Sunday, July 3, 2016

අයියයි මායි Vs අක්කා සහ හොල්මන with බල්ලා - Part 2

(ඔන්න පහුගිය කොටසෙන් ඔයාල "අයියයි මායි Vs අක්කා" එපිසෝඩ් ටිකයි
"හොල්මන with බල්ලා" එපිසෝඩ් එකේ පටන් ගැන්මයි කියුව්වනෙ.. ඒකේ ඉතිරි ටික.. )


 අයියාගෙ අසාමාන්‍යය හැසීරීම අක්කටයි මටයි ඒ වෙනකොටත් තේරුම් ගන්න බෑ. එක පාර ගැස්සිල පිටිපස්සට වෙනව. ආයෙත් අපි දෙන්න දිහා බලනවා. ඒ වෙද්දි නම් මගේ හිතෙත් පුංචි බයක් ඇති වෙලා තිබුනා. අක්කාත් නොපෙන්නුවට බය වෙලා හිටියෙ. ඒ නිසාම වෙන්න ඇති අක්කා අයියගෙ අත අල්ලගෙන කතා කලේ

"ඇයි මල්ලි, මොකද මේ? ඔයා අමුතුයි, කියන්න ඔයා මොකද බය වෙලා වගේ ඉන්නෙ? " අක්කා ඒ තරම් ආදරෙන් කතා කරන්නෙ එක්කො එයාට මොකක් හරි වැඩක් කරගන්න ඕනෙ වුනාම, නැත්තම් එයා දුකින් හරි බය වෙලා හරි ඉන්නකොට.

අපේ අයියත් ඇස් දෙක ලොකු කරල මගේ දිහා බලන ගමන් අක්කට උත්තර දුන්න

"නෑ අක්ක, ඔයාට මුකුත් වෙනසක් තේරෙන්නෙ නැද්ද?, චූටි නංගි ඔයාට මුකුත් පෙවුනෙ නැද්ද  අතන?" ඒ අතර අයිය අක්කගෙ පුටුව උඩින් ඒ පිටිපස්සට අත දික් කරන ගමන් ඇහුවා.

"නෑ අයියා, ඇයි මොකද? අනේ මට නම් බයයි" කියාගෙන ඉන්න තැනින් නැගිටල අයියා ලගටම ගිහින් එයාගෙ එහා පත්තෙ පුටුවෙන් ඉඳගත්ත නෙමෙයි ඉන්ඳවුනා. මොකද නොපෙනෙන දේවලට මං කොහොමත් අසාමාන්‍ය විදියට බයයි.

"නෑ නෑ ඔයා බය වෙන්න එපා. මං නිකන් ඇහුවෙ."අයියා ඒක කිව්වෙ අපි දෙන්නගෙම බය අඩු කරන්න වගේ.
ඒ වෙද්දි අපේ අක්කත් චන්ඩිකම් පැත්තක තියල හිටපු තැනින් නැගිටල මගෙ එහා පැත්තට ඇවිත් ඉඳගත්ත.

"අක්කෙ ඔයා චූටි නංගි අරන් කාමරේට යන්න මං දොරවල් වහලද බලලා එන්නම්. බය වෙන්න එපා, මට නිකම් සද්දයක් ඇහුන. එච්චරයි දෙන්නත් එක්ක ඔයාලගෙ කාමරේට යන්නකො. මං එන්නම්" අයිය එහෙම කිව්වට එතන ඊට වඩා දෙයක් තියෙනව කියලා ඒ වෙද්දි මටත් තේරුනා. අක්කටත් එහෙමම වෙන්න ඇති. ඒ නිසා අපි දෙන්නත් එක්කම කාමරේට යද්දි අයිය නැගිටල කුස්සිය පැත්තට ගියා. අයිය මේ බොරුවක් ද කරන්නෙ කියන සැකේ මගේ හිතේ නොතිබුනාම නෙමෙයි. ඒත් නිකම් බොරුවට චන්ඩිය වෙන්න ගිහින් අවදානමක් ගන්න ඔනේ නැති නිසා මාත් අක්ක එක්කම කාමරේට ගියා.

ඒත් ඒ වෙලේ එක පාරටම ලයිට් ගියා. එතකොට දහයත් පහු වෙලා. ඒ අස්සෙ අයියත් නෑ. අපි දෙන්නම කාමරේ ඉදන්ම අයියට කෑ ගැහුව. ඒ එක්කම වගේ අයියා ටෝච් එකකුත් උස්සගෙන කාමරේට අවා. ඒ වෙනකොට අපි දෙන්නම අක්කගෙ ඇදේ ඉදගෙන ගුලි වෙලා හිටියෙ. අයිය මගේ ඇදේ ඉදගත්ත. මගේ ඇඳ තිබුනෙ ජනේලේ ගාව බිත්තියට හේත්තු වෙන්න. අයිය ටෝච් එකත් මූනට ගහගෙන ඒ වෙළාවෙ කියපු කතාවට අපි තවත් බය වුනා.

"අක්ක මං නුවර පොඩි මාමව දැක්ක කලින්" ඒකයි මං ඔයාලට කාමරේට යන්න කිව්වෙ. මගෙ ඔලුවත් අවුල් වගේ"

"ඒ කිව්ව විතරයි මං අඩාගෙනම අයියා ලඟට පැන්න. අපේ අක්කත් ඒ එක්කම එතනට අවා.  මං හිටියෙ ජනෙලෙට පිටුපාල. ඒ අස්සෙ අයියගෙ අතින් ටෝච් එක ඕෆ් උනා. ඒ එක්කම අක්කත් කෑ ගහගෙන උඩ පැන්නා.

"අනේ මගෙ ඇඟට මොකද්ද වැටුනා" හ්ම් හ්ම් හුහ් මෙන්න අපේ අක්කත් අඩනවා.

ටෝච් එක පත්තු කරගත්ත අයියා ටෝච් එකේ එළිය අක්කට වැටෙන්න අල්ලගනිද්දි  අක්ක ඉදගෙන හිටපු තැන බාගෙට කාපු ගෝල්ඩ්මාරි බිස්කට් එකකුයි චොක්ලට් බිස්කට් එකකුයි..

දැන් මායි අක්කයි දෙන්නම අඩනවා.

අයිය වීරය වගේ බිස්කට් දෙක අරගෙන බිමට විසි කරල දැන්මා.

"මල්ලි අපි ශිරානි නැන්දලට කතා කරමුකො. අනේ මල්ලි මට නම් බෑ බයයි." අක්ක කියුවෙ අපේ එහා ගෙදර ඉන්න නැන්ද ගැන. එයා තමයි ඉතින් අපේ සැපට දුකට ලඟම ඉන්නෙ.

"එපා අක්ක, මේ වෙලාවෙ එළියට යනව කියන්නෙ ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. අපි මෙතනම ඉමු. බය වෙන්න එපා. බය වුනොත් ඔක්කොම ඉවරයි. මං අහල තියෙනව ඔය එක එක දේවල් කරල බය කරන්නෙ මිනිස්සුන්ව එළියෙ අන්ධකාරෙට ගන්න කියලා. මහ පොළව උඩ අහස යට එළිමහන කියන්නෙ උන්ගෙ රාජ්ජෙ. එතකොට උන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඔයාලට එළියෙ සද්ද ඇහෙන්නෙ නැද්ද, මට නම් ඇහෙනවා. අනික බලන්න මේ ටිකේම වැස්ස නෙ රෑ තිස්සෙම. අද හොදටම වැස්ස තිබිල එක පාරට නතර වුන හැටි.  ඒ නිසා අපි ඇතුලටම වෙලා ඉමු. තාත්තලත් තව ටිකකින් එයි නෙ."

මේ වෙද්දි නම් මට කතා කරගන්නවත් බෑ. පස්සෙ ටික වෙළාවක් යනකන් තුන් දෙනාම හ්ම් සද්දයක් නැතුව මූණට මූණ බලන් හිටියා. ඒත් අයිය කිව්ව වගේ සද්දයක් නම් අපිට එළියෙන් අහුනෙ නෑ. ඒත් එකපාරටම ඔව් මට දැනුත් ඒ ක මතක් වෙනවා. එක පාරටම ජනෙලේ දිහායින් ගොරවන සද්දයක්.. මං හිටියෙ ජනේලෙට පිටුපාල. අක්කා මාව ඉක්මනටම එයාගෙ ලඟට ඇඳලා ගත්තා. දැන් අපි තුන්දෙනාම ජනේලෙ දිහා බලාගෙන. ජනේල් වීදුරව වැහි වතුර නිසා මීදුම වගේ බැදිල. පැහැදිලිව අපිට එළිය පෙන්නෙ නෑ. ඒත් එන්න එන්න ම ගොරවන සද්දෙ වැඩි වෙනවා.

අයියගෙ ටෝච් එළිය කෙලින්ම ජනේලෙට වදින්නෙ නැති වුනත් ඒ එලියට ජනේලෙ හොදට පේනවා. අක්කයි මායි දෙන්නට දෙන්න තුරුලු වෙලා, ඒ අතරෙ මං අයියගෙ අතින් තද කරල අල්ලන් හිටිය. එක පාරටම අර මීදුමින් වැහිලා තිබුන ජනේලෙ මීදුම අයින් කරගෙන සුදුමැලි වෙච්ච අතක් වීදුරුව දිගේ එහෙ මෙහෙ වෙනවා. අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක්ගෙන්වත් හ්ම්ම් සද්දයක් එළියට ආවෙ නෑ.




අයියත් අපි දෙන්නට ලං වුනා ඒ වෙළාවෙ. මගෙ පපුව ගැහෙන වේගෙ වැඩි වුනා. අක්කත් හයියෙන් හුස්ම ගන්නව මට හොදටම දැනෙනවා.ජනේල් වීදුරුව උඩ තුන් හතර පාරක් එහා මෙහා වෙච්ච සුදුමැලි අත එක පාරටම අයින් වුනා. ඒ අතරෙ ජනේල එහා පැත්තෙන් මනුස්ස රූපයක් පේනව පල්ලෙහාට වෙනකන් එල්ලෙන දන්වැලක් එක්ක. ඔව් යකඩ දන්වැලක් එක්ක. ඒ එක්කම එකපාරටම සුදුමැලි වෙච්ච මූණක් ජනේල් වීදුරුව ඉස්සරහ. ජනේල් වීදුරුවට නහය, කම්මුල් දෙක නිකට මිරිකිලා තවත් දිලිසුන විරූපි වෙච්ච මූණක්. ඒ නිසා ඒ මූණ හරියට පැහැදිලි නෑ, අනිත් එක හරියට එළියක් තිබුනෙත් නෑ..




අක්කා බය වෙච්ච පාර කෑ ගහගෙන ඇදෙන් බිමට පැන්න විතරයි අපි දැක්කෙ. මට කිසි දෙයක් තේරුම ගන්නත් බෑ. කෑගහන්නවත් බෑ. හෙල්ලෙන්නවත් බෑ.  ඒ තරමට මං බය වෙලා. ඒ අතර අයිය මාව ඇදගෙන එළියට දිව්වා. අයියත් හයියෙන් හුස්ම ගන්නව. ඒ වෙද්දි අයියා අපිව බොරුවට බය කරන්න හිතාගෙන බොරු නෙමෙයි  කරේ කියන දේත් එක්ක තවත් මං අයියගෙ අත තද කරලා අල්ලගත්ත. මොකද ඒ කාලෙ මගෙ වීරය අයියනෙ.

අයිය මාව එක්කගෙන සාලෙට ගිහින් පහනෙ තෙල් අරගෙන මගෙ නල්ලෙත් ගාල එයගෙත් ගා ගත්ත. ඊට පස්සෙ මට එතනම ඉන්න. කොහෙවත් යන්න එපා කියලා කොහේදෝ යන්න ගියා. ඒ ගමන ඉස්සරහ දොරට කවුදෝ තඩි බානවා. අක්කට මොනව වුනාද දන්නෙ නෑ.

මං අයියා කියපු විදියටම එතනින් හෙල්ලෙන්නෙවත් නැතිව හිටියා. එ අතරෙ ඉස්සරහෙන් මට ශිරානි නැන්දගෙ කටහඩ ඇහෙනවා. ඒත් මං හෙල්ලුනෙ න. අයියා කිව්වනෙ උන්ට ඕනෙ අපිව එළියට ගන්න කියල. කවුද දන්නෙ උන්ට කටහඩ වෙනස් කරන්නත් පුලුවන් ඇති නෙ. මං එහෙමම බිම ඉඳගෙන ඇස් දෙකත් වහගෙන දන්න ඔරසන් කියන්න ගත්ත. එක පාරටම කරන්ට් අවා. ඒ වෙළාවෙ තමයි යන්තම් ඇඟ ට ලේ ටිකක් ඉනුවෙ. ඔන්න ඒ ගමන්ම වගේ ඉස්සරහ දොර ගාවින් ඇහුන සද්ද ඔක්කොම නැවතුනා. ඒ කියන්න අයියා කියුව වගේ උන්ට ඔනෙ වෙලා තිබුනෙ අපිව එළියට ගන්න. ඒව කොහෙද අපේ අයිය ඉන්න කන්.

ඔන්න එතකොටම අයියත් දාඩිය පෙරාගෙන මං ලඟට දුවගෙන් ඇවිත් මාව තුරුල් කරගත්ත. ඒ වෙද්දිත් මට හරියට කතා කරගන්න බෑ. ඒ තරම් බය වෙලා.

"කෝ චූටි අක්ක? " අයිය  අහල ඉවර කරන්න හම්බ වුනේ නෑ අපි හිටපු තැනට ටිකක් එහාට වෙන්න තියෙන සාලෙ ජනේලෙට ආයෙ තට්ටු කරනවා. අයිය ගැස්සෙනව මට හොදටම තේරුනා. ඒ එක්කම ශිරානි නැන්ද කතා කරනවා ආයෙ..

"දොර අරින්න දරුවෙ මේ මම. මොකද වුනේ. චතුර දොර අරින්න."

අපේ අයිය ඒක ඇහුන විතරයි දඩ බඩ ගාල දොර අරින්න යන්න හදනවා. ඒව කොහෙද මාත් එක්ක.

"අනේ අයියා එපා, එපා, ඔය උන්ගෙ වැඩක්. අපිව එළියට ගන්න, ඔයාමනෙ කිව්වෙ, දොර අරින්න එපා. අපි අම්මල එනකන් ඉමු. අනේ යන්න එපා අයියා. ඔහොම ඉන්නකො." මං අයියගෙ අතින් අල්ලගෙන නාහෙන් ඇඩුවට හරි ගියෙ නෑ අයිය මගෙ අත ගසල දාල නැගිට්ටා. මෙච්චර කල් අයියා මාව ඇහක් වගේ ආරක්ශා කලානෙ. එහෙම තියෙද්දි මේ වෙලේ නංගි කෙනෙක් විදියට එයාව ආරක්ශා කරන එක මගේ යුතුකම කියලා හිතාගෙන නැගිටල ඇවිදගෙන යන්න හදන අයියගෙ කකුලෙ එල්ලුනා. අපි හිටපු තැන ඉදන් දොර ගාවට අඩි දොළහක් විතර යන්න ඕනෙ. ඔන්න දැන් මං බිම ඉඳගෙන අයියගෙ කකුලෙ එල්ලිලා එයාව නවත්තන්න හදනවා. මොන අපේ අයියා මාවත් ඇඳගෙනම දොර පැත්තට ඇවිදනවා.

ඒ වුනත් මට අයියව දාල යන්න හිතෙන්නෙ නෑ. දැන් දොර ඇරපු ගමන් අයියව ඇඳල එළියට ගනී. අනේ මගෙ අයියට මොනව හරි වුනොත්.. දාහක් දේවල් ඔලු ගෙඩියෙ වැඩ කරද්දි  අයිය දොර ඇරිය. මං ඇස් දෙක වහගත්තෙ ඊලඟට වෙන දේ බලන්න තරම් හයියක් මට තිබුනෙ නැති නිසා. ඒත් මට ආයෙත් ඇහුනෙ ශිරානි නැන්දගෙම කටහඩ.

"මොකද ළමයො මේ බය වෙලා. කෝ ලොකූ, චූටි දූ කෝ නැගිටින්න මොකද වුනේ. අයියලා තාම ගෙදර ඇවිත් නැතිව ලයිට් ඔක්කොම නිවල නිසා මං සුමනව එව්ව පොඩ්ඩක් බලලා එන්න කියලා. ඒ අස්සෙ මෙහෙන් ලොකූ කෑ ගහනව ඇහුන නිසා මේ මාත් දුවන් ආවෙ. ඒ එන අතරෙ සුමනා මාවත් පෙරලගෙන ඒ පැතතට ආවා. ඒ මනුස්සයත් බය වෙලා. විස්තරයක් ඇහුවට එක වචනයක්වත් කියන්නෙ නෑ "

මන් කොයි එකටත් කියල අයියට මුවා වෙලාම හිටියා. කියන්න බෑ නෙ මට නම් ඒ කියපු කතාවත් ඒ වෙලාවෙ අල්ලුවෙ නෑ. මෙච්චර දෙයක් වුනා අපිව බලන්න සුමන තියා සුමනගෙ බල්ලවත් ආවෙ නෑනෙ. ( ශිරානි නැන්දගෙ තනි නොතනියට හිටියෙ සුමන කියලා ගෑනු කෙනෙක්. එයාට සාමාන්‍ය කෙනෙක් වගේ දේවල් තේරුම් ගැනීමෙ හැකියාව අඩුයි. ඒ මනුස්සයගෙ අම්ම මැරුනම පස්සෙ ශිරානි නැන්ද එහෙ ගෙන්න ගෙන තියාගෙන. ඉතින් එදා ඉදන් සුමන එහෙ නිත්‍ය සමාජිකාවක් වගේම ශිරානි නැන්දලා ගෙදර දන්න කාලෙ ඉදන්ම බල්ලෙක් ඉන්නව. එක්කෙනෙක් නැති වෙද්දි තව එකෙක්. සුමන කොහෙද යන්න බල්ලත් එතන.

අපේ අයියා බිල්ල වගේ බිම බලාගෙන ඉන්නවා. අක්කා පේන මානෙක නෑ. එ අස්සෙ ආයෙත් අර ගොරවන සද්දෙ එක්ක දම්වැලක සද්දයක් අහෙනව මිදුලෙන්.. මං ආයෙත් අයියගෙ අතේ එල්ලුනා. අයියත් ශිරානි නැන්ද දිහා බැලුවෙ බයට.

" නැන්දෙ ඔය ඇහෙනවද, ඒකා ආයෙ එනාව.. කලිනුත් අවා. අපි කාමරේ හිටියෙ. අයියා අඟක් මුලක් නැතිව කියෝගන යනවා.."

ශිරානි නැන්දා මහ කැත හිනාවක් දැන්මා. මගේ සැකේ හරි කියලා ඒ වෙලාවෙම මට හිතුනා. මේ ශිරානි නැන්ද නෙමෙයි අරුන්ගෙන් එක්කෙනෙක්. මුලින් බොරු කරල අපිව අල්ලගෙන පස්සෙ අනිත් උන්ට එන්න කියන්න ඇති. නැත්තම් අසරණ වෙච්ච ළමයි දෙන්නෙක්ට හිනා වෙනවද මෙහෙම.. මං එහෙම හිතුව. ඒත් ඒක විනාඩි ගානකට විතරයි.

මොකද අර ගොරවන සද්දෙ එන්න එන්න ලං වෙද්දි මෙන්න දොර ගාව සුමනා. අතේ  එල්ලෙන දංවැල ඉවර වුනේ බල්ලගෙ බෙල්ලෙන්.ඒ කියන්නෙ... ඒ කියන්නෙ.. හොල්මන සුමනා.

අපි ජනෙලෙන් දැක්කෙ සුමනා. ගෙදර ලයිට් එකක්වත් නැතිව කාමරේ විතරක් එහා මෙහා යන එළිය මොකද්ද බලන්න සුමනා ජනේලෙ පැත්තට ඇවිත් තියෙන්නෙ. ඒ මනුස්සයට ඉස්සරහ දොරට තට්ටු කරල කතා කරන්න තරමට තේරුමක් තිබිලා නෑ.ඒක හරි කියමුකො. ඒත් අයිය දැක්ක නුවර පොඩි මාම? එතකොට අපිට විතරක් කරන්ට් එක ගියේ? අක්කගෙ ඇඟට වැටුන භාගෙට කාපු බිස්කට්? හ්ම් එතකොට අපේ අක්කගෙ අතුරුදහන් වීම? මගේ ඔලුව ඇතුලේ දාහක් දේවල් කැරකෙද්දි අපේ අයිය සැනසුම් සුසුම් හෙලනවා. ඇයි දෙයියනේ මේකට මොන වෙලාද? ශිරානි නැන්දට කිව්වෙත් අපි කාමරේ ඉදන් ඉද්දි වුන දේවල් විතරයි

"කෝ දැන් දෙන්නත් එක්ක අක්කව හොයන්න.ඔය හොල්මන් කියලා ජාතියක් නෑ ළමයිනෙ. අයියයි අක්කයි එනකන් මං ඉන්නම්කො." ශිරානි නැන්දා තාම හිනා වෙනවා. අයියත් ශේප්. මෙන්න ඒ පාර මෙයා අක්කාට කතා කර කර අක්කව හොයනව. මං ශිරානි නැන්දට ඒ අතරෙ සම්පූර්ණ විස්තරේ කිව්වා. තාමත් මගේ හිතට බයයි.

"චතුර... මෙහෙ එන්න, මේ කෙල්ල හොදටම බය වෙලා. මොකද්ද වුනේ කියලා මේ ළමයට පුතාම කිව්ව නම් නේ ද හොඳ"

මෙන්න අපේ අයියා ගල් බිල්ල වගේ මූණත් හදාගෙන කියපි "මං දැක්ක ඇති හොල්මනක් නෑ චූටි නංගි අක්කව බය කරන්න හිතන් කිව්වෙ.ඒ වුනත් සුමන ගෙ වැඩෙ නිසා මාත් බය වුනා, මොකද ඔයාලව බය කරන්න නිසා මාත් හොල්මන් කතා කිය කිය නෙ හිටීයෙ"

"ඒ කියන්නෙ අයියෙ එතකොට කරන්ට් එක ගියෙ?"

"ඔයාලා දෙන්නට යන්න කියලා මං කුස්සියට ගියේ බොරුවට, එන ගමන් ට්‍රිප් එක ඕෆ් කලා."

"එතකොට බිස්කට් කොහොමද එක පාරට අක්කගෙ ඇඟට වැටුනෙ?"

"එ එන ගමන් බිස්කට් දෙකක් අරන් භාගෙට කාල මන් සාක්කුවෙ දාගත්ත. ඕනකමින් ටෝච් එක නිවල ඇඟට විසි කලෙත් මං"

"චි ඔයා නම් මහ නරකයි අයිය. මං නම් ඔයා එක්ක ආයෙත් ජීවිතේටවත් කතා කරන්නෙම නෑ නෑමයි. ඔයාට වඩා බලන් යද්දි අක්ක හොදයි. එපා ඔයාව මට." මට ඇත්තටම කේන්ති ඇයි දෙයියනේ මගේ ජීවිතේ ගැනවත් නොහිත මං බිම දිගේ බඩගාගෙන ගියේ මේ වගේ සතෙක් වෙනුවෙන් නෙ කියල හිතද්දි මට අපේ අයියව මරාගෙන කන්න තරම් කේන්ති. ඒත් ඉතින් ඊට වඩා ඒ වෙලාවෙ වැදගත් උනේ අතුරුදහන් වෙච්ච අක්කව හොයන එක. හැමතැනම හෙව්වත් එයාව හොයාගන්න බැරි වුනා. අන්තිමට බලද්දි අයියගෙ කාමරේ එයාගෙ අල්මාරිය ඇතුලෙ රිංගගෙන හිටපු අපේ අක්කව හොයාගන්න පුලුවන් වුනා.

ලේසියෙන් අපේ අයියගෙ කාමරේට නොයන අක්ක ඒ කාමරේට ගිහින් අයියගෙ ඇඳුම් අල්මාරිය අස්සෙ හැන්ගෙන්න තරම් එයාට කොයි තරම් නම් බයක් තියෙන්න ඇත්ද කියලා මට හිතා ගන්න පුලුවන්.කොහොමහරි අපේ අක්කා බය වෙච්ච් පාරට එයාට දවස් තුනක්ම උණ ගැනිලා හිටියා. අයියා ඒ දවස් ටිකේ අක්කා ලඟටම වෙලා ඉඳගෙන එයාගෙ බැනුම් අහ අහ හරි කටවහගෙන අක්කගෙ බේත් ටික වතුර ටික එහම ගෙනත් දුන්නෙ එයා නොහිත කරපු දේ දුර දිග ගිය එක ගැන එයාගෙ හිතටත් හරි මදි නිසා වෙන්න ඇති. ඒ දවස් ටිකේ අයියට අම්මගෙනුයි තාත්තගෙනුයි හොදටම බැනුම්.. අක්කට හොඳ වෙනකන් ටිවි තහනම්, අතිරේක අනං මනං ආහාර තහනම්, සෙල්ලම් තහනම්. හොඳ වැඩේ

අපිව බය කරන්න ගියාට අන්තිමට අපේ අයියා බය වෙච්ච නිසා එයාට බැරි වුනා මලගෙවල් වල දාන ගෙවල වල මගුල් ගෙවල් වල නෑදෑයො එක්ක, ඒවා කිය කිය වෙනද වගේ අපිව නෝන්ඩි කරන්න. ඒ වෙනුවට අඩුවක් නැතිව අපි එයාව නෝන්ඩි කලා.

ඔන්න ඔහොමයි හොල්මන with බල්ල.. එපිසෝඩ් එක ඉවර උනේ..

8 comments: