Thursday, October 1, 2015

චාජරය සහ භූමිතෙල්






සීතල ඉවසගන්න බැරිව හිසේ සිට පාදාන්තය තෙක් පොරවගෙන සුව නිද්දෙ පසුවූ මාගේ සුව නිද්ද නැති වූයේ දෙසවන බිහිරි කරවන්න ට සමත් වූ මා හිතාදර සොහොයුරියගේ මිහිරි මී පැනි හඩින් වූ අඳෝනාවා හේතුවෙනි.


හිරු නැග එන පාන්දර යාමයේ මේ ලෙසින් අඳෝනා තියන්නට තරම් මාගේ  සහෝදරියට සිදු වී ඇති අකරතැබ්බ කුමක්දැයි විමසනු වස් වහා ඇදෙන් පැන  දෙපයින් සිට ගත් මා ඇගේ හිස් මුදුනේ සිට පාදාන්තය තෙක්ම ගවේශනාත්මකව බැලුවේ ඇයට යම් ශාරීරික පීඩාවක් එල්ල වී ඇත්දැයි සැක හැර දැන ගනු පිණිසය.


"මොනවද හොල්මනක් දැකලා වගෙ බලන්නෙ? මොකද කවදාවත් නැතුව කතා කරපු ගමන් නැගිට්ටෙ" ?

මාගේ සුපිරිසිදු චේතනාව සත පහට දමමින් අවදි කල ඇගේ හඩ හේතුවෙන් මාගේ සිතේ උපන් අප්‍රසාදය ශිශ්ඨ වචනයෙන් කියා සිටින්නට බැරි තරම් වන්නේය.සිතේ වූ වේදනාව නිසාවෙන් දෙනෙත් බර වන්නට කලියෙන් මා අපහසුවෙන් හඩ අවදි කරගත්තේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවය.


"කන බීරිවෙන්න මෙතන බෙරිහන් දුන්න නිසා මං හිතුවෙ අක්කට මොනාහරි කරදරයක් ද දන්නෙ නෑ කියලා?

සහෝදරකමට නැගිටල බලපු නිසානෙ මං අහගත්තෙ. හොද වැඩේ අපිටත්.”


“දැන් මෙතන කෑගහගෙන ආවට අත පය හතරයි මූණත් තහඩුවයි ඔය යස අගේට තියෙන්නෙ..”


නංගි මගෙන් ගුටි කන්න වෙන්නෙ ඔයාට දැන්? මට කියනවා කොහෙද මගෙ ෆෝන්  එකේ චාජර් එක? අක්ක උදේ පාන්දර මූණත් කලු කරගෙන නහර පුප්පගෙන කෑ ගැසුවාය.


“මං ගත්ත චාජර් එකක් නෑ හලෝ. තිබ්බ තැනකින් හෝයා ගන්න.”

 ඇයි දෙයියනේ නිවාඩු දවසේ ටිකක් සැනසීමෙ නිදාගන්න නැති හැටියක්.


“නෑ කියන්න නම් එපා. ඔයා තමයි ඕක ගන්න ඇත්තෙ. මං කාමරේ තියලා තිබුන චාජර් එක.”


මාගේ සොහොයුරියගේ වාචික ප්‍රහාරයන්හි ඉවරයක් නොමැත. ඇය තවමත් මොන මොනවදෝ  ශබ්ධ නගා කියවාගෙන ගියේය. ඇය සිතන්නේ ඇගේ කිසියම් වස්තුවක්, එනම් පැරණි කසිකබල් වූ ඕනෑම දෙයක්, අස්ථාන ගත වූ කළ හෝ කැඩී බිදී ගිය කල, එයට වග කිව යුතු මා කියාය. තවද ඇයට යම් කිසි රෝගී තත්ත්වයකට මුහුණ පෑමට සිඳු වූ විටෙක එයටද හේතු සාධකය මා වන අතර ඇය විසින් සිඳු කළ යුතුව තිබූ යම් ක්‍රියාවක් අතපසු වූ විට එයටද හේතු කාරකය වන්නේ මා කියාය. එම සිතුවිල්ල ඇගේ සිරුරේ නහරයක් පාසා දිවෙන සෑම ලේ බින්දුවකටම කා වැදී ඇති අතරම ඇගේ මොළය පමණක් නොව ඇගේ සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රියන්හි මොදු වී ජනිත වී ඇත්තේ මා මෙලොව එළිය දුටු තත්පරයේ පටන් විය යුතු  ය.


තවද කුඩා කල පටන් ඇය මාගේ සොහොයුරා කෙරේ මා කෙරෙහි දක්වන තරම් අප්‍රසාදයක් නොදැක්වුවද, ඔහුගේ හුරතලය නිසාවෙන් මා "නරක්" වන බව නිතරම ඇය ගේ වාචාල මුවින් පිටවන වදනකි.


එනමුත් මා එසේ "නරක්" වන්නට ශාකමය ඵලයක් හෝ සත්ත්ව මල කුණක් නොවන බව එවිට මාගෙ ආදරණීය සොයුරා අවධාරණයෙන් කියා සිටින්නේය. එවිට ඇය දොඹ ගෙඩි වන් කඳුළැලි සලමින් හඩා වැටෙන්නේ අප දෙදෙනා විසින් ඇයව තඹ දොයිතුවකට ගනන් නොගන්නා බවද, සෑම විටම ඇය සමච්චලයට ගන්නා බවද කියමින් අපට දෙස් තබමින්ය. ඇගේ අඳෝනා ඇසුනු කල අප හිතාදර මව් තුමියගේ හදවත උණු වී ඇය සනසන්නට ඉදිරිපත් වන අතර, ඒ අවස්තාවේදී ඒ අසල නොරැදී අත්තම්මා සිටිනා ඉසව්වට එක පිම්මේ දුව ගොස් අපගේ ආරක්ශාව සලසා ගන්නට අයියාත් මාත් හුරු වී සිටියේය.



කුඩා කළ සිට අද දක්වා ගෙවී ගිය කාලය තුළ වෙනස් වී ඇත්තේ ඇයගේ දොඹ ගෙඩි වන් කදුළැල් හමුවේ මව් තුමිය උණු වී පිහිටට නොපැමිණීමත්, අපගේ ආරක්ශාව පතා අප අත්තම්මා සොයා නොයෑමත් පමණි.


මා මතක මං මාවතේ බොහෝ දුර ගෙවා ගොස් තිබුනද, විදුලි වේගයෙන් නැවත වර්තමාන කාළය වෙත ලගා වුයේ මාගේ සහෝදරිය විසින් සත්ත්ව නාමයෙන් මා ආමන්ත්‍රනය කරනු ලැබුවේ අහල පහලට ද ඇසෙනා තරමේ උස් හඩින් නිසාවෙනි.


“....උත්තර දෙන්න බැරිද බූරුවෝ?"


මාගේ සවනත වැකුනේ එපමණකි. ඇය ගේ පැනය සවනත නොවැටුන බැවින් මා මොහොතක් කලපනා කලෙමි. උදෑසන ආහාරය සදහා මා ආහරයට ගැනීමට කැමති මොනාවාද කියා හෝ මාගේ කළා කටුයුතු පිළිබඳ ඇය විමසුවා වත්ද? නැතහොත් මා වෙනුවෙන් රස නහර පිනා යන කේක් ගෙඩියක් බේක් කොරන්නටදැයි අසුවාවත්ද? නැත මාගේ  සොහෝදරිය කෙදිනකවත් එසේ අසා නැත. එය නිසැක වශයෙන්ම ඇය විසින් මාගෙන් අසනු ඇතැයි මා විසින් බලාපොරොත්තු වන වදන් මිස ඇගේ තුන් හිතකවත් ඇති එකදු සිතුවිල්ලක්වත් නොවන බව පසක් වූ වහාම මා නැවත පියවි සිහියට එළඹිනි. ඇය තවමත් මර විකල් වී සිටින්නේ අර කෙහෙල්මල් චාජරය අතුරුදහන් වීම සම්බන්ධවමය.



“අනේ අක්කෙ මං ගත්තෙ නෑ. චාජ් කරගන්න ඕනෙ නම් මගේ ෆෝන් එකේ චාජර් එක අරන් චාජ් කරන්න. “


මා එසේ පවසන ලද්දේ එවිට හෝ ඇය තම ඝාණ්ඨාරය නවතාගෙන ඇගේ උවමනාව ඉටු කරගනු පිණිස පිටව යනු ඇතැයි සිතමිනි. නැත මාගේ සොහොයුරිය එලෙස මා අත්හරින්නට අකමැති වූවාය. ගස්සා ගෙන ගොස් මාගෙ පොත් මේසය උඩ වූ චාජරය ගෙන හැම අතටම හරවමින් ඇස් ගෙඩි දෙක විටෙක ලොකු කරමින් ද තව විටෙක අකුලා ගනිමින් ද තවත් විටෙක ඇස් ගෙඩි දෙකට ගෑවෙන නොගෑවෙන මට්ටමට චාජරය ලං කරමින් ද අමුතුම ආකාරයේ රංගනයක යෙදෙන ඇය දෙස බලා සිටි මා කල්පනා කලේ එම ක්‍රියාවලියේ නිරත වන්නට ඇය ගත කරන වේළාව ඇගේ දුරකථනය චාජ් කිරීමට කෙලෙස දායක වන්නේ ද යන්නට. මන්ද මීට මිනිත්තු කිහිපයටකට පෙර ඇය මා නින්දෙන් අවදි කරමින් චාජරය නොමැති බවට ගතු කීවේ එය නොලැබුනහොත් ඇය මිය යනු නොඅනුමානය යන හැගීම මා හට පසක් කරවන ස්වරූපයෙනි.


මේ මගේ චාජර් එක, එක දවසට එකේ පින් එක්කුත් ඇද කරලා. තව මෙතන බොරු කියන්නත් එනවා."


ඇය තවමත් ඇගේ බෙලිකටු මල්ල සොලවන්නේ මාගේ චාජරය ඇගේ යයි කියමිනි. එය ඇද වී තිබුනේ මීට මාස කිහිපයකට පෙර පන්ති ගොස් නිවස බලා ඒම සඳහා ගොඩ වූ බස් රථ‍යේ සිර වී තැලෙමින් පැමිණෙන අතරවාරයේ මා සමගම සිර වෙමින් තැලෙමින් තිබූ බෑගය තුල චාජරය ද එම සිදුවීම් පෙලට මුහුණ දුන් බැවිනි. නමුත් එම ඛේදවාචකය සැල කලද මා හට තබා අවසන් සුසුම් හෙලන්නට තරම් ආසද්‍ය වූ මාගේ අසරණ චාරජරය වෙනුවෙන් එකදු සුසුමක් හෙලන්නට තරම් මානසිකත්වයක් මාගේ සොහොයුරියට නොමැති බව දැක මා නිශ්ශබ්ද විය.



"මේ බලන්න මේකෙ “NOKIA” කියලා ගහලත් තියෙනවා. මගෙ චාජර් එක තමයි මේ. මේක මගේ."


මාගේ සිත තුල ඇය ගැන අනුකම්පාවක් පහල වූයේ නිතැතින්මය. මාගේ දුරකතනයද “NOKIA”කොම්පැනිය විසින්ම නිශ්පාදනය කරන ලද්දක් විය. ඇයද ඒ බව දැනුවත් ය. මාගෙ සහෝදරයා විසින් භාවිතා කරමින් සිට, ඔහු වෙනත් දුරකථනයක් මිලදී ගත් අවස්තාවේ මා අතට පත් කල එම දුරකථනය එවිටද "NOKIA" ආයතනයට අයත් ව තිබිනි. එවකට මා උසස් පෙළ අවසන් කර පරිඝනක පාඨමාලාවක් සඳහා පන්ති යමින් සිටි කාලය වන නිසාවෙන් නිවැසියන්ගෙ බලවත් විරෝධතාවයක් නොමැතිව මා හට දුරකථනය භාවිතා කිරීමට අවසර ලැබී තිබින.


එනමුත් මාගේ චාජරය මත “NOKIA” සදහන් වී තිබීම සාමන්‍ය දෙයක් ලෙස ඇයට නොපෙන්නේ කුඩා කල සිටම ඇය තුළ පවතින්නා වූ සෑම දෙයකටම මා සැක කිරීම නම් වූ මානසික රෝගය හේතුවෙනි. මේවා මහ පොළව නුහුලන අපරාධ බව මා කා හට නම් කියන්නද? අන් දිනයන්හි දී මා සහයට එන  සහෝදරයාද තවමත් සුව නිද්දේ පසු වනවා විය යුතු ය. මා අවදි ව සිටියදී ඔහු සුව නින්දේ පසු වනවා යනු මා හට දරා ගන්නට නොහැකි කරුණක් වූ බැවින් අක්කාට රිසි ලෙස නටන නැටුමක් නටා ගන්නට ඉඩ සලසා තුවායද රැගෙන නාන කාමරය තුළට වැදුනේ "කෝ ඈ, කොහෙද මගෙ රන් කිරිල්ලී" යනුවෙන් ගීතයක කොටසක් ද ගයනා කරමිනි.


පානදරින්ම නා කියාගෙන දත කට මැදගෙන සැහැල්ලු ගවුමකින් සැරසුනු මා, අම්මා විසින් පිළියෙළ කර තැබු කිරි වීදුරුව එක හුස්මට පානය කරන ලද්දේ බඩගින්නට ද කෑදර කමටද යන්න මා හටද නොවැටහේ. මා ප්‍රියාදර සහෝදරයා නවය පසු වී මිනිත්තු හතරක් ගෙවෙන හෝරාව තෙක්ම නිදි සුව ලැබීම මාගෙ සිතේ නොපහන් හැගීමක්  ඇති කිරීමට සමත් විය. මන්ද මා හට එසේ නිදි ලබන්නට මේ කෲර සමාජය ඉඩ සලසා නුදුන් බැවිනි. ඒ නිසාවෙන්ම මා ඔහුගේ කාමරයට පිවිසුනේ කඩු අමෝරාගත් යුද සෙබෙලෙකු පරිද්දෙනි. අයියණ්ඩි මුනින් තලා වී නිදා සිටින්නේ පුන්චි එකෙකු තරම් හුරුබුහුටි ලෙසිනි. එනමුත් පුත්තලම් බූරුවො දෙදෙනෙකුගේ වන් වයසක් ඇති ඔහුට එවැනි හුරුබුහුටි බවක් කෙසේවත් සුදුසු නැත. එම නිසා මා ඔහු අසලට ගමන් කලේ මීලගට කුමක් කරන්නේදැයි සිතමිනි. මාගේ මොල ගෙඩියට අගනා අදහසක් පහල වූයේ ඒ ක්ශ්නයෙනි.වහා මුලුතැන්ගෙය වෙත දිව ගිය මා නැවත පැමිණියේ ශීතකරණය තුළ වූ අයිස් වතුර බෝතලයද රැගෙනය.

අයියන්ඩී නිදා සිටිනා යහන වෙත ප්‍රවේසමෙන් පාද තබමින් ලං වූයේ ගෙවල් බිදින සොරුන් ඇවිදින ආකාරය අනුගමනය කරමිනි. ශබ්ද නොනැගෙන ලෙස ඔහු අසල දන ගසා ගත් මා බෝතලයේ මූඩිය ඇර මගේ අත්ල මත ජල බිදු කිහිපයක් හලා ගෙන එය ඔහුගේ මුහුණ මත ඉසිනු ලැබුවේ වහා පැන දිවීම සදහා ගෙට් සෙට් වී ය.

ජල බින්දු කිහිපය මුහුණ මත පතිත වෙනවාත් සමගම අයියන්ඩී උඩ ගොස් අවදි වූයේ සිදුවූයේ කුමක්ද සිතා ගත නොහැකිවය, ඒ වන විටත් මා නැගී සිටියේ පැයට හැටේ වේගයෙන් දිවීමට සැරසී මුත් අයියන්ඩී උඩ බිම බලනු දැක මා ඔහු ඇමතුවෙමි.


“ආ අයියා ඔයා නැගිට්ටද. ගුඩ් මෝනින් අයියා.”


කිව හැකි වූයේ එපමණකි. ඔහු  සුභ පැතීමට ප්‍රති උත්තර බැදීමට තරම්වත් ශිෂ්ඨ සම්පන්න නොවූවාය. ඒ වෙනුවට ඔහු පැන මාගෙ අතේ වූ අයිස් වතුර බෝතලය උදුරා ගත්තේ පැයට හැට පහේ වේගයෙනි. එම අවස්ථාවෙ ඔහුගේ මුහුණ මත ඇදුනු සිනහව හා දෙනෙතේ වූ උපහාසාත්මක බැල්ම කියාපෑවේ ඊලග තත්ත්පරය තුල අයිස් වතුරින් මා නැහැවෙන බවයි. එම නිසා වහා ක්‍රියාත්මක වූ මා දන්නා ශිල්ප සියල්ලම භාවිතා කරමින් කාමරයෙන් පැන සාලය වෙත දිව ආවේත්, මා පසුපසින් මහ හයියෙන් සිනහ සෙමින් අයියා දිව ආවේත්, ඒ මොහොතේමය. එනමුත් අප දෙදෙනාම නොදන්නා තවත් සිදුවීමක් එම වහලය යටම සිදු වෙමින් පැවතින. එනම් එහා කාමරයේ සිටි අක්කා ට අපේ කාළගෝට්ටිය ඇසී, `ශ්‍රීමත් අඟුලු භවන්` තමන් යයි සිතා සිටිනා ඇය මේ අභිරහස විසදීමට අප දෙසට එමින් තිබිනි.


අයියා ලඟ ලඟම බව වැටහුනු නිසා මා හැරී ඔහු දෙස බැලූ නිසාවෙන් කාමරෙයෙන් පිටතට ආ ඇය මට නොපෙනිනි. තවද මට මුවා වී සිටි නිසාවෙන් ඇය ව අයියාටද නොපෙනින. ජයග්‍රාහී විලාශයෙන් අයිස් වතුර මා වෙත දමා ගසන්නට තරම් මාගෙ සොයුරා නිර්ලෝබි විය. එනමුත් මා ද ක්‍රියාත්මක වී වහා අහකට පැන ගත්තෙමි. එකෙනෙහිම මහා බෙරිහන් දීමක් නිවස සිසාර ගියෙන් මා නැවත හැරී අයියා දෙස බැලූවෙ අප සිටි ස්ථානයෙන් හඩ නික්මුනු නිසාවෙනි. කෑ ගසන්නෙ මා නොවන බව හොදාකරව විශ්වාසය. අයියා ද හොල්මනක් දුටුවාක් මෙන් බිරාන්තව හිටි වනම සිටියේ බෝතලයද සගවාගන්නට තැත් කරමිනි.  අයියා බලා සිටින දිසාවටම මාද නෙත් යොමු කලෙමි. අවමගුල් හත අටකට අඩන්නට මෙන් මුහුණ හතරැස් කරගෙන යකඩ ඉන්නක් ගිල්ලාක් මෙන් තනි කෙලින් සිටගෙන සිටින්නේ අක්කාය. ඇගේ මුහුණ මතද හැද සිටි බ්ලවුසය මතද ජල පහරවල් විය. සිදු වූ දෙය මට මෙන්ම අයියාටත් වැටහෙන්නට ඇත. එනමුත් අප නිදා උන් සිංහයා ඇහරවා හමාරය. දැන් ඉතින් නාඩගම් බැලිය යුතු ය.


අක්කා හඩාගෙන මුලුතැන්ගෙය දෙසට ගමන් කලේ අප දෙදෙනාගෙම ශරීර උශ්ණත්වය අඩාල කරමිනි. මව් තුමිය ට ඇය කේලම කිවීමට පෙර අප ඉස්සර විය යුතු ය. අප දෙදෙනාද හැකි ඉමනින් ඇගේ පසු පසින් මුලුතැන්ගෙය වෙතට ගමන් කළද අක්කා පිළිබඳ අපේ ආකල්පය නිවැරදි නොවින. ඇය මුලුතැන්ගෙයි දොර හරස් කරගෙන සිටියේ භූමිතෙල් බෝතලය අත ට ගෙනය. අම්මා යයි කෑගසනවා හැර කරන්නට වෙන දෙයක් මට නොවින. එහෙත් ඒ සමගම අප දෙදෙනාවම භූමිතෙල් වලින්නැහැවීමට තරම් අපගේ සහෝදරිය සහසික වූවාය. ඇයගේ භූමිතෙල් ප්‍රහාරය අවසන් වූ පසු අප අසරණ ලීලාවෙන් කට පියාගත්තද පසුව අයියා මා හට පැවසුවේ අක්කා හීනෙන් බය වී අප දෙදෙනා ගැරඩී දෙදෙනෙක් යයි සිතා එලෙස කලා මිස සිතකින් කල දෙයක් නොවන්නට ඇත කියාය. කෙසේ නමුත් අප පරාජය භාර නොගත්තෙමු. උවමනාවටම අයියා මා අක්කා දෙසට තල්ලු කර දැම්මේ භූමිතෙල් ඇගේ සිරුරේ ද ගැහැවෙන ලෙසය.


මේ නාඩගම තවත් ඉදිරියට යන්නට ඉඩ කඩ තිබූ නමුදු අම්මා උදෑසනම මෙශිමේ සේදුන රෙදි වැලට දා බේසමද රැගෙන මුලුතැන් ගෙය වෙත එමින් සිටි බැවින් එම දසුන දුටු වහා අප නිශ්ශබ්ද වූයේ පූස් පැටවුන් මෙන් ය.


"ලොකු දූ මේ ඔයාගෙ බෙඩ් ශීට් එක වැලට දාද්දි එකෙ ඇතුලෙ ගුලි වෙල තිබුනා, බලන්න මොකද්ද මේ ඔයා ඇදුම් එක්ක වොශින් මෙශින් එකට දාල තියෙන්නෙ? පුදුමයි ඕක ඇතුලෙ හිර වුනේ නෑ" කියමින් අම්මා දික් කලේ ඇඹරී ගිය චාජරය යි. මාගේ සිත තුළ අක්කා කෙරේ වූ සහෝදර ප්‍රේමය ඉහ වහා ගියේ එම වදන් ඇසෙත්මය. එනමුත් එය ක්‍රියාවට නැන්විය නොහැකි වූයේ මව් තුමිය විසින් භූමිතෙල් සුගන්දය ආඝ්‍රානය කිරීම හේතුවෙන් දැක්වූ ප්‍රතිචාරයෙනි.


“මොකක්ද මේ භූමිතෙල් ගඳ? චූටි දූ මොකද මේ භූමිතෙල් නාල මොකක්ද කරේ? පුතා? මොකද මේ?”

අපේ අක්කා දේව දුතිකාව වී ඇත.කරන්නට දෙයක් නැත. අතීත කතා සියල්ලම කීවද සිදුවන්නේ අප බැනුම් ඇසීම පමණි. තවද මව් තුමියට ලෙහෙසියෙන් දෙයක් තේරුම් කරවීම අසීරුය. එම නිසා මැරෙන සැටි මං පෙන්නන්ම් යයි නොකීවද මද්දුම බණ්ඩාර මෙන් අයියන්ඩී පෙනී සිටියේය.


"නෑ අම්මා මේ ගැරණිඩියෙක් හිටියා. ඒ නිසා ලොකූ භූමිතෙල් දැම්මෙ.. මෙයා බයට අපි දෙන්නගෙ ඇගෙත් එක්ක විසි කළා. බය වෙන්න දෙයක්  නෑ අම්මා ගැරඩියා එහෙම්ම මාරු වුනා.." තවත් එකී මෙකී නොකී දෑ සියල්ල පවසා මව් පාර්ශ්වය සනසා ගෙබිමද භූමිතෙල් පිස පිරිසිදු කර අපිද පිරිසුදු වුනෙමි.


ඵය ගනනක් සබන් ගෑවද ශැම්පූ බෝතල්යෙන් භාගයක් ඉවර වන් තෙක් සේදුවද  උලා ගනිමින් පිරිසිදු වුවද භූමිතෙල් සුගන්ධයෙන් මිදීමට අසීරු විය. අයියා ද නා කියාගෙන පැමිණි මුත් ඔහුගෙන්ද භූමිතෙල් සුගන්දය වහනය වන බව ඔහු ද දැන සිටින්නට ඇත. චාජරය සහ භූමිතෙල් එකට සම්බන්ද වූයේ එසේ ය.

කොතරම් රණ්ඩු සරුවල් වුනද අනේක විද අඩත් තේට්ටම් මැද වුවද අප තිදේනාම එකතුවී සහෝදර ප්‍රේමයෙන් කල්ගත කල අවස්ථා ද නැතුවාම නොව.




18 comments:

  1. මේ කෙටි කතාවක් නෙමෙයි ද?

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර මීට අවුරුදු කීපයකට කලින් වෙච්ච කතාවක්.
      කෙටි කතාවක් ගැන නම් දන්නෙ නැහැ මේ විදියෙ

      Delete
  2. කතාවෙන්නං සහෝදර ප්‍ර‍ේමයක් වහනය වෙන්නෙ නෑ. මංදා...

    ReplyDelete
    Replies
    1. සහෝදර ප්‍රේමයත් තියෙනවා අතරින් පතර. පොඩි කාලෙ ඉතින් අක්කලා නංගිලා ඔහොම තමයි. අයියා එක්ක නම් රණ්ඩු දාගන්නෙ නෑ

      Delete
    2. ඒක වෙන්නැති. මායි අයියයි විතරයි නෙ අපේ පවුලෙ හිටියෙ. මැන්ටල් කෙල්ලො කොහ‍ොමද කියල අපි දන් නෑනෙ ඉතිං... (බුදු අම්මෝ... ගහන්න එපෝ...)

      Delete
  3. මැන්ටල් කෙල්ලන්ට ඔච්චර බය නම් ඉතින් බැරියෑ.. :P :P

    ReplyDelete
    Replies
    1. නිදහසේ අදහස් දක්වගෙන දක්වගෙන යනකොට ඔළුවටමනෙ ගැහුවෙ ගඩොල් කැටෙං... ගහල හිටං තව දිව දික් කරන්නත් එනව මෙතන...

      Delete
    2. හරි හරි ඕන් දිව ඇතුලට දාගත්තා.. හිකිස්..

      අපොයි අපි අහිංසක ළමයි. පොලිසියෙ මාමලා මේවා කියෙවුවොත් එහෙම මාවත් අල්ලන් යයි අනේ කොහෙ හරි කාගෙ හරි ඔලුවක් පැලුන දාට.

      ඒ නිසා ශේප් එකේ ඒ කතාව අතැරලා දාමු. හිකිස්..

      නිදහසේ අදහස් දක්වන්න නම් කොහොමත් විරෝධයක් නෑ සහෝ මගෙන් කාටවත්ම. මොකද මොනා නැතත් නිදහස කියන දේ මනුස්ස පරානයකට තියෙන්නම ඕනෙ කියන එක නම් මං තරයේ විශ්වාස කරනවා.

      Delete
  4. මරු කථාව. පොඩි කාලේ කවුරුත් එක වගේ. අපේ පවුලෙ කොල්ලො තුනයි. ඕනම ප්‍රශ්ණයක් විනාඩි ගාණකින් විසඳිලා. ඒ කියන්නෙ එකෙක් අනික් එකාට ගහල නහයෙන් ලේ එන්න.

    ReplyDelete
    Replies
    1. අප්පා මට හිතාගන්න පුලුවන් අයියා මලෝලා කොච්චර දගලන්න ඇති ද කියලා? අපිත් ඇති වෙන්න රණ්ඩු කරන් තියෙනවා. කෙල්ලො දෙන්නයි කොල්ලයි නිසා නහයෙන් ලේ එන්න ගහගෙන නම් නෑ හැබැයි.. හිකිස්

      Delete
    2. අයියෝ..ඔයාව සාදරයෙන් පිළිගන්නවා කියන්න අමතක උනා නෙ ඉයන්.. ස්තූති ඔයාගෙ කමෙන්ටුවට.. :)

      Delete
  5. හප්පා , නිදහසක් දුන්නනම් මොනාවා කොරයිද ? සහෝදර පෙම කියන්නත් ඔකටම තමා , සහෝදරයෝ එක නැතුව වෙන කාත් එක්ක ඔහොම කරන්නද ?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත ඉවාන්. අපේ ගෙදර නිදහස නැති කරන්නෙ ඉතින් අපේ අක්කා තමයි. දැන්නම් මතක් කරද්දි හිනත් යනවා. සහෝදරයො ඇතුවත් බෑ නැතුවත් බෑ. :)

      මේ පැත්තට සාදරෙන් පිළිගන්නවා ඉවාන් .

      Delete
  6. ඔන්න මාත් මේ පැත්තෙ ආවා... කෙල්ලො දෙන්නෙක් එක තැන ඉන්නකොට ඔහොම තමයි. මට නම් ඉතින් ඕවා පුරුදු නෑ එකා යකා නිසා. දිගටම එන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා කැමා අයියාව.
      මෙතන ප්‍රශ්නෙ උනේ මේ කෙල්ලො දෙන්න එක්ක තව කොල්ලෙකුත් හිටි නිසා නෙ අනේ. අක්කයි මායි විතරක් හිටිය නම් අපි දෙන්න කිරි පැනි වගෙ සමාදනෙන් ඉන්නෙ. හිකිස්

      ඔව් ඔව් දිගටම එන්න ඕනෙ. එතකොට හදිස්සියකට පොටො කෑල්ලක් වත් ගහ ගන්න බැරියෑ අපටත් ඔය කැමරාවෙන්

      Delete
    2. /// එතකොට හදිස්සියකට පොටො කෑල්ලක් වත් ගහ ගන්න බැරියෑ අපටත් ඔය කැමරාවෙන්///
      අන්න ඒ අන්තිමට කියපු ටිකනම් මොනා නැතත් ඇහුනා... කනට මී පැණි බින්දුවක් දැම්ම වගේ....

      Delete
    3. මී පැණි වලට කූඹි ඇවිත් කන් බීරි උනොත් හෙම..
      මේ ඒක නෙමෙ කැමා අයියෙ. ඔයාල අර ෆොටෝ එක ගන්න කලින් සේ චීස් කියන්නෙ ඇයි??

      Delete
  7. නැත්නම් මුන් එකෙක්වත් හිනා වෙන්න දන්නෙ නෑනෙ. කැමරාව දැක්ක ගමන් බුම්මා ගන්නවනෙ.

    ReplyDelete