල දාන්නම් ඊළග පෝස්ට් එකක..

      Delete
  6. අර බොසාට කියන්න තිබ්බෙ, "ගෑණු ළමයි එහෙම තමයි. සුපර් ග්‍රෑන් නෙවෙයි වැස්සට අකුණු වලට බය නොවී ඉන්න" කියල. මාර ටොපික් එකක් ඌ හොයාගෙන තියෙන්නෙ නෝන්ඩි කරන්න... උගෙ අම්%$#@

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ඩ්‍රැකී අයියෙ.. මහම මහ පුස් මූනෙක්..
      ගෑනු ළමයින්ට විතරයි පාර්ට් දාන්නෙ. කොල්ලොන්ට මුකුත් කියන්නෙ නෑ. මං හිතන්නෙ මෑන් කොල්ලන්ට බයයි..බොරුවට කෙල්ලො බය කරගෙන චන්ඩියා කියල පෙන්නන්න හදන කාර්ඩ්බොර්ඩ් වීරයෙක්. හැමදාම මීටින් දානව අපිට.. ගහන්න හිතෙනවා මැරෙන්න පම්පෝරි කියවද්දි..

      Delete
    2. ඉතිං ගහන්නකො වචන වලිං. සද්ද නැතුව ඉඳලා ඉඳලා, නියම තැනදි නියම වචනෙ දැම්මනං ආයෙ උන්දැ ඔයා දිහා බලාගෙන බත් කන්නෙවත් නෑ...

      (අර - බල්ලො බත් කන් නෑ කියල කතාවක් තියෙන්නෙ. ඒක නෙමෙයි මං කිව්වෙ)

      Delete
    3. මං ලොකු කතා කියද්දි නම් කපලම දානව එයාගෙ පම්පෝරි අහන්න නෙමෙයි නෙ අපි ඔෆිස් යන්නෙ. ඒවත් එක්ක තමා මාව නෝන්ඩි කරන්නෙ වැඩියම. ඒක කියන ඒවා අහගෙන එහෙයි කියාගෙන ඉන්න කෙල්ලන්ට මාර ලව්. ඒ වුනාට මහම ඇණයක් අයියා.


      බල්ලො බත් කන්නෙ නෑ කියලා මං දැනන් හිටියෙ නෑ නෙ ඩ්‍රැකි අයියා. ඒකත් මාරයි නෙ :P

      Delete
    4. ලොකුම දේ තමා, "ඌ පිස්සෙක්" කියන එක මතක තියාගෙන වැඩ කරන එක. "ඌ පිස්සෙක්" කියන එක ඌට පෙන්නන්න හැකිවෙන හොඳම අවස්ථාවෙ ඒක වැඩිදෙනෙක් ඉස්සරහපිට පෙන්නන එක තමා ඊළඟ පියවර.

      සුගතපාල‍ ද සිල්වගෙ පොතක් .තියෙනවා "බල්ලෝ බත් කති" කියලා. ඒ නිසා බල්ලො බත් කනව ඇති.

      මං අර කිව්වෙ "බොගෙ මූණ දැක්කම බල්ලො බත් කන්නෑ" කියන ව්‍යවහාරය ගැන. (පෞද්ගලික මඩක් නොව, හුදෙක් සාහිත්‍යයම පමණක් බව කරුණාවෙන් අලකන්න)

      Delete
    5. ඔබේ උපදෙස් අනුව ක්‍රියා කරලා බලන්නම් ඩ්‍රැකී අයියන්ඩි.. ඔන්න මගෙ රස්සාව ට මොකක් හරි උනොත් එහෙම මගෙ වියහියදම් බලා ගන්න ඕනෙ.. මාසෙකට රුපියල් තිස් දහක් විතර තිබුන නම් ඇති ඩ්‍රැකි අයියා..

      //කරුණාවෙන් අලකන්න.//
      මං අල වලට ඒතරම් කැමති නෑ ඩ්‍රැකි අයියා.. කේක් වගේ නම් කන්න තිබුනා. අර ඩ්‍රැකි අයියා ගානෙ දෙනවා කිව්ව කේක්..

      Delete
    6. /ඔන්න මගෙ රස්සාව ට මොකක් හරි උනොත් එහෙම මගෙ වියහියදම් බලා ගන්න ඕනෙ.. මාසෙකට රුපියල් තිස් දහක් විතර තිබුන නම් ඇති ඩ්‍රැකි අයියා../

      මදැයි. ඩ්‍රැකියානි හම්බවෙන්න කළිංවත් කිව්වනං සළකාබලන්න තිබ්බා...

      මයෙ ගානෙ කේක් කන්න තාම බැරිඋනාද? යන්නකො පෙරේරා ඇන්ඩ් සන්ස්... ගිහිං මං කිව්ව කියල අරං කන්න බඩපැළෙන්න... වැඩිම උනොත් පෙරේරගෙ බේකරිය අතුපතුගාන්න, තැටි සුද්ධ කරන්න වගේ ව්‍යායාම ටිකක් කරන්න වෙයි ඊට පස්සෙ. කාපු කේක් වල තියෙන කොලෙස්ටරෝල් ටික පිච්චෙන්නත් එක්ක එහෙම ව්‍යායාමයක් නැතුවත් බෑනෙ ඉතිං...

      Delete
    7. කේක් අරන් දෙන්නෙ නැති ලෝභ ඩ්‍රැකි අයියා උඩුකුරුඤ්ඤන්..
      මංම ගිහින් මංම සල්ලි දීල මංම කේක් අරන් මංම කන්නම්..
      වෙන මොනවා කරන්නද ඉතින්.. ඉබ්බගෙන් පිහාටු ඉල්ලුව වගේ තමයි ඩ්‍රැකි අයියගෙන් කේක් ඉල්ලනවා කියන්නෙ..

      අම්මෝ මෙන්න ඩ්‍රැකියානි අක්කා ගහන්න එනෝ.. ඩ්‍රැකි අයියා උඩුකුරිඤ්ඤන් අද ශුවර්..

      Delete
  7. Lassanai. Lokka dakkoth Evarai.

    ReplyDelete
    Replies
    1. ලොක්ක දැක්කොත් ඉතින් එක්කො මාව එළවයි.. නැත්තම් ඉතින් මේක නොදැක්ක වගේ අයෙ මට පල් පාට් නොදා පාඩුවෙ චූටි කුකූ වගේ ඉදියි..

      ඕකෙ පළවෙනි එක වෙන්නත් බෑ. මොකද අපිව එහෙම එළවන්න එයාගෙ බාප්පගෙ කොම්පැනිය ද? හුහ් අපි පර්මනන්ට් ස්ටාෆ්. ඕ යෙස්..

      ස්තූති ඇනෝ අක්කා/ අයියා/මල්ලි/නංගි
      ගැලපෙන එක විතරක සලකා අනිත් ඒවා නොසළකා හරින්න..:)

      Delete
  8. පුතේ අර ඇනෝ ඇවිත් කොමන්ට් එකක් දැම්මේ මම (ලොක්ක දැක්කොත්) ඔයා ලස්සනට ලියනවා,මම අවුරුදු හතලිස් ගානක වයසක මනුස්සයෙක්.
    ජය වේවා,
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඇනෝ අයියා ලෙස සලකන්න..
      බොහොම ස්තූතියි අගය කිරීමට..
      සාදරයෙන් පිළිගන්නවා ලලිත් අයියා හෙවත් ඇනෝ අයියා.. :)

      Delete
    2. හතලිස් ගානක් වුනාට මොකෝ අපි ඔෆිස් වලත් වැඩිමල් ඔක්කොටෝම අයියා අක්කා කියන එකේ සයිබරේ වෙනසක් වෙන්න බෑ නෙ. ඒ නිසා ලලිත් අයියා..

      Delete
  9. Replies
    1. අනිත් දවසකිව්වෙ සිකුරාදා.. එදා දැම්ම සික් ලීව් එකක්.. සදුදා වන අදද සික් ලීව් ය.. හෙටත් ලීව් දාල ඉන්නෙ.. බරහස්පතින්දාම වැඩට යන්න හිතන් ඉන්නෙ හරී අයිය..

      මොකෑ කැපිටල්?

      Delete
  10. එනපොට හොද නැ කෙල්ල ගං ගෙට කියුවලු

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අටම් අයියෙ, ගෙට වෙලා තාමා ඉන්නෙ තාම ඔෆිස් එක පැත්තෙ ගියෙ නෑ.. බ්‍රහස්පතින්ද තමා ආයෙ එළි පහලියට බහින්න හිතන් ඉන්නෙ. ඕ යෙස්.

      Delete
  11. මං හිතුව ඔෆිස් එක ලඟ පාරෙ සපත්තුව වැටිල බොස් අහුලගෙන ඊලඟ දවසෙ පියන් කෙනෙක් යවල කාගෙ කකුලටද ෆිට් වෙන්නෙ කියල හොයයි කියල

    ReplyDelete
    Replies
    1. හි හි.. ස්තූති ප්‍රා ජේ මේ පැත්තට ආවාට..

      කියන්න බෑ.. සපත්තුවට මොකක් කරයි ද දන්නෙ නෑ..

      Delete
  12. \\සාරි ඇදන් සපත්තු අතේ අරන් වැස්සෙ යන ගෑනු ළැමයින්ගෙ සභ්‍ය පින්තූර ජන්ජාලෙන් සොයා ගත නොහැකි විය..//
    අසභ්‍ය පින්තූර තිබ්බා කියන එකද එතනින් කියන්නේ???

    \\ඒකත් අර උඩ ඉන්න වැස්ස වළාහක දෙයියන්ට බැනල ඒ උත්තමයවත් තරහ කරගෙන?//
    ඔයා මෙහෙම ඇත්තටම කරාද??? මම නම් ඇත්තටම එහෙම කරලා තියෙන්නේ... ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවාද කියලා හිතන්ට තරම් ඒකේ විපාකත් ලැබුණා...

    අද උදේ සාරි ඇඳලා යන කෙල්ලෝ ටිකක් දැකලා මම හිතුවා ඇයි මේ රෙද්දක් පටලවා ගෙන දුක් විඳින්නේ මේ අය කියලා...

    දැන් එතකොට බොසාද කුමාරයා???

    කතාව පට්ට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. සාරි ඇදලා නෙමෙයි වැස්සට සාරි ඇගේ ඇළිච්ච පින්තූර ටිකක් විතර අසභ්‍ය සහ මහා පරිමානෙන් අසභ්‍ය ඒවා තමා තිබුනෙ..

      ඔව් ඉතින් විදුලි කොටද්දි ඉතින් එහෙම හිතලා තියෙනවා..
      විපාක ලැබුනා කිව්වෙ? ඒ කියන්නෙ ඔයාට අකුණු කරදරේකට මුහුණ දෙන්න වුනාද ?


      හපූයි ඔව්.. සාරිය නම් මහා එපා කරපු ඇදුමක්, යාර හයක් පටලවගනත් දැන් කාලෙ සාරි ඇදිල්ලෙන් හරියට ඇඟ වත් වැහෙනවා නම් කමක් නෑ.

      ඔව් ඔව් බොසා තමයි කලු කුමාරය.. හැබැයි බොස් කලු නම් නෑ. වැඩ තමයි කලු..

      බොහොම ස්තූති යාලු

      Delete